කතුවැකි

පාර්ලිමේන්තු සරණං ගච්ඡාමි

ප්‍රධාන දේශපාලන පක්ෂවලින් නාමයෝජනා නොලැබෙන්නේ නම් සඟ පෙරමුණක් පිහිටුවා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් තීරණය කර ඇතැයි පසුගිය සති අග අරුණ වාර්තා කළේය. භික්ෂුන් වහන්සේලාට නාමයෝජනා දීමෙන් වළකින්නැයි ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත්තේද භික්ෂුන් වහන්සේලාගෙන්මය. එය සබුද්ධික ජනතාවගේද ඉල්ලීමකි.

කොක්කෙන් බැරි නම් කෙක්කෙන් යැයි කියමින් තමන්ගේම පක්ෂයක් අටවාගෙන හෝ පාර්ලිමේන්තුවට වඩින්නට භික්ෂූන් වහන්සේලා කිහිප නමකට කල්පනා වී ඇත්තේ මේ නිසා විය යුතුය. මොන උප්පරවැට්ටියක් හෝ දමා පාර්ලිමේන්තුවට වඩින්නට උන්වහන්සේලා පාරමිතා පුරන්නේ කුමක් සඳහාද? රට, ජාතිය, ආගම ගොඩ ගන්නටය.

රට, ජාතිය, ආගම ගොඩ ගන්නට භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගත යුතු බවට සැකයක් නැත. අතීත රජ දවසේ සිට උන්වහන්සේලා ඒ වගකීම මැනවින් ඉටු කොට තිබේ. එහෙත් ඒ සඳහා භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට වැඩම කළ යුතු යැයි නියමයක් නැත. භික්ෂූන් වහන්සේලා රජවරුන්ට කෙතරම් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කළද උන්වහන්සේලා රජුගේ සේවකයන් බවට පත්ව නැත.

භික්ෂුන් වහන්සේලා රාජ්‍ය පාලනයට මැදිහත් නොවූයේ භික්ෂුව හැම විටකම රාජ්‍ය පාලකයාටද ඉහළින් ගෞරවනීය, වන්දනීය තත්ත්වයක් හිමි කර ගෙන සිටි බැවිනි. භික්ෂුව සමාජ දේශපාලනය කළ යුතු විය යුත්තේ මන්ද හා එය කළ යුත්තේ කෙසේද යන්නට, මෑත කාලීන හොඳම මග පෙන්වීම කර ඇත්තේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥාසාරාභිධාන නාහිමියන් විසිනි. ඒ 1946 වසරේදී උන්වහන්සේ විසින් නිකුත් කළ විද්‍යාලංකාර ප්‍රකාශය මගිනි.

වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත් වූ හා පත්වන්නට පාරමිතා පුරන භික්ෂූන් වහන්සේලා මෙම විද්‍යාලංකාර ප්‍රකාශය මැනවින් අවබෝධ කර ගත්තේ නම් පාර්ලිමේන්තු වඩින්නට මෙතරම් උනන්දුවක් නොදක්වන බවට සැකයක් නැත.

සිංහල, බෞද්ධ සම්ප්‍රදායටත් පටහැනිව භික්ෂූන් වහන්සේලා ප්‍රථමයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ ධර්ම රාජ්‍යයක් ගොඩ නගන්නට යැයි කියමිනි. එසේ වුවත්, රටේ පවතින මජර දේශපාලනය එක දශමයකින් හෝ වෙනස් කරන්නට මේ සිල්වත් භික්ෂූන් වහන්සේලා අසමත් වූ සේක. අවසානයේ සිදුවූයේ උන්වහන්සේලාගේ ද සිල් බිඳී – බෞද්ධාගමද හෑල්ලු කර මේ කුණු ගඳ ගසන ක්‍රමය තුළ ඉත්තන් බවට පත් වීම පමණකි. රට, ජාතිය, ආගමේ නාමයෙන් උන්වහන්සේලා කඩේ යැවූ බලලෝභී දේශපාලක ජාවාරම්කරුවන්ගේ නම් අරමුණු ඉටුව තිබේ. ඔවුන් දැන් මේ රටේ ජාතික දේශපාලන චරිත බවට පත්ව සිටිති. අපේ රටේ භික්ෂූන් වහන්සේලා මේ තරම් අසරණ තත්ත්වයකට වැටීම ගැන මේ රටේ පොමනේරියන් බෞද්ධයන්ද වගකිව යුතුය. සැබෑ බෞද්ධයකු නම් කිසි විටෙක භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තුවට යැවීමට කල්පනා කරන්නේ නැත. භික්ෂූන් වහන්සේලා පළමු වරට මැතිවරණයකට ඉදිරිපත් වූ අවස්ථාවේ උන්වහන්සේලා තෝරා පත් කර නොගත්තේ නම් බෞද්ධ ධර්මයත් ශාසනයත් භික්ෂූන් වහන්සේලාත් මේ තරම් හෑල්ලුවට ගර්හාවට ලක් නොවනු ඇත.

භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තු වඩින්නේ රට ජාතියේ ආගමේ නාමයෙන් යැයි කීම තවදුරටත් වලංගු නොවනා කාරණයකි. බෞද්ධයාට අතිශය නරක දසාවක් ලැබ තිබූ යටත් විජිත යුගයේ හෝ භික්ෂූන් වහන්සේලා ආගමේ නාමයෙන් රාජ්‍ය පාලනයට පැමිණි බවක් හෝ එසේ එන්නට උත්සාහ කළ බවක් සඳහන්ව නැත. එසේ වුවත් අවශ්‍ය අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලා යුද්ධයට පවා ගිය අවස්ථා තිබේ. ඒ භික්ෂූන් වහන්සේලා ලෙසින් නොව සිවුර අතහැර ගිහියන් ලෙසිනි. එළාරට එරෙහිව දුටුගැමුණු රජතුමා සමග සටනට ගිය ථෙරපුත්තාභය යෝධයා එවැන්නෙකි. එපමණක් නොව භික්ෂූන් වහන්සේලා රජවරුන් බවට පත් වූ අවස්ථාද තිබේ. ධාතුසේන හා සෙනරත් රජු එලෙස සිවුරු අතහැර සිහසුනේ හිඳගත් රජවරුන් දෙදෙනෙකි.

අප කල්පනා කරන්නේ වර්තමාන භික්ෂූන් වහන්සේලාව පාර්ලිමේන්තුවට ගොස් රාජ්‍ය පාලනයේ හවුල්කරුවන් වන්නට පෙර ශාසනය වෙනුවෙන්, ධර්මය වෙනුවෙන් කළ යුතු බොහෝ දේ තිබෙන බවය. ඇතැම් භික්ෂූන්වහන්සේගේ ක්‍රියාකලාප දෙස බලන විට අපට සිතෙන්නේ ඊට වඩා සිල්වත් ගිහියන් සිටිය හැකි බවය. භික්ෂූන් වහන්සේලා රට හදන්නට පෙර ශාසනය හදා ගත්තා නම් නරකදැයි ඇතැමෙකු ප්‍රශ්න කරන්නේ මේ නිසාය.

පාර්ලි​මේන්තු වඩින්නට පෙරුම් දම් පුරන භික්ෂූන් වහන්සේලා කියන්නේ එය තමන්ගේ මූලික අයිතියක් බවය. උන්වහන්සේලාගේ මේ තර්කයෙන් පැහැදිලිවන්නේ භික්ෂුව සතුව සමාජ, ආගමික කාර්යභාරය නිසිලෙස වටහාගෙන නොමැති බව නොවේද? එවැනි භික්ෂුන් වහන්සේලාගෙන් රට, ජාතියට පමණක් නොව ශාසනයටද සේවයක් ඉටුවේ යැයි කල්පනා කරන්නේ කෙසේද? පාර්ලිමේන්තුවට වැඩීම උන්වහන්සේලාගේ මූලික අයිතියක් ලෙස පිළිගතහොත් යම් දිනයක විවාහ වීමද උන්වහන්සේලාගේ මූලික අයිතියක් ලෙස පිළිගැනීමට සිදුවනු ඇත.