ගොසිප්

පාර්ලිමේන්තුවේ ගැලරියට පැමිණ සිටි අමුත්තන් අතර විශේෂ සැඟවුණු අමුත්තිය

මංගල සමරවීර හෙවත් ‘ඛේමාගේ කොලුවා’ පසුගිය දිගු සති අන්තය ගත කළේ ‘දේදුනු අන්තයේ’ය. ‘දේදුනු අන්තය’ යනු ඔහුගේ නිවහනේ නම ය. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්, උපදේශකයින් ඇතුළු පිරිසක් ද එහි සිටියේ ය. ඔවුන් සියලු දෙනාම එම දිගු සති අන්තයේත්, එකදිගට වැඩ කරමින් සිටියේ ‘යහපාලන ආණ්ඩුවේ පස්වැනි අයවැය වාර්තාවේ’ අඩුපාඩු සකස් කිරීම වෙනුවෙනි.

එසේ සකස් වූ අයවැය ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, ‘අයවැය කියවීම’ පැය දෙකකට සීමා විය. අයවැය අහන්නට ගැලරියට පැමිණ සිටි අමුත්තන් අතර, විශේෂ ‘සැඟවුණු අමුත්තිය’ ක් ද සිටියා ය. ඒ අන් කිසිවෙකුත් නොව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ය. ඇය සිටියේ තානාපතිවරුන් – තානාපතිනියන් අතර ‘අමුත්තන්ගේ ගැලරියේ’ ය.

අයවැය කතාව අතරතුර දී ‘හම්බන්තොට ජනතාවගෙන් ලක්ෂයකට පමණ වැසිකිළි නැතැ’යි මංගල කී කතාව අසා සිටි ‘හම්බන්තොට මැති ඇමතිවරුන්’ මුහුණට මුහුණ බලනු පෙනිණි. අයවැය ඉවර වී ‘පාර්ලිමේන්තු ලොබිය’ට ආ ගමන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඊට උත්තර දුන්නේ ය.

‘‘මංගල ඇමතිතුමා අපේ හම්බන්තොට ඉන්න මුළු ජනගහනයවත් දන්නවද දන්නෙ නෑ…’’
‘‘මේක පටාචාරාවගේ ඉරණමට මුහුණ දුන් රටක් ගැන කිසාගෝතමී කියූ අයවැයක්. පටාචාරා කියන්නෙ සියල්ල අහිමි වූ කාන්තාවක්. කිසාගෝතමී කියන්නෙ මැරුණු දරුවෙකුට පණ දෙන්න කියල අඬා වැටුණු කාන්තාවක්’’ එසේ පැවසූයේ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ය.

‘විවාහ වන තරුණ ජෝඩුවලට අවුරුදු 25 කින් ගෙවන්න රුපියල් කෝටියක් දෙන බව’ ට දුන් අයවැය පොරොන්දුව ද ‘ජනප්‍රිය’ වී තිබුණි. කෙසේවෙතත් මේ යෝජනාව නිසා මහනුවර ප්‍රදේශයේ ‘එක්තරා කාර්යාලයක’ වැඩ කරමින් සිටි ‘තරුණ පෙම් යුවළක්’ අතර ‘ගැටුමක්’ ද හටගෙන තිබුණි.

ඒ ‘ඉක්මනින් කසාද බැඳ මේ ණය ගනිමු’ යැයි පෙම්වතිය කළ යෝජනාවට විරෝධය පළ කළ බැවිනි. පෙම්වතා පවසා තිබුණේ, ‘‘මං හිතාගෙන හිටියෙ බඳින එක පරක්කු කරලා සජිත් ප්‍රේමදාස ඇමතිතුමා දෙනවයි කියපු පර්චස් 55 ගන්න’’ යනුවෙනි.