brand logo

පාතාලයේ බෙලි කැපූ මධුෂ් පාතාලයන්ට උරුම ගමනම යයි

21 October 2020

ප්‍රධාන පෙළේ අපරාධකරුවකු හා කුඩු ජාවාරම්කරුවකු සේ රටේ ප්‍රකටව සිටි මාකඳුරේ මධුෂ් නමැත්තා ඊයේ (20දා) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවීමෙන් මියගියේ කොවිඩ් ව්‍යාප්තිය අතරේ අලුත් ප්‍රවෘත්තියක් මවමිනි. තම විරුද්ධවාදියා රටේ කොතැනක සිටියත් ඔහු විනාශ කර දැමීමට සිය ගෝල බාල වෙඩික්කරුවන් මෙහෙයවූ මධුෂ් පොලිස් නිලධාරීන්ට, බන්ධනාගාර නිලධාරීන්ට මෙන්ම පාතාල මර්දන නිලධාරීන්ට පවා අභියෝග කළ අයකු විය. එසේ වුවත් අවසානයේ මාකඳුරේ මධුෂ්ගේ අවසානය ලියැවුණේත් අංගොඩ ලොක්කා, එස්.එෆ්. ලොක්කා, මාමාස්මි, ඕල්කට්, ෆාජි, ආනමාලු ඉමිටියාස් වැනි පාතාලයේ කෙරුම්කාරයන් අවසන් ගමන් ගිය ආකාරයටමය. ගිය වසරේ මැයි 5 වැනිදා කටුනායක ගුවන් තොටුපොළේදී සී.අයි.ඩී. අත්අඩංගුවට පත්වූදා පටන් ගතවූ වසර එකහමාරම මධුෂ් සිටියේ හතරවැනි තට්ටුවේය. සී.අයි.ඩී.යේ හතරවැනි තට්ටුවට ගියදා පටන් මධුෂ් තමන්ගේ ඉරණම ගැන සිටියේ දෙගිඩියාවෙනි. මධුෂ් සී.අයි.ඩී. භාරයේ සිටි වසර එකහමාරක නිහඬ කාලය අවසන් කරන්නේ මීට දින හතරකට පෙර සිටය. කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මාකඳුරේ මධුෂ් පසුගිය 16දා රැගෙන එන්නේ කුඩු ජාවාරම් ගැන විමර්ශනයකටය. කොටිකාවත්තේ ගරාජයක සඟවා තිබූ බව කියන රුපියල් කෝටි එකොළහක් වටිනා හෙරොයින් කිලෝ එකොළහක් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය හෙළි කරන්නේ මේ අනුවය. මාකඳුරේ මධුෂ් මෙම කුඩු තොගය ගැන හෙළි කරන්නේ පසුගිය 17 වැනිදාය. පොලිස් භාරයේ සිටියද මධුෂ්ගේ කුඩු ජාවාරම් ජාලය නැවතුණේ නැත. පොලිසියට දිගින් දිගටම අවශ්‍ය වූයේ එය මැඬලීමටය. ඒ සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද දිගින් දිගටම උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති ඇන්ස්ලම් සිල්වා හා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ඇතුළු කණ්ඩායම දිගින් දිගටම මධුෂ්ගෙන් ප්‍රශ්න කළේ ඔහුගේ කුඩු ජාවාරමේ අලගිය මුලගිය තැන් සොයා ගැනීමේ අරමුණින් යුතුවය. දිගින් දිගටම පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ මධුෂ් කියා සිටියේ, ‘‘සර්, මෙහෙට කුඩු ගෙන්වන හතරක් ඉන්නවා. මම හරියට ඉන්ෆොමේෂන් දෙන්නම්. මට ෆෝන් එකක් දෙන්න’’ යැයි කියා සිටියේය. ඒත් මධුෂ් ගැන හොඳ හැටි දන්නා පොලිසිය ඔහු කියන සියලු දේ ඒ අයුරින්ම විශ්වාස කළේ නැත. මාකඳුරේ මධුෂ් දිගින් දිගටම උත්සාහ කළේ කෙසේ හෝ රහස් පොලිස් භාරයෙන් මිදී රිමාන්ඩ් භාරයට පත්වී යළි අපරාධ රැල්ල මෙහෙයවීමටය. එහෙත් මේ උත්සාහයන් වැරදුණ තැන ඔහු පසුගිය සතියේ සිට ඔත්තුකරුවකු සේ කුඩු ජාවාරම් ගැන හෙළි කරන්න විය. මුලින් කී පරිදි අපරාධ කොට්ඨ‍ාසයේ නිලධාරීන් ප්‍රශ්න කරද්දී මධුෂ් තමාට ජංගම දුරකථනයක් දෙන්නැයි කළ ඉල්ලීම ඉහළ නිලධාරීන්ට දන්වා එම පහසුකම දෙන්නේ සියලු ඇමතුම් නිලධාරියකුට විමර්ශනය කළ හැකි අයුරිනි. පළමු කුඩු තොගය ගැන දුන් තොරතුර මෙන්ම දෙවැනි තොරතුර මධුෂ්ට දෙන්නේත් මධුෂ් කතා කළ ගෝලයෙකි. එම තොරතුරට අනුව කුඩු තොගය ඇත්තේ මාලිගාවත්තේ ඇපල් වත්තේය. ඇපල් වත්ත යනු කලක් පාතාල පොලිසියක් පවා රජ කළ කලාපයක් විය. මාමාස්මි නමැති පාතාල නායකයා යටතේ ක්‍රියාත්මක වූ මෙම ප්‍රදේශයේ ජනතාවට එකල පොලිසියට යාම පවා තහනම් විය. හමුදා බුද්ධි අංශයේ ඔත්තුකරුවකු පවා ඝාතනය වන්නේ පොලිසියට ඔත්තු දුන් වරදටය. මාමාස්මි පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුමකින් මියගිය පසු හිස ඔසවන්නේ මධුෂ්ගේ සමීපතමයා වූ කන්ජිපානි ඉම්රාන්ය. එදා මමාස්මිලා, ආණමාලු ඉමිටියාස්ලා රජකරද්දී පාතාලයේ පහළම සාමාජිකයකු වූ කංජිපානි මාලිගාවත්තේ රජ වෙන්නේ මධුෂ්ගේ අනුග්‍රහයද සමගය. මාකඳුරේ මධුෂ් හා කන්ජිපානි එක්ව ප්‍රධාන පෙළේ ටැක්සි සේවාවක්ද අරඹන්නේ මේ සමගය. ඒ මොහොමඩ් රිස්කාන් නමැත්තාගේ නමිනි. කෙසේ වුවද පසු කලෙක රිස්කාන්ද ඝාතනය විය. ඒ ඝාතනය සිදු කළේ කොස්මල්ලි නමැති අයෙකි. සිය සගයා මරා දැමූ පළිය ගන්නට අඟුණකොළපැලැස්සට ගොස් කොස් මල්ලි ඝාතනය කර ඔහුගේ හිස අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටට ගෙන එන්නේද මධුෂ්ගේ අණ පරිදිය. ඒ 2018 මාර්තු 07 දාය. ඒ වන විටද මධුෂ් ඩුබායි වෙත පැනගොස් සිටි අතර ඝාතනය මෙහෙයවා තිබුණේ එහි සිටය. මධුෂ්ගේ සමීපතමයා වූ කන්ජිපානි ඉම්රාන් මීට මාස හතරකට පෙර බූස්ස බන්ධනාගාරයේ සිට සැලසුම් කර මාලිගාවත්ත ලක්සෙත නිවාස සංකීර්ණයේ දසවැනි මහලේ අංක දහය නිවසේ පදිංචි අබ්දුල් රවුෆ් මරා දමන්නේය. ඒ රවුෆ් කන්ජිපානිට මාලිගාවත්තේ සිටි ප්‍රබලම ප්‍රතිවාදියා නිසාය. ඔහුට වෙඩි තියන්නේ හුසේන් හෙවත් ෆවුමි නමැත්තාය. පසුගිය සතියේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මධුෂ්ගේ පාතාල සබඳතා සහ පාතාල ඝාතන ගැනත් කුඩු ගැනත් දිගින් දිගටම විමසද්දී ඔහු කියා සිටියේ, ‘‘සර් මාලිගාවත්ත ඇපල් වත්තේ රවුෆ්ට වෙඩි තිබ්බ කෙනාගේ ගෙදර තමයි බඩු ටික (කුඩු) තියෙන්නේ. මේ වැඩේ හරියට කරගත්තොත් මේකෙන් පස්සේ ලොකු දෙයක් හෙළිකරන්නම්.’‘ යැයි කීවේය. මධුෂ් දුන් තොරතුරුත් සමග ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් සිල්වා, ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ඇතුළු දාහත් දෙනකුගේ කණ්ඩායමක් මධුෂ්වත් කැටුව ඊයේ (20 වැනිදා) අලුයම් කාලයේම මාලිගාවත්තට පැමිණියහ. එසේ පැමිණි කණ්ඩායමේ හත් දෙනකු මධුෂ් සමග එම මහල් නිවාස සංකීර්ණයට ගොස් එහි දහවැනි මහලට යාමට තරප්පු පෙළ දිගේ ඉහළට නගිත්ම දෙවැනි මහලේ සිට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ඉන් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට තුවාල සිදුවිය. ඒ සමගම එල්ල වූ වෙඩි උණ්ඩයකින් මාකඳුරේ මධුෂ්ද ඇද වැටිණි. ඒ සමගම පොලිසියත් පාතාලයත් අතර වෙඩි හුවමාරුවක් සිදු විය. මෙම වෙඩි හුවමාරුව අතරේ අත් බෝම්බයක්ද පුපුරා ගියේය. අත් බෝම්බ ප්‍රහාරය එල්ල කර එහි සිටි වෙඩික්කරුවන් දෙදනකු පලා ගියහ. එසේ පලාගොස් තිබුණේ ඔවුන් පැමිණ සිටි බවට සැක කරන යතුරු පැදියක්ද එහි තිබියදීය. ඒ සමගම පොලිසිය එසේ තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනා සහ මධුෂ් රෝහල් ගත කළ ද ඒ වන විටත් මධුෂ් මිය ගොස් තිබිණි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..