අතන මෙතන

පානදුර හෙල්ලූ සුදු මල්ලී අල්ලයි

කප්පම් ගැනීමෙන් හා හෙරොයින් ජාවාරමෙන් පානදුර ජනතාව බියවැද්දූ සුදු මල්ලී නමින් හඳුන්වන සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකා කළුතර විශේෂ ඒකකය මගින් පෙරේදා (11දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 33 හැවිරිදි පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 415ක් සහ කඩුවක්ද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුගේ ප්‍රධානියා වූ පොඩි සුදා නමැත්තා පසුගිය බදාදා දිනයේ කළුතර පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ වැටලීම් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම ප්‍රධාන සැකකරුගේ සියලුම මූල්‍ය ගනුදෙනු මෙම සුදු මල්ලී නමැත්තා විසින් සිදු කරගෙන ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත. කෝටි ගණනක බැංකු ගිණුම් සහ වාහන 20කට අධික සංඛ්‍යාවක්ද සැකකරු සතුව තිබී ඇත. ප්‍රධාන සැකකරු වූ පොඩි සුදා අත්අඩංගුවට ගෙන පානදුර දකුණ පොලිසියට භාරදුන් පසු රැඳවුම් නියෝග ඉල්ලා සිටින ලෙස පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පවසා ඇතත් පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු සියලුම නිලධාරීන් එකහෙළාම විරෝධය ප්‍රකාශ කොට තිබේ.

එම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ පානදුර දකුණ පොලිසියේ ඉහළ නිලධාරියකු සැකකරුගේ ජංගම දුරකථනයට ඇමැතුමක් දී බිය නොවන ලෙස පවසා ඇත. ඒ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඉදිරිපිටදීය.

සුදු මල්ලී නමැති සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත පවසා ඇත්තේ පානදුර දකුණ පොලිසියට සැකකරු භාරදීමෙන් පළක් නොමැති නිසා වෙනත් පොලිස් ස්ථානයකට භාර දෙන ලෙසටයි.

කළුතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ සහාය මෙම සැකකරුට ලැබී ඇති නිසා මොහු විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම අපරාධ ක්‍රියාවල නිරත වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රධාන ජාවාරම්කරු වූ පොඩි සුදාට රැඳවුම් නියෝග ලබාගැනීම පානදුර දකුණ පොලිසිය මැලිවී ඇත්තේ පොඩි සුදාගේ නිවසෙහි ඇති සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී හෝ ජංගම දුරකථන විශ්ලේෂණය කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ බවට සැක කෙරෙන සම්බන්ධතාවන් හෙළිවේ යැයි ඇති බිය නිසාවෙන් බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු සැක පළ කරති.

හේමන්ත ලියනපතිරණ