කතුවැකි

පාර්ලිමේන්තුව යළි කැඳවීම ජනතාවගේ ඉල්ලීමක්ද?

මේ නිශ්චිත මොහොතේ මෙරට ජනතාවට ඇත්තේ එකම පැතුමකි. එකම අවශ්‍යතාවකි. ඒ අන් කිසිවක් නොව කොරෝනා වසංගතය හේතුවෙන් විඳින පීඩාවෙන් නිදහස් වීමය. මේ නිසා ඔවුන් ඉතා අපහසුවෙන් දත්මිටි කාගෙන තම තමන්ගේ නිවාසවලට වී සිටිති. ඇඳිරි නීතිය නොතකමින් පාරේ යන බහුතරය එසේ එළියට බසින්නේ විනෝදයට නොව එසේ නොකරම බැරි නිසාය. කන බොන දේ ගෙදර ඇති තරම් තියෙන හෝ ඒවා ගන්නට ක්‍රමයක් හා සල්ලිත් ඇති කිසිවකු ඇඳිරි නීතිය කඩ කරමින් එළියට එනු ඇතැයි සිතිය නොහැක.

ආණ්ඩුවද මේ අවස්ථාවේ සිය උපරිම උත්සාහය දරමින් සිටින්නේ කොරෝනා වසංගතයෙන් රටත්, ජනතාවත් මුදා ගැනීමටය. එය ආණ්ඩුවේ වගකීමය. මීට අමතරව ආණ්ඩුවට තවත් වගකීමක් පැවැරී තිබේ. ඒ රටේ ආර්ථිකය කඩා වැටෙන්නට නොදී තල්ලු කරගෙන හෝ ඉදිරියට ගෙන යෑමය. එය ඉතාමත් අසීරු කාරණයක් වී ඇත්තේ මේ වන විට ආණ්ඩුව ආදායම් නොලබා වියදම් කරන තත්ත්වයකට පත්ව ඇති නිසාය. මේ නිසා ආණ්ඩුවටද අවශ්‍යව ඇත්තේ හැකි ඉක්මනින් ඇඳිරි නීතිය අවසන් කොට රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමය.

මේ ආකාරයට රටේ ආණ්ඩුවත්, ජනතාවත් කොරෝනා වසංගතයෙන් මිදෙන්නේ කවදාදැයි සිතමින් ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටියත් විපක්ෂයට මේ මොහොතේ ප්‍රමුඛ අරමුණ වී ඇත්තේ පාර්ලිමේන්තුව රැස්කරවීම බව පෙනෙන්නට තිබේ. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවක් නොමැතිව ජනාධිපතිවරයාට රට පාලනය කරන්නට ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදයේ මහා මළගම වන බවය. ඒ නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව ඔවුන්ගේ තර්කය වී තිබේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවීමෙන් පසු නව පාර්ලිමේන්තුව රැස්වීමට දින නියම වී ඇත්තේ ජුනි මස 2 දාටය. නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් මහ මැතිවරණය ජුනි මස 20 දාට කල් දැමූ තත්ත්වය තුළ ජුනි 2 දාට පාර්ලිමේන්තුව කැඳවීමට අපේක්ෂා කළ නොහැකිය. ඇතැම් විටෙක ඡන්දය ජුනි 20 දා පැවැත්වීමටද නොහැකි වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු යැයි කියන අය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අවශ්‍යතාවක් වන ඡන්ද විමසීමක් පැවැත්වීමට විරුද්ධ වන්නේ මේ අවස්ථාවේ ඊට සුදුසු තත්ත්වයක් රට තුළ නොමැති බව පවසමිනි. ඡන්දයක් පැවැත්වීමට නොව ඊට දින නියම කිරීමට පවා ඔවුන් විරුද්ධය. ඡන්දයක් නොපවත්වා පාර්ලිමේන්තුවක් කැඳවන්නේ කෙසේද? එය කළ නොහැක්කක් බව මේ අයද දන්නා කාරණයකි.

මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවිය යුතු යැයි කියන අයට අවශ්‍ය නව පාර්ලිමේන්තුව කැඳවීම නොව තිබුණු පාර්ලිමේන්තුව යළි කැඳවීමටය. එය කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණකි. එහෙත් පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමට තමන්ගේ අභිලාෂයක් නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබේ. ඔහුට අවශ්‍යව ඇත්තේ හැකි ඉක්මනින් නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව සලසා දීමටය.

කෙසේ වුවත්, කෙසේ හෝ පැවැති පාර්ලිමේන්තුව කැඳවීම විපක්ෂයේ උත්සාහය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. අධිකරණයේ නියෝගයක් ලැබෙන්නේ නම් මිස පැවැති පාර්ලිමේන්තුව යළි කැඳවීමට තමන්ට බලයක් නැතැයි හිටපු කථානායකවරයා පසුගිය දිනෙක ප්‍රකාශ කොට තිබිණ. මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස නියෝග කිරීමට අධිකරණයට බලයක් තිබෙන බවය. මේ අනුව මේ සතිය තුළ ශ්‍රේෂ්ඨ‍ාධිකරණය හමුවට පෙත්සම් ගණනාවක්ම ඉදිරිපත් වීමට නියමිත බවද වාර්තා වී තිබේ.

මේ අවස්ථාවේ අප රට දේශපාලන වශයෙන් ගන්ධබ්බ අවස්ථාවක පසුවන්නේ යැයි කිව හැකිය. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර නව පාර්ලිමේන්තුව රැස්වන දිනය නිශ්චිත නැත. මේ තත්ත්වය කිසිවකු සිතා මතා ඇති කළ තත්ත්වයක් නොව කොරෝනා වසංගතය විසින් ඇති කළ තත්ත්වයකි. මෙවැනි අතීරණාත්මක අවස්ථාවක් මීට පෙර අපගේ දේශපාලනය තුළ සිදුව නැති නිසා කෙසේ කටයුතු කළ යුතුදැයි කියන්නට පූර්වාදර්ශයක්ද නැත. එවැනි අවස්ථාවක අර්ථ නිරූපණයක් ලබා ගන්නට අධිකරණයට යෑමට ඕනෑම කෙනකුට අයිතියක් තිබේ.

වර්තමානයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුව කුමක් වනු ඇත්දැයි අපට උපකල්පනය කළ නොහැක. එහෙත් යම් කිසිවකු අධිකරණයට යන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නම් එම තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්ථ දැක්වීමක්ද වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ සරල කියැවීම වන්නේ වැඩි දෙනාගේ කැමැත්ත, තේරීම යන්නය.

2018 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එවකට හිටපු අගමැතිවරයා ඉවත් කොට නව අගමැතිවරයකු පත් කිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද පියවර ගත්තේය. ඒ අවස්ථාවේදී අධිකරණයේ තීන්දුව වූයේ ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවය. ජනාධිපතිවරයා වුවත් ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි.

එසේ වුවත්, ඒ අවස්ථාවේ අධිකරණයේ තීරණය පොදු මහජන මතය සමග සමපාත වූවක් නොවන බවට බරපතළ විවාදයක් සමාජය තුළ මතුවිය. හිටපු ජනාධිපතිවරයා ගත් තීන්දුව බහුතර ජනතා කැමැත්ත මත ගත් එකක් බව කියැවුණත් එය මැන ගැනීමට ඒ අවස්ථාවේ ක්‍රමයක් තිබුණේ නැත. ඒ අවස්ථාව උදාවූයේ ඉන් වසරකට පසුවය.