කතුවැකි

පාතාලයා දේශපාලනඥයාගේ මිනිහෙකි දැන් දේශපාලනඥයා පාතාලයාගේ මිනිහෙකි

පාතාලයේ මධුෂ් වෙඩි කා නැසුණේය. වෙඩි තිබ්බේ කවුද යන්න සතිය අවසානයේදීත් විසඳී තිබුණේ නැත. මුලදී වාර්තා වුණේ පොලිස් වෙඩි පහරකින් පරළොව ගිය බවය. එහෙත් පසුව වරද නිවැරදි කොට මධුෂ් මළේ පාතාලයේම වෙඩිල්ලකින් බව කියැවිණ. මධුෂ් කෑ වෙඩිල්ල කාගේදැයි සතිය අවසානය වන විටත් විසඳී නොතිබුණ බව අප කීවේ එබැවිනි.

එසේම මධුෂ්ගේ දේහය අනියම් බිරිඳට භාරදුන් බව වාර්තා විය. අනියම් බිරිය ඒ ප්‍රකාශයට විරුද්ධව ජනමාධ්‍යවේදීන්ට දෝෂාරෝපණය කළාය. ඒ තමන්ට අනියම් බිරිය යැයි හැඳින් වූ නිසාය. ඇය කියන්නී තමන්ද නීත්‍යනුකූල බවය.

කෙසේ වුවත් මධුෂ් මියගියත් ඇය තනි නොවන බව අපට සහතිකය.

ඇය තනි නොවන්නේ මධුෂ් වෙනුවෙන් පෙනී සිටින්නට පිරිසක් ඉදිරිපත් වීම නිසාය. ඔවුන් කීවේ පොලිසිය අපරාධකාරයකුට මේ ආකාරයෙන් සැලකීම අපරාධයක් බවය. අපරාධකාරයා වෙනුවෙන් කෙළින්ම පෙනී සිටින්නට බැරි නිසා දේශපාලනඥයන් කීවේ ආණ්ඩුවේ දේශපාලන රහස් වමාරන නිසා මධුෂ් මරාදැමීමට පොලිසිය කටයුතු කළ බවය.

සැබැවින්ම මධුෂ් ඔය කියන රාත්‍රියේ මාලිගාවත්තට ගෙන යන්නේ නැතිව තියා ගත්තා නම් වෙන්නේ කුමක්ද?

මධුෂ්ව මුලින්ම අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා වන ප්‍රියන්ත ජයකොඩි පවසන්නේ මධුෂ් තුන්වෙනි පෙළේ අපරාධකාරයකු බවයි.

සූර සරදියෙල්ලා, මරුසිරාලා, චීනලා පළමු පෙළේ අපරාධකාරයෝය. පළමු පෙළේ හෙවත් Grade -01 අපරාධකාරයා අපරාධය තම අතින්ම කරයි.

එහෙත් තමන් ලේ ගා ගන්නේ නැතිව අවදානමට මුහුණ දෙන්නේ නැතිව වෙනකකු ලවා කුලියට අපරාධ කරවන්නා තුන්වැනි පෙළේ අපරාධකාරයෙකි. පළමු පෙළේ අපරාධකාරයන් අතරින් ඇතැමකු සටන් වදින්නේ හුදී ජනයා තලා පෙළන බලවතුන් සමගය. එබැවින් පොදු සමාජය ඔවුන් සලකන්නේ වීරයන් වශයෙනි.

එහෙත් තුන්වැනි පෙළේ අපරාධකාරයා පොදු සමාජයද විනාශයට යවන, එයට බිය ගෙනෙන එකෙකි. තුන්වැනි පෙළේ අපරාධකාරයා අපරාධය කරවන්නකු වන බැවින් ඔහුට එරෙහිව තිබෙන සාක්ෂි සීමිතය. ඔහු විදේශයක ජීවත්වෙමින් තමන්ගේ පියාගේ මළගමට ගුවනින් මල් ඉසීමටද සූදානම් සුදනෙකි. බන්ධනාගාර බසයකට පහර දී සමයං මරන්නත්, කොස් මල්ලී මරා ඔළුව උසාවියට ගෙනැත් දැමීමත් මධුෂ් කළේ ඩුබායිහි හිඳිමිනි. මේ එක ඝාතනයකටවත් ඔහු ආවේ නැති නිසා ඔහුට දණ්ඩ නීති සංග්‍රහයෙන් රිංගීම බල්ලෙකු කම්බිවැටක් තරණය කිරීම බදු කාර්යයකි.

පළමු පෙළ අපරාධකාරයාට තම හිසට තම අතමය. එහෙත් මධුෂ් බඳු තුන්වැනි පෙළේ අපරාධකාරයන්ගේ හිසට අත් දහසකි. අනියම් බිරිඳගේ උපන් දිනය සමරන්නට තමන් ජීවත්වන ඩුබායි රාජ්‍යයට ලංකාවේ කලාකරුවන් ගෙන්වා ගන්නට මධුෂ් සමත්ය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ හිටපු කැඳවුම්කරුවකු බඳු රැඩිකල් මත දරන නීතිඥයකු ඩුබායිහි උසාවියට කැඳවා ගැනීමට මධුෂ් සමත් විය. ලංකාවෙන් යන පොලිස් ලොක්කන්ට ඔහුගේම හෝටලයක නවාතැන් දෙන්නට සමත් නම්, තමන් වෙනුවෙන් ලියන්නට වෙබ්අඩවිකරුවෙක් හෝ මුහුණු පොතේ කුරුටුගාන ප්‍රබුද්ධයකු තනා ගැනීම මොන කජ්ජක්ද?

අපරාධකාරයා පළමුව දේශපාලනඥයාගේ මිනිසෙකි. කලක් ඇවෑමෙන් දේශපාලනඥයා අපරාධකාරයාගේ මිනිසෙක් වෙයි.

මධුෂ් නම් තුන්වැනි පෙළේ අපරාධකාරයා පැමිණ සිටියේ මේ දෙවන අදියරයය. මධුෂ් දේශපාලනඥයාගේ මිනිසෙක් නොව දේශපාලනඥයෝ මධුෂ්ගේ මිනිස්සු බවට පත් වූහ. දකුණේ එක් දේශපාලනඥයකු පුතාගේ මඟුල ගත්තේද, මධුෂ්ගේ සල්ලිවලින් බව කියැවේ. ආරක්ෂක අංශ පවා මධුෂ්ට පණිවුඩ කියන්නේ දේශපාලනඥයා හරහාය. ඉදින් එසේ තිබියදී මහ රැයක කුඩු සොයන්නට මධුෂ් වැනි පාතාලයන් ගෙන යන්නේ නැතිව ඒකාට සැලියුට් කරන්නද? පොලිසිය දේහය භාරදීමේදී කළ යුතු දෙයක් තිබුණි. ඔවුන් මාකඳුරේ මධුෂ්ගේ දේහය භාරදිය යුතුව තිබුණේ අනියම් බිරියට නොව දේශපාලනඥයන්ටය.