විශේෂාංග

පාරම්පරික වී රකින හේමපාලගේ කතාව

අසල්වැසියෙක් උදව්වක් උපකාරයක් ඉල්ලා හිටියම බොහොම වුවමනාවෙන් කරදෙන එක කවදත් හේමපාලගෙ පුරුද්දක්. අසල්වැසියා උණ රෝගයෙන් පෙළුන නිසයි ඔහුගෙ ගොඩකුඹුරට මැහිතෙල් ටැංකි දෙකක් ගහලා දෙන්න කියපු ඉල්ලීම හේමපාල ප්‍රතික්ෂේප නොකළේ.

පරණ ෂොපින් කවර දෙකකින් අතේ ඇඟිලිත් අල්ලත් ආවරණය කරගෙන රෙදි පටියකින් පොටවල් කීපයක් වෙනකම් ඔතලා මුඛවාඩමක් දාගෙන හිසට තොප්පියකුත් දාගෙන ආරක්ෂක ක්‍රමයකට තමයි හේමපාල මැහිතෙල් ගහන්න පටන් ගත්තේ. ඒ කුලියකට එහෙම නෙවෙයි, උදව්වට සහ අසල්වැසිකමට. පළවෙනි තෙල් ටැංකිය ගහලා ඉවරවෙනකොට හිස කකියන ගතියක් ආවට එච්චර ගණන් ගන්නෙ නැතුව හේමපාල දෙවැනි තෙල් ටැංකියත් ගහන්න ගත්තා. තෙල් ටැංකියෙ අවසාන හරිය වන විටම හේමපාලට ලියද්ද ඉස්සිලා තමන් දෙසට එනවා වගේ පේන්න ගත්තා. ඒ එක්කම හේමපාල සිහියක් පතක් නැතුව ලියද්දෙම ඇදගෙන වැටුණා.

කට්ටිය එකතුවෙලා හේමපාලව නැගිට්ටවලා, නාවල පිරිසුදු කරලා, ඇඳුම් මාරු කරලා ඔහුව ඉස්පිරිතාලෙට අරං යනවා. සිහිය නැතුව දවසක්ම ඉස්පිරිතාලෙ හිටපු ඔහුට සතියකට වඩා රෝහලේ ඉන්න වෙන්නෙ මැහිතෙල් විෂ නිසා. ටිකට් කපාගෙන ගෙදර ඇවිල්ලත් මාස තුනක් විතර හෝන්දුමාන්දුවෙන් තමයි හේමපාල හිටියේ. එදා ඒ වැටුණත් හරි සිය ජීවිතයෙ කුඹුරකට වගාවකට මැහිතෙල්, රසායනික පොහොර, වස විස ගහපු අන්තිම දවස තමයි ඒ. තෙල් පොහොර වැඩේ තමන්ට හරියන්නෙ නැති නිසා ඔහු ගොවිතැන අතෑරදාල හිටියා ටික කාලයක්.

ඒ වුණාට කෑම බීම හිඟයක් වුණේ නැත්තේ අක්කර ගානක හේන් වගාවෙන්, තමන්ගෙ කුඹුරුවලින් ලද අස්වැන්න තිබ්බ නිසා. ඔහොම ඉන්නකොට ඒ කාලේ දවසක් ‘සෙත් සවිය’ සංවිධානයෙ මහත්තයෙක් එක්කරගෙන හේමපාලගෙ හිතවතෙක් වෙච්ච රඹෑවේ පැට්‍රික් ගෙදර ආවා. වගාකිරීම් අතහැර දමන්න තමන්ට සිද්ධ වෙච්ච දේ එදා ඔවුන්ට හේමපාල කිව්වා.
“ඕකට තියෙනවා වැඩක් අපි බලමු”

ඒ දෙන්නා යන්න ගියේ හේමපාලට එහෙම කියලා. ඊට සතියකට විතර පස්සෙ දෙන්නා ආයෙත් ආවා. නිකම් නෙවේ ‘‘කළු හීනටි’’ කියන දේශීය වී වර්ගයෙන් සේරු 4 කුත් අරගෙනයි.
“මේකට තෙල් පොහොර ඕන නෑ. අපේ පාර්ම්පරික වීවර්ගයක්. මේක වවන්න ”
එහෙම කියපු සෙත් සවිය මහත්තයයි, පැට්‍රිකුයි කළු හීනටි බීජ වී ටික හේමපාලට දීලා යන්න ගියා. සූර ගොවියෙක් වූ හේමපාල ආයෙත් තමන්ටම වවන්න ඉඩක් ලැබීම ගැන අප්‍රමාණ සංතෝස වුණා.
අදින් වසර 24 කට විතර කලින් දේශීය වී වර්ග හා දේශීය පාරම්පරික එළවළු වර්ග වවන්න හෙට්ටිආරච්චිගේ හේමපාල අරඹන්නෙ එහෙමයි.

හේමපාලගෙ ජීවිතේ විටෙක පුදුමාකාර ජීවිතයක් වුණා. ඔහුගේ ගම රඹෑව වහමල්ගොල්ලෑව. ගැටයා සන්දියේ අහම්බෙන් කියවපු මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ මඩොල් දූවේ හිටිය උපාලි, ජින්නා තදින්ම ඔළුවේ තිබ්බ නිසා ‘මමත් කොහෙ හරි ගිහින් වවනවා’ කියන සිතිවිල්ලෙ ඒ කාලේ හිටියේ. කොහොමින් හරි අවුරුදු 20 – 21 දී ගමෙන් කීලෝමීටර් කීපයක් ඈත තිබ්බ මූකලානක් සුද්ද කරලා හේමපාල සාරවත් හේනක් කොටන්නෙ මඩොල් දූවේ ආදර්ශෙත් අරගෙන තල, මෙනෙරි, කුරහන්, උඳු අක්කර ගාණක් මේ යෞවනයා සූර ලෙස වවන්නෙ ඉන්පස්සෙයි. කැත්තෙ උදැල්ලෙ වැඩට ගජ හපනෙක් වෙච්ච හේමපාල ඒකාලේ ආණ්ඩුවෙන් තරුණ සමාජ හදපු ආරම්භක කාලයේම ඔය සමිතිවල නිලතල බාරගෙනත් වැඩ කළා. ඒක බොහොම ආශාවෙන් කරන්න හේමපාලට තව හේතුවක් තිබ්බා.

ඒ තමයි ඔය සමිතියෙම ලේකම් කම දරපු ‘ප්‍රමිලා සේපාලි’ එක්ක තිබ්බ පෙම් පලහිලව්ව. ප්‍රමිලලා දෙවුන්දර පැත්තෙ ඉඳලා ඩී.ඇස්. සේනානයකගෙ ජනපදකරන වැඩපිළිවෙළ කාලේ වහමල්ගොල්ලෑවට ආව උදවිය. දකුණේ කියලා මොකක්ද උජාරුවකුත් තිබ්බ හින්දා හේමපාලට නම් කෙල්ල දෙන්නෑ කියල ප්‍රමිලගෙ මහ ඈයෝ කිය කියා හිටීමේ ප්‍රතිඵලේ තමයි ප්‍රමිලා රහසේම කැන්දාගෙන හේමපාල වව්නියාවට හඳපානේ පිටමං වීම.

පස්සෙන් පහු ප්‍රමිලගෙ මහ ඈයෝ හිත් හදාන ප්‍රමිලට දෙන්න හිටපු ඉඩම එහෙමත් හේමපාලටම පවරලා දුන්න විතරක් නෙවෙයි, ප්‍රමිලගෙ වැඩිහිටියෝ පාරම්පරිකව අරගෙන ආ විෂ වෙදකමත් ගුරු මුෂ්ටි නැතුවම පොතපත එක්කම ලබා දුන්නා. හේමපාලට වෙදකමත් ඉක්මනින් පිහිටියෙ තමන් රා, අරක්කු, බීඩී, සිගරට් නොබොන ප්‍රමිලාගෙන් පිට ආදර කතා ගොඩ නගා නොගත් ආදර්ශවත් ජීවිතයක් ගත කරන හින්දා කියලා අදත් හේමපාල විශ්වාස කරනවා. හේමපාලට ඇත්තු වගෙ පුත්තුම තුන්දෙනෙක් ඉන්නව. ලොකු පුතාට හරියටම කැපෙන ලේලියකුත් හම්බවෙල ඉන්නවා.

එදා සෙත් සවියෙ මහත්තයයි, පැට්‍රිකුයි දීලා ගිය දේශිය වී වර්ගය හේමපාල තමන්ගෙම වත්තේ පහළ කුඹුරේ බිරිඳගේත් උදව්වෙන් වැව්වා. අස්වැන්න සරුයි. අවුරුදු 24 කට කලින් තමන්ට ලැබුණ කළු හීනටි වී සේරු හතරෙන් වී බුසල් තුනක් ගන්න ඔහුට පුළුවන් වෙලා තිබුණා. එප්පාවල බීජ ගොවිපළෙන් ලැබුණ දැනුමත් එක්ක විවිධ ගොවි සම්මන්ත්‍රණ දැනුවත් කිරීම් බොහෝමයකට ඔහු සම්බන්ධ වුණා. පාරම්පරික දේශීය දැනුම තියෙන හැම තැනකින්ම හේමපාල ඒ දැනුම උකහා ගත්තා. හේමපාලට දෙවැනි වරට දේශීය වී වර්ග කීපයක් කුඹුරෙ වවන්න පුළුවන් වුණේ එප්පාවල බීජ ගොවිපළෙන් පච්චපෙරුමාල් වී සේරුවක්, කළුහීනටි වී සේරුවක් හා සුවඳැල් වී සේරුවක් ලැබුණ නිසා. ඊට පස්සෙ ඒවට ආව එක එක කෘමි රෝග සඳහා අත් බෙහෙත් හදන්නත් වුණා.

ඔහු කෘමි නාශක වෙනුවට කුඹුරට ගහන්න කෘමි පලවා හැරීම් අත් බෙහෙත් හැදුවා. කෘත්‍රිම රසායන ද්‍රව්‍ය යෙදූ කෘමිනාශක හෝ පණු තෙල් ගැහුවම පණුවන් ගොයම් ගහේම පිට පුපුරා මැරී වැටෙන අයුරු ඔහු දැක තිබුණා. එම තෙල්ම විෂවී තමන් කාලයක් වින්ද වේදනාව හොඳින් දන්නා හේමපාල මේ සත්තු මරන්නෙ නැතිව ඉවත් කරන අත් බෙහෙත් අත් හදා බලන්න හිතුවා. ඒ වැඩේ සීයට සීයක් සාර්ථක වුණා.

ඒ අත් බෙහෙත් ඔහු විසින් නිර්මාණය කර ගනු ලබන්නෙ තමන්ගෙම ගෙවත්තෙ ඇති ගස් වර්ගයන්හි ඖෂධ ගුණ එක්කරගෙනය. ඒ උවදුරු සඳහා අත් බෙහෙත් හදාගන්නා අයුරු ඔහු ඕනෑම අයෙකුට නොමිලේම කියාදීම ද කරයි.
හේමපාල තාත්තාගෙන් පාරම්පරික කෙම්ක්‍රම වගේම වී වගාවේ විවිධ රෝග සඳහා අත් බෙහෙත් කෙම් ක්‍රම රැසක්ම ඉගෙන ගත්තා. ගමේ වැඩිහිටි සීයලා ආතලා ළඟට ගිහින් විවිධ බෙහෙත් ක්‍රම ඉගෙන ගත්තා. ඊට පස්සෙ දවසෙන් දවස පාරම්පරික වී වර්ග රැසක් වවන, සංරක්ෂණය කරන, කාබනික වගාවක ආඩම්බර අයිතිකාරයෙක් වෙන්න ඔහුට පුළුවන් වුණා. අක්කර 5ක පමණ තමන්ගෙ ගේ පිටුපස කුඹුරත් තමන්ගෙ වත්තත් ඔහු දේශීය දෑ වවන්නට වෙන් කළා. ගොඩ ඉඩම පුරාම දුර්ලභ ඖෂධ වර්ගයන් වවා තැන තැන දේශීය ඇත් දළ බණ්ඩක්කා,දේශීය වැටකොළු වැනි බෝගත් වැව්වා.

පසුගිය මාස් කන්නයේද හේමපාල තමන්ගෙ වගා බිමේ දුර්ලභ හා ගුණාත්මක බවින් ඉහළ දේශීය පාරම්පරික වී වර්ග රැසක් වගා කර කළා. වාර්ෂිකව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබිමුව රාජ්‍ය නායකයගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අළුත් සහල් මංගල්ලයේදී උතුරු මැද පළාත නියෝජනය කරමින් සහල් පාත්‍රය ජනාධිපතිවරායට ලබා දීමේ අවස්ථාව වසර දහයක පමණ සිට හේමපාල ගොවි මහතාට ලැබෙන්නෙ දේශීය වී වගාවට ඇති කැපවීම නිසා.

ජනවාරි මාසයේ අවසානය වන විටත් ඔහුගෙ තෙල් පොහොර නොයෙදූ අක්කරයකට වැඩි සුවඳැල් යාය කපා අහුරාගන්න හැකි තරමට රන්වන් පාටට පැසී තිබුණා. ඒ සුවඳැල් යායට අල්ලා තිබූ උණ කොළ සම්බා යාය පැසෙන්නට ඔන්න මෙන්නය. තවත් පසෙකින් ඉතාම දුර්ලභ ගුණයෙන් ඉහළ මහ චිත්‍රකාලි නම් දම්පැහැයට හුරුව පැසෙන දේශීය වී වර්ගය සරුවට වවා තිබුණේ දක්ෂ සිත්තරෙකු ඇඳි සිතුවමක් සේය. තවත් පසෙක හීන් දික් වී වගාව පැසෙන්නට ඔන්න මෙන්නය. ඇතැම් වී වර්ගයන්හි ගොයම් ගස සමාන්‍ය මිනිසෙකුගෙ උසට වැවි තිබෙන්නෙ කිසිදු වල් පැළෑටියකට හිස ඔසවනු නොදීය. ඒ දේශීය පාරම්පරික වී වල පමණක් ඇති ලක්ෂණයකි. වාසියකි.

එකම කෙතක එකට එකක් අළලා හේමපාල මේ මාස් කන්නයේද වවා ඇති පාරම්පරික දේශීය වී වර්ග ගණන 25 කට වැඩිය. මේ මොහොතේ ඒ සියල්ල අස්වනු නෙළීමට සුදුසු කාලයේ හෝ අස්වනු නෙළන කාලයට ළංව තියෙනවා.

ඔහුගෙ දේශීය පාරම්පරික වී වගාවේ “මුරුංගා කායම්’’ නම් දුර්ලභ වටිනා පාරම්පරික වී වර්ගයද හීන් දික් වී, බටපොල ඇල්, තාවුලු ඇල්, මඬ ඇල්, පොක්කාලි වී, සුලයි වී, හේරත් බණ්ඩා වී, ගෝනබරු වී, කළු හීනටි වී, බෙහෙත් හීනටි වී, වන්නි හීනටි වී, ගොඩ හීනටි වී, රතු හීනටි වී, සුදු හීනටි වී, රත් කඳ වී, කහවණු වී, මසුරං වී, ඇතුළු ඇතැමෙක් අසාවත් නැති පාරම්පරික දේශීය වී වර්ග රැසක්ම කරල් බරින් බරව බිමට නැමී සුන්දරව ඔහුගේ වගාවේ දිස්වෙයි.

මේ වී වර්ග වැවීමට හා මහපොළොව, පරිසරය, කෙම් ක්‍රම කාලගුණ නීර්ණ, පාරම්පරික ශිල්ප ක්‍රම තමන්ට කියා දුන් ගුරුවරුන් ද හේමපාලට මතකය. තමන්ට මහ පොළොවට උණුවතුර ටිකක්වත් නොදමා ඉන්ට ඉගැන්වූ නැසීගිය පියල් පරාක්‍රම පරිසරවේදියා විසින් මහ පොළොවේ ක්ෂුද්‍ර ජීවින් හා පොළොවේ වටිනාකම කියාදුන් බවත් උදුල බණ්ඩාර පරිසරවේදියා විසින් දැනුම් සම්භාරයක් ලබා දුන් බවත්, ඉන්දීය ආචාර්ය පලේකාර් හා හරිදාස් මහත්වරුන්ගෙන් ඉන්දීය කාබනික වගා බෙහෙත් ක්‍රම ගැනත්, පරිසර තත්ත්වයන් හා වගාවට නිසිකල් යල් මැනගැනීම් වැනි ශිල්ප රැසක් ද තිලක් කන්දේගම පරිසරවේදියා විසින් තමන්ට කියා දුන් බවත් ඔහුට මතකය.

දැනට ලංකාව පුරා ඔහුගේ පෙලඹවීම මුල් කොටගෙන දේශීය වී වගාවේ ගොවියන් 5000 ක් පමණ දේශීය වී වගාවේ නිරතව සිටිති. අවුරුදු විසි හතරක් පුරා ඔහුගේ මේ විශිෂ්ට සංරක්ෂක හා වගා ක්‍රියාවලිය දැක්මට හෝ ලංකා රජයෙන් කියා පැමිණ ඇත්තේ උතුරුමැද පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය එච්.බී. නන්දසේන මහතා විතරමය. ඔහු විසින් පළාත් සභාවෙන් ලබාදෙන වගා ළිං ආධාරය වන රුපියල් 30000 හැරුණ විට රජයෙන් කියා හේමපාලව දිරිමත් කිරීම පිණිස අන් යමක් සිදුවෙලා නැත.

හේමපාල ඉතා කැපවීමෙන් වැවූ දේශීය වී වර්ග ප්‍රවර්ධනය සඳහා “ස්වයංජාත දේශීය බීජ ප්‍රවර්ධන ගොවි සමිතිය” නමින් සමිතියක් ආරම්භ කළා. එහි සභාපතිත්වය දරමින් මේ දේශීය වී වර්ග ප්‍රවර්ධනය කරමින් සිටීම ජාතික වටිනාකමක් සහිත සත්පුරුෂ කාර්යයක්. එම සමිතිය මගින් අලුතින්ම දේශීය පාරම්පරික වී වන්නට කැමති අයෙකුට නොමිලේ වී කිලෝ 15-20ක් ලබා ගන්න පුළුවන්. පළපුරුදු ගොවියෙකුට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සමිතියෙන් බීජ වී ලබාගන්නත් පුළුවන්.

ලුත් ගොවිබිම් වෙත ගොස් ගොවි බිම බලා උපදෙස් හා සුදුසු බීජ කියාදී අත් බෙහෙත් කෙම් ක්‍රම කාබනික පොහොර සැකසුම් ක්‍රම ද කියා දී උපකාර කිරීම හේමපාල විසින් නොමිලේ සත් සිතින්ම කරදෙනු ලැබීමද ඇගයිය යුතුම කරුණක්. එම සමිතිය මාර්ගයෙන් දේශීය පාරම්පරික බිත්තරවී ලබා ගත් අයෙක් එක් කොන්දේසියකට යටත්ව එය කරන්නෙ. එනම් බිත්තරට ලබාගත් ප්‍රමාණය කිලෝවක්නම් පලදාවෙන් එම කිලෝව වෙනුවට කිලෝ එකහමාරක් සමිතියට ලබා දීමේ පොරොන්දුව පිටයි.

“මහත්තය අපේ දේශීය වී වර්ග තියෙනවා වැස්ස වතුර මදිනම් පින්නට පැහෙන තාවුළු වී වර්ග, දැන් ඔය කෘමිනාශක හදන වල්තෙල් හදන සමාගම්වල ගැටවලට අහුවෙලා වවන දෙමුහුන් වී වර්ග වගේ නෙවෙයි, දේශීය පාරම්පරික වී වර්ග, ගොයම් ගහ වැටුණත් ආයෙත් නැගිටිනවා. ගොඩක් වර්ගවල ගහේ පුරුක් තියෙනවා මඩක වැටුණත් ආයෙත් පුරුකෙන් මුල් ඇදලා උඩට එනවා. සමහර ඒවා අසල තියෙන ගස් වැල්හි කොළ රොඩු නිසාම නිකම්ම සාර වෙනවා. අපේ වී වර්ග බොහෝමයක් උස යන ඒවා. ඒ නිසා වල් පැළවීම් නෑ. දවස් හතේ වතුර බැඳලා තණකොළ කුණු කරලා හාලා ගත්තම ඒ පොහොර හොඳටම ඇති. සමහර අපේ වී වර්ග තියෙනවා කාබනික පොහොරවත් නොදැමිය යුතු, ඒ තරමට සරුවට හැදෙන ඒවා. දේශීය වී වර්ග අපේ රටේ තියෙන්නෙ ඒ ඒ පළාතට කාලගුණයට දේශගුණයට අදාළව ආවේණිකව. ඒකනේ දින හැටෙන් ඒ කිව්වෙ මාස දෙකෙන් අස්වනු ගන්න පුළුවන් හැට දා වීවලින් ආරම්භ වුණාම මාස නවයකින් පලදාව ගන්න පුළුවන් වී දක්වාම විවිධ කාලයන් අවශ්‍ය වර්ග තියෙන්නෙ.”

හේමපාල ගොවි මහතාගෙන් ප්‍රායෝගිකව ඉගෙන ගත හැකි පසු අස්වනු තාක්ෂණයක්ද තිබේ. සාමාන්‍යයෙන් වී වර්ග කලක් ගබඩා කර තැබීමේදී ගුල්ලන්ගෙන් හානියට පත්වීම් සිදුවෙනවා. එහෙත් ඔහුගෙ වී ගබඩාවේ අවුරුදු හතර පහ ගතවුවද නැවුම් බව රැඳෙන හා ගුල්ලන් නොගැසූ බීජ තිබෙනවා.

එහි ඇති එකම රහස ලෙස හේමපාල පවසන්නේ රසායන පොහොර නොයොදා කාබනිකව ප්‍රමිතියට වගා කළ දේශීය පාරම්පරික ගොයමක වී ගුල්ලන්ගෙ ප්‍රහාරයට ලක් නොවන බවය.

අවුරුදු 61 වුවද තවමත් මහපොළොව සමග හරි හරියට හැප්පෙන මහ පොළොවට අපේ දේට ළෙන්ගතු මේ මිනිසා සිය දැනුම ආකල්ප හා සම්පත් සමස්ත ජාතියේම හෙට දවස වෙනුවෙන් දායක කරමින් සිටීම වාසනාවක්මය.

ජයන්ත සුබසිංහ