කතුවැකි

පාර්ක් ඇන්ඩ් රයිඩ් හොඳ ආරම්භයක්

සාමාන්‍යයෙන් දිනකට කොළඹ නගරයට ඇතුළුවන වාහන සංඛ්‍යාව ලක්ෂ පහක් පමණ වේ. මේ අතරින් ලක්ෂ හතර හමාරකටත් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික වාහනය. මේ පෞද්ගලික වාහනවල එන්නේ එක් පුද්ගලයකු හෝ දෙදෙනකු පමණකි. එහෙත් මෙම වාහන ප්‍රමාණය නිසා කොළඹ නගරයේ ඇතිවන තදබදය සුළුපටු නැත. මේ නිසා කොළඹ යනු දකුණු ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති ප්‍රධාන නගරයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව විසින් නම් කර තිබේ.

මෙම තදබදය නිසා රටට සිදුවන පාඩුව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත්තේ ඒ ගැන අප කලක සිටම සාකච්ඡා කරමින් සිටින බැවිනි. බැරි බැරි ගාතේ හෝ තමන්ගේම වාහනයක එන්නට උත්සාහ කරන්නේ කුමක් නිසාද යන්නද අප කවුරුත් දන්නා කාරණකි. කොයි කාටත් ලැජ්ජා බයක් නොමැතිව, මිනිසුන් ලෙස ගමන් කළ හැකි පොදු ප්‍රවාහන සේවයක් ඇත්නම් හැමෝම තමන්ගේම වාහනයකින් රස්සාවට එන්නට කල්පනා කරන්නේ නැත.

ආණ්ඩුව පසුගිය සිකුරාදා සිට පාර්ක් ඇන්ඩ් රයිඩ් (Park and Ride) නගර බස් සේවාව ආරම්භ කර ඇත්තේ මෙම ප්‍රශ්නයට පිළියමක් ලෙසය. කොට්ටාව මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් ඔස්සේ ක්‍රියාත්මක මෙම සේවාව ප්‍රශ්නයේ තරමට විසඳුමක් යැයි කිව නොහැකි නමුත් එය ප්‍රශ්නය විසඳීමට හොඳ ආරම්භයකි. දැනට මෙම සේවාව සඳහා සුඛෝපභෝගී බස් රථ 25 ක් යොදවා ඇති අතර ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයකි.

මෙම සේවාව කොළඹ වාහන තදබදයට පූර්ණ විසඳුමක් නොවන්නේ තවමත් එය ක්‍රියාත්මක වන්නේ මාර්ග දෙකක් ඔස්සේ පමණක් නිසාය. දිනපතා කොළඹට වාහන එන නුවර පාර, මීගමුව පාර හා ගාලු පාර වැනි ප්‍රධාන මාර්ග සඳහාද මෙම සේවාව හඳුන්වා දිය යුතුව තිබේ. එම මාර්ග සඳහා මෙම සේවාව හඳුන්වා දිය හැකිවනු ඇත්තේ දැනට ආරම්භ කර ඇති මාර්ගවල සේවාව සාර්ථක වුවහොත් පමණකි. ඒ සඳහා කිසියම් කාලයක් ගතවනු ඇත. මේ නිසා පළමුව කළ යුතු වන්නේ දැනට ආරම්භ කර ඇති සේවාව සාර්ථක කර ගන්නට කටයුතු කිරීමය.

කෙසේ වෙතත් කොට්ටාවේ සිට ආරම්භ කර ඇති පාක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවාව කෙරෙහි තවමත් එතරම් ජනතා අවධානයක් යොමු වී ඇති බවක් දක්නට නැත. මෙම සේවාව පිළිබඳ ජනතාව තවමත් දැනුවත් වීම ප්‍රමාණවත් නොවීම එයට හේතුවක් විය හැකිය. එසේම බස් රථ සේවාව ආරම්භ වන ස්ථානයේ නවතා තබන තමන්ගේ වාහනයේ ආරක්ෂාව පිළිබඳ ජනතාව සෑහීමකට පත් වී නැතිකමද විය හැකිය. කොළඹ නගරයේ මාර්ග දෙපස වාහන නවතා තබන විට එහි අංග උපාංග අතුරුදන් වීම සාමාන්‍ය දෙයකි. මුදලක් ගෙවා වාහන නවතා තබන නැවතුම්පොළවලද ප්‍රදර්ශනය කෙරෙන්නේ වාහනයේ ආරක්ෂාව භාර නොගන්නා බව කියන දැන්වීම්ය.

තමන්ගේ වාහනයකින් යන එන අතරමග ඉටුකර ගන්නා සේවා, භාණ්ඩ මිලදී ගැනීම්, පාක් ඇන්ඩ් රයිඩ් සේවයේ ගමන් කරද්දී ඉටුකර ගන්නට නොහැකි වීමද ඊට හේතුවක් විය හැකිය. එසේම මෙම සේවාවෙන් කොළඹට පැමිණි පසු ඇතිවන අවශ්‍යතා ඉටුකරගන්නේ කෙසේද? ඒ සඳහා හොඳ පොදු ප්‍රවාහන සේවයක් තිබිය යුතුය. පාක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවාව සාර්ථක කර ගන්නට නම් මෙම කාරණා කෙරෙහිද අවධානය යොමු කළ යුතු වනු ඇත.

මෙවැනි සේවාවක් මීට වසර ගණනකට පෙර ගාලු පාරෙන් ආරම්භ වුවත් එයද සාර්ථක වූයේ නැත. මෙවැනි සේවා සාර්ථක නොවන්නට අපේ රටේ ජනතාවගේ ආකල්පද බලපා තිබෙන බව කිව යුතුය. වාහනයක හිමිකරුවකු වීම සමාජ තත්ත්වය පෙන්වන නිර්ණායකයක් බවට පත්ව ඇති නිසා අපි බොහෝ දෙනා උත්සාහ කරන්නේ වාහනයක් මිලදී ගෙන එම සමාජ තත්ත්වය ඇතිකර ගන්නටය. මේ ගැන සාමාන්‍ය ජනතාවට දොස් පැවරිය නොහැක්කේ හැම කෙනකුටම පොඩි වාහනයක් හෝ ගන්නට ඉඩ සලසන බව මැතිවරණ පොරොන්දු දෙන දේශපාලකයන්ද සිටින නිසාය.

රටේ සෑම පුද්ගලයකුටම පෞද්ගලිකව වාහනයක හිමිකරුවකු වන්නට කටයුතු කරන බව කීම ජනතාව ඇන්දවීමක් මිස ජනතාවගේ හෝ රටේ සංවර්ධනයක් ලෙස සැලකිය නොහැක. අපේ රටේ බොහෝ දෙනා වාහන හිමිකරුවන් බවට පත්ව ඇත්තේ ණයකරුවන් බවට පත් වීමෙනි. හැම කෙනකුම වාහනයකින් කොළඹට එන්නට පටන් ගැනීමෙන් නගරයේ වාහන තදබදය වැඩිවීමෙන් මිනිසුන්ගේ කාලය කා දමනවා පමණක් නොව පරිසර දූෂණය වැඩිවීම, ඉන්ධන සඳහා වියදම ඉහළ යාම, පෞද්ගලිකව මිනිසුන්ගේ ආතතිය වැඩිවීම වැනි බරපතළ විපාක රැසක්ම තිබේ.

රටක සංවර්ධනයේ දර්ශකයක් ලෙස සැලකිය යුත්තේ ඒකපුද්ගල වාහන හිමිකාරීත්වය නොව එම රටේ දියුණු පොදු ප්‍රවාහන සේවාවක් තිබීමය. මේ නිසා පාර්ක් ඇන්ඩ් රයිඩ් වැනි විශේෂ සේවා ආරම්භ කරන අතරේම පොදු ප්‍රවාහන සේවාවන්හිත් තත්ත්වය දියුණු කිරීමට අවධානය යොමු කිරීමද වැදගත්ය.

පාක් ඇන්ඩ් රයිඩ් වැනි සේවාවක් භාවිත කරන්නේ වාහන ඇති සුළු පිරිසක් පමණක් වන අතර ඊට වඩා අති විශාල පිරිසක් තවමත් පොදු ප්‍රවාහන සේවා භාවිත කරති. විශේෂයෙන්ම අපට දුම්රිය වැනි සේවාවක තත්ත්වය දියුණු කළ හැකි නම් ඒ හරහා අති විශාල පිරිසකගේ ගමනාගමන අවශ්‍යතා ඉටු කිරීමට හැකිවනු ඇත.

පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීමේදී ශාරීරිකව මෙන්ම මානසිකව කොතරම් හිරිහැරයකට ලක් වන්නේ දැයි එම මගීහු දනිති. පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම නිසා ඇතිවන මානසික ආතතිය ඍජුවම රටේ නිෂ්පාදන ඵලදායීතාව හා බැඳී පවතින කාරණයකි. දියුණු පොදු ප්‍රවාහන සේවාවක් පැවතීම ඒ ආකාරයෙන්ද රටේ සංවර්ධනය පිළිබඳ දර්ශනයක් වන්නේය.

අප රටේ පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම සඳහා ඇති මූලික ප්‍රශ්නය වන්නේ ඒ සඳහා අති විශාල මුදල් සම්භාරයක් අවශ්‍ය වීම හා ප්‍රවාහනය යනු සේවාවක් ලෙස නොව ව්‍යාපාරයක් ලෙස පමණක් කල්පනා කිරීමය. ප්‍රවාහන සේවා දියුණු කිරීමට අති විශාල මුදලක් අවශ්‍ය වන්නේ නමුත් එය දිගු කාලීනව රටට වැඩි ප්‍රතිලාභයක් දෙන හොඳ ආයෝජනයක් බව අප තේරුම්ගත යුතුය.