විශේෂාංග

ප්‍රේමයෙන්ම ජෝතිමත් වූ ජෝති

මෙරටේදීත් ලොව කොතැනක ගියත් පෙම්වතියෝ තම සිහින කුමාරයා සොයා පැමිණියහ. ඔහු ගීයෙන් මෙන්ම ජීවිතයෙන්ද ප්‍රේමය සමසේ බෙදා දුන්නේය. සමහරවිට නන්නාඳුනන පෙම්වතියක් සුළු මොහොතකට ජෝති ගෙන් විඳගත් ප්‍රේමණීය අනුරාගය ජීවිත කාලයක් පුරා සොඳුරු සිහිනයක් ලෙස මතකයෙන් මරණය කරා ගෙන යන්නට ඇත. අපට ජෝති හා කොයින් මැණිකේගේ ප්‍රේමය ගැන මුලින්ම අසන්නට ලැබුණේ රාජාංගණ වැව් තාවුල්ලේදීය. ‘ මැණිකෙ බලන්න සති අන්තේ ආපු ජෝති මේ වැව් බැම්මේ වාඩිවෙල මාළු බෑව.

ගමේ හැම කෙනෙක්ගෙම යාළුවෙක් වුණා. කොත්මලේ ඉඳල මැණිකෙ රාජාංගණේ පදිංචියට එන දවසෙ ජෝති ඔක්කොම යාළුවෝ ගෙන්නල සංගීත ප්‍රසංගයක් තියල රැයක් එළිවෙනකල් මැණිකෙල ගැන සිංදු කිව්ව. එයා මෙහෙ ආවම ජීවත් වුණේ රාජාංගණේ ගැමියෙක් වගේ. ඉරිද හැන්දෑවෙ – සඳුද උදේ කොළඹ යනකොට ගමෙන් කොළඹ යන මිනිස්සුත් දාගෙනයි ගියේ’ රාජාංගණයේදී ජෝති සමග මිතුරුවී සිටි අනුරාධපුරයේ නාට්‍යකරුවෙක් කියන්නේය.

ජෝති නැගපු ඉණිමගට පයින් ගසා කුරුඳුවත්තේ වලව්වකින් කසාද බැඳගන්න වර්ගයේ ජනතා කලාකාරයෙක් නූනේය. තමා විඳි ප්‍රේමය ඔහු සෙස්සන්ට බෙදා දුන්නේය. ප්‍රේමය විඳිනට ඉගැන්වුයේය. රසික ජන සමුහයාට ‌මේවා බෙදුනේ පන්ති කුල ආගම් ඉක්මවා පැතිරුණු මනුෂ්‍යත්වයකිනි.

ඔහුගේ රසිකයන් අතරේ ජනාධිපති ප්‍රේමදාස පවා සිටියේය. නමුත් ඔහු දේශපාලන පාක්ෂිකයෙක් වූවාට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සංස්කෘතික ජාතිකවාදයේ ගොදුරක් වීමේ විරෝධය ඔහුගේ මේ පාක්ෂිකත්වය තුළ සැඟවී තිබුණේය. කොහොමත් ජනප්‍රිය ගායකයන් හා ශ්‍රීලනිප සංස්කෘතික ජාතිකවාදය සමග හැමදාමත් බලවත් ගැටුමක් තිබුණේය. ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, මිල්ටන් පෙරේරා හා එම්. එස්. ප්‍රනාන්දු ද මේ කමකට නැති වාදයේ ගොදුරු බවට පත්වූහ. දේශපාලකයන් මේ ජනප්‍රිය තරු බැස්සවීමට එකල ආණ්ඩුවේ සංස්කෘතික ගහලයෙක් හා ප්‍රධාන සංස්කෘතික පොලිස්කාරයෙක් වූ රජයේ ගුවන් විදුලිය යොදා ගත්තත් ජන රසිකත්වයේ පතුලටම කිඳා බැසීමට සමත් වූහ. මේ සමකාලීනයන් අතරේ ජෝති කැපී පෙනෙන්නේ සියල්ලන්ටම ඉහළින් සිටින්නේ ඔහු තුළ පැවැති දැවැන්ත මනුෂ්‍යත්වය නිසාය. කොත්මලේ කොයින් මැණිකෙගේ ප්‍රේමය ජෝතිගේ මේ මහඟු දුර්ලභ ගුණය තහවුරු කරයි.

සෙනග දෙබෑ කරගෙන කොයින් මැණිකේ වේදිකාව අසලට යන්න පටන් ගත්තේ ඇගේ ප්‍රියතම ගායකයාගේ නම නිවේදකයාගේ කටින් පිටවීමත් සමගය. සංගීත ලෝලීන්ගේ එකම හිස් ගොඩක් වූ පිට්ටනිය මැදින් වේදිකාව අසලට යන්න තනන එකම සංගීත ලෝලිනිය වූයේ ඇය පමණි. කොත්මලේ සිට මේසා දුරක් ආවේ එදා ලැබුණු අනුරාගී බැල්ම තවත් එහාට විඳ ගන්නටය. සැමියා බවට පත්වූ බාල මස්සිනා විජේතුංග දිගින් දිගටම ආඩපාලි කී ආකාරයට ‘කොයිනීට හතර රියන් බජව් කාරයෙක්ගේ බැල්ම වැටී හිසකුඩිච්චි දමාවත් සුව කළ නොහැකි මොළේ අමාරුවක් හැදී ඇත්තේය. ඒක සනීප කරගන්නනම් තෙල්බේත්වලින් කළ නොහැක්කකි. පිස්සුවෙන් රටපුරා ඇවිද සුවකරගත යුක්තකි’

‘අන්න අර ගෑනි වෙළඹක් වගේ මගේ කකුලත් පාගගෙන පිස්සුවෙන් ඉස්සරහට දුවනව සිංදු කියන්න කතා කරා වගේ, සෙනග දෙබෑ කරගෙන ඉදිරියට යද්දී මෙබඳු කතා ඇසුණත් කොයින් මැණිකේ ඒවා තඹයකටවත් මායිම් නොකළාය. ඈට වුවමනා වූයේ තවත් වතාවක් ඔහුගේ බැල්මකට ලක්වෙන්නය. ඔහුත් සමග වචන දෙක තුනක් කතා කරන්නටය. පුළුවන් වුණොත් ඔහුගේ යෝධ දෑත් අතරේ මිරිකෙන්නටය. ඈ යන්තමට වේදිකාව අසලට ළංවෙද්දී ඔහු තෙවන සිංදුවත් අවසන් කරමින් සිටියේය.

වාසනාවට රසිකයෝ උමතුවෙන් මොර දුන්හ… ‘‘ජෝති අයිය තව එකක්. වන් මෝ ප්ලීස්…’
නිවේදකයා අතට ආපසු දුන් මයික්‍රෆෝනය යළිත් ඉල්ලා ගත් ජෝති රසික ඉල්ලීම සපුරන්න සිංදුවක් තෝරා ගන්න වේදිකාවෙන් අවට නෙත් පීරමින් සිටියේය. ඒ දැස් තමා අසලින් යන්නේයයි සැක සිතෙන තැනදී කොයින් මැණිකේ අත් දෙකම ඔසවා වැනුවාය. පිට්ටනිය සිසාරා නැවත වතාවක් යන ඔහුගේ බැල්ම මේ වතාවේ ඈ අසල නැවතුණේය. මඳ විරාමයක් ගත්තේය. කොයින් මැණිකේ උමතු කරන සිනාවකින් සංග්‍රහ කෙරුණේය. ගීය අවසාන කර කෙළින්ම ඔහු බැලුවේ ඇය දිහාවය. ඇගේ ලෝකයේත් ඔහුගේ ලෝකයේත් දැන් තනිවී සිටින්නේ ඔවුනොවුන් බව දෙදෙනාම දැන ගත්තා බඳුය. ඊළඟට වේදිකාව පිටුපසට එන්නට සංඥා කෙරුණේය. කොයින් මැණිකේ සංඥාවෙන් නම් හොඳටෝම අතරමං වූවාය.

තමා හැර වෙන කෙනෙකුට දැයි සැක හැර ගන්න කීප විටක් වටපිට බැලුවාය. ස්ත්‍රී පරාණයක් ඈ අවට නැති බව සැකහැර දැනගත් කොයින් මැණිකේ හැන්දැවේ පෙම්වතෙක් හමුවෙන්න කළගෙඩියක් උස්සාගෙන ගමේ වතුර පීල්ලට දුවන දඟකාර දැරියක් මෙන් වේදිකාව පිටුපසට දිවගියාය. ඔහු රසිකයන් ද සංවිධායකයන්ද පිරිවරා සිටියත් ඔවුන්ගේ හිස්වලට උඩින් වටපිට බලමින් සිටි නිසා එකවරම ඇගේ පිවිසීම සනිටුහන් කර ගත්තේය. මොහොතක් ඉන්නැයි හස්ත මුද්‍රාවෙන් කීවේය.

අපි කොත්මලේ දී හම්බවුණා නේද? ඔහු ඇයට ළංවුණේ දෑත් ඔසවාගෙන බලවත් සතුටිනි. මැණිකේ සිනාසෙමින් ඔහු වෙතට පැන්නාය. දිගු කලක් නොදැක සිටි පෙම්වතුන් යුවළක් මෙන් ඔවුහු සෙනග මැද්දේම එකිනෙකාට තුරුළු වූහ.

අවට කෙරෙන ඉඟිබිඟි නොතකාම මැණිකේ හිස ඔසවා අඩි කීපයක් උඩින් පෙනෙන ඔහුගේ මුහුණ දෙස බැලුවාය.

‘‘තනියමද ආවේ..’’ ඔහු ප්‍රීතියෙන් උතුරා යන සිනහවෙන් ඇසුවේය. ඈ හිස සැලුවා පමණි.
‘‘මෙච්චර දුරක් … ?’’ මැණිකේ තරමක ආඩම්බරයෙන් හිස සැලුවා මිස වචනවලින් පිළිතුරු නුදුන්නාය.
‘‘එහෙනම් අද අපේ ගෙදර ඉඳල යමු… රෑ වෙලා යන්නත් බෑනේ…’’ ඒ පාරනම් ඈට කතා නොකර සිටිය නොහැකි විය.

පිටතට නොයන්න වචන මුව තුළ සඟවා ගෙන කතා කළාය.
‘‘කවුද ගෙදර ඉන්නේ?’’

‘‘කවුරුත් නෑ… මම විතරයි…මැණිකෙ… මම තනිකඩය… තට්ටු ගේක තනියම ඉන්න තනිකඩය…’’ ඔහු ගීතවත් හඬකින් සිනාසෙමින් කීවේය. මදු විතට කෙරුණු ඇරයුම් කාරුණිකව ඉවත දැම්මේය. ‘ බෑ මල්ලි දැනටමත් කුදාර් වෙන්න වැදිල ඉන්නේ අනික කොත්මලේ අපේ මැණිකෙ නංගිත් ඇවිත් ඉන්නේ. වේලාසන යන්න ඕන.’’
සිහින පෙම්වතාගේ අතේ එල්ලී කොයින් මැණිකේ අසම්මත දිගු පෙම් බැඳුමකට මුල පුරමින් සෙනග අතරින් ඉදිරියට ඇදුණාය.

වයර්ලැස් එක නමින් ගැමියන් හැඳින්වුණ රේඩියෝ එකල ගමකට තිබුණේ එකක් හෝ දෙකක් පමණි. රෙදි අන්දා අල්මාරියක් මත්තේ හෝ පොඩි එවුන්ගේ අත්වලට ළඟා විය නොහැකි උසක තබා තිබුණු මේ රේඩියෝව උදෑසන සෙත් පිරිත් සජ්ඣායනයට පණ ගැන්වූ පසු නිවා දැමුණේ රාත්‍රියේ ජාතික ගීය වාදනය වෙද්දීය. කොත්මලේ කඳුවැටි අතරේ නැවුම් සුළඟ සමඟ කොහේදෝ සිට ඇදී එන දහස් ගණනක් වූ වයර්ලස් මිනිස් හඬවල් අතරේ එක් හඬක් සමග කොයින් මැණිකේ පෙම් බැඳ ගත්තාය. එහි තිබූ අප්‍රමාණ මානව පෞරුෂය, ප්‍රේමණීයත්වය, අභිලාශය හා ජයග්‍රාහීත්වය ඈට කවදා කොතැනකදී ඇසුණක් මෙන් දැනෙන්නට ගත්තාය.

ඒ අපූරු හඬ ජෝතිපාල නම් ගායකයෙක් බව දැන ගනිද්දී මැණිකේ බාල මස්සිනා වූ විජේතුංග සමග දීග ගොස් සිටියාය. බින්න විවාහයට විජේතුංග ගෙනා අඩුම කුඩුම අතරේ මැණිකේ ආසාම කළ ට්‍රාන්සිස්ටර් රේඩියෝවක්ද තිබුණේය. ට්‍රාන්සිස්ටර් රේඩියෝවක් විජේතුංග ගෙනාවේ තමාගේ යටි සිත දැන සිටි නිසාද එසේත් නැතිනම් මැණිකේගේ මුළු ප්‍රේමයම දිනා ගන්නට දැයි ඈ කිසිම දිනක නොඇසුවාය. දිගු කලක් තිස්සේ සිත හොරා ගත් ගායකයා බලන්නට පළමු වතාවේ මැණිකේ ගියේ දෙවැනි පුතා බඩට ඇවිත් තිබෙද්දීය. විජේතුංග සමගය.
දෙවෙනි වතාවේ ඈ සංගීතයක් බලන්න යද්දී තුවෙනි පුතාත් ඉපදී සිටියත් මැණිකේ පවුල් බර විජේතුංගට පවරා සංගීතය පමණක් නොව සිහින කුමාරයාද හමුවේමැයි අදිටනින් හුදකාලාවම ගියාය. ඕ ගී ඇසුවා පමණක් නොව ජනකාන්ත ගායකයා ළඟටම ගොස් වචන දෙක තුනක් කතා කරන්නට ද සමත් වුණාය. සංගීතයක් බලන්නට හුදකලාවම කොළඹට ආවේ තෙවැනි ගමනටය. විජේතුංග අනාවැකි කී ආකාරයටම ‘සංගීත පිස්සුව වැළඳුනු කොයින් මැණිකා සිදාදියේ බජව්කාරයෙන් අතරටටම ගොස් නවතිනු ඇත්තේය.’

විජේතුංග ඉරිසියාකාර සැමියෙක් නොවුණේය. පුංචි සන්ධියේ පටන් පෙම් බැඳි නෑනා හැමදාමත් හිතුවක්කාර නිසා ඇගේ පාඩුවේ ඉන්නට ඉඩදී දරුපවුලද ගේදොර ඉඩකඩම්ද බලාගෙන ජීවත් වුණේය. ජෝති කොයින් මැණිකේ මුසපත් කරමින් මැණිකේට ගී කියන්නට පටන් ගත්තේය. ඒ වනවිට කොයින් මැණිකේ වැඩිපුර සිටියේ මාළිගාවත්තේ තට්ටු නිවාසයේය.

මහවැලිය හරවා කොත්මලේ යටවෙද්දී විජේතුංග යටවූ ඉඩම්වලට ඉඩම් තඹුත්තේගමින් ඉල්ලා ගනිද්දී කොයින් මැණිකේට ජෝතිට කෙරෙන ගෞරවයක් හැටියට කුඹුරු අක්කර පහක්ම තඹුත්තේගමින් ලැබුණේය. ඒ වනවිට ජෝතිගේ දියණියක් මැණිකෙගේ කුස තුළ පැළපදියම් වෙමින් සිටියේ දිගු කාලීන ප්‍රේමයකට පදනම සපයමිනි.
මැණිකේ මරදානේ නාගරික ජීවිතය හැරදමා තඹුත්තේගමට ගියාය. ජෝති, ඉඩ ඇති සෑම සති අන්තයකම මැණිකේ හා දියණිය දකින්නට තඹුත්තේගමට ආවේය. උපන්ගෙයිම නාගරිකයෙකු වූ ජෝතිට මැණිකෙගේ මැටි පැල්පතත් කුඹුරු යායත් වැවත් නැවුම් හැඟුම් ගෙනාවේය. දවසක ජෝති අම්මත් සමග මැණිකේ හා දියණිය දකින්නට ඇවිත් මේ අලුත් පවුල ජෝතිපාලට ගැට ගැසුවේය.

1987 ජූලි හත්වෙනිදා ජෝති හදිස්සියේම මියගිය බව මැණිකේ දැන ගත්තේ ඔහු ගෙනැවිත් දුන් කැසට් රේඩියෝ එකෙන්මය. සිහින පෙම්වතුන් සමග සෑබෑවට පෙමින් බැඳෙන බොහෝමයක් පෙම්වතියන්ට මෙන් මැණිකේටද ජොතිට අයිතිවාසිකම් කියන්නට කිසිවක් ඉතිරිවී තිබුණේ නැත. ඉතිරි කරගන්නට ද ඈට වුවමනාවක් ඇතිවූයේ නැත.
නමුත් ජෝති නම තැබූ ඔහුගේම දියණිය මිහිරී නිසංසලා ජෝතිපාල කරපින්නා ගත් මැණිකේ බස්වල එල්ලී කොළඹට පැමිණ ඔහුගේ ලක්ෂ ගණනක් රසිකයන් සමග පෝලිමේ ගොස් ජෝති අවසන් වතාවට දැක බලා ගත්තාය. මිහිරි සුන්දර මතකය පමණක් සොහොන කරා ගෙන ගියාය. ජෝති ගේ ප්‍රේමණීය ගී වලින් පමණක් නොව ප්‍රේමයෙන්ද සිය පෙම්වතියන් බේරා ගැනීමට වලිකෑ නාගරිකයන්ට හිතා ගන්නත් බැරි ලෙස කොයින් මැණිකේත් ඇගේ පවුලත් මේ අපූරු මිනිසා ජීවිතකාලය පුරාම ඉවසා සිටියෝය.

මීට මාස කීපයකට පෙරදී අපූරු සිංහල ගී සමුච්ඡයකට උල්පත වූ ජෝතිගේ කොයින් මැණිකේ, ඔවුන්ගේ අපූර්ව වූ ප්‍රේම කතාව අපට සිතා ගැනීමට පමණක් ඉඩ තබා මෙලොවින් සමුගත්තාය. අනාගතය මේ අපූරු පෙම්වතුන් දෙදෙනා ගැන තවතවත් නිර්මාණ රසිකයන්ට දයාද කරනු ඇත.

කේ. නන්දරත්න