විශේෂාංග

ප්‍රේමදාස ජෝතිපාලව පැහැරගෙන යයි

ඒ, එච්.ආර්. ජෝතිපාල ගායකයාණන්ගේ උපන් දිනය වෙනුවෙන් පෙබරවාරි 12 වැනිදා පැවැත් වුණ උත්සවයකි. උත්සවය පැවැත් වුණේ ටවර් රඟහලේය. උත්සවයේ කතිකයා වූයේ කැලුම් ශ්‍රීමාල්ය.

‘‘විජය කුමාරතුංග චිත්‍රපටයක් නිෂ්පාදනය කළා, ඒකේ සින්දු කියන්න කීයක් ගන්නවාද කියලා විජය ඇහුවා ජෝතිපාලගෙන්. ජෝතිපාලට කොච්චර කේන්ති ගියාද කිව්වොත් විජේට කම්මුලට ගැහුවා. ඒ ගහපු පාරේ සැරට විජේගේ මූණේ ජෝතිපාලගේ ඇඟිලි පහම හිටියා.’’

කැලුම් ශ්‍රීමාල් වැඩසටහන අවසන් කළ විට එතැනට පුද්ගලයකු ආවේ කෝපයෙන් පුපුරා යමිනි.

‘‘මොනවද ශ්‍රීමාල් අර ජෝති අයියා ගැන කියපු කැත කතාව? විජය අයියලා, ජෝති අයියලා අතින් පයින් ගහගන්න රස්තියාදුකාරයෝද?’’

‘‘නෑ, නෑ. මට ඒ කියවන්න දීපු ස්ක්‍රිප්ට් එකේ තිබිච්ච එක මම කියෙව්වේ.’’

‘‘එහෙනම් ඉතින් විජයට වෙඩි තිබ්බෙත්, ජෝතිපාල කියලා ලියලා තිබ්බොත් ​ජෝතිපාල කියලා ලියලා තිබුණොත් කියනවද?’’

මේ කතාබහ ඇසී එතැනට ආ කිහිප දෙනකු විජයගේ කනට ගැසූ කතාවට විරෝධය පාන්නට විය.

ඇත්තටම සිදුවී තිබුණේ කුමක්ද? මෙරට එක් සිනමා කතුවරයකු මෙවැනි සිදුවීමක් වූ බවට අතේ රෝලක් මෙරට පුවත්පතක ලියා පළකර තිබීමය. මේ සිදුවීම සම්බන්ධ කිසිවකු ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගත් නිසා ජෝති උපන් දින සමරු උත්සවයේ පිටපත් රචකයා ඉහතින් කියූ විදිහට කනට ගැසීමේ කතාව උපුටාගෙන තිබුණි.

ජෝති විසින් විජයගේ කනට ගැසීමේ කතාවට විරෝධය පෑ පුද්ගලයා පද්මසිරි කොඩිකාරය.

‘‘විජය කුමාරතුංග නිෂ්පාදනය කරපු ඔය චිත්‍රපටය ‘වරදට දඬුවම්’. මටත් විජය අයියා කිව්වා ප්‍රොඩක්ෂන් එකට උදව් කරන්න කියලා. හැමෝටම කියන්න මේක විජයගේ ෆිල්ම් එකක් කියලා. කාටවත් සත පහක් ගෙවීම් අඩු කරන්න එපා කිව්වා.’’

විජය කුමාරතුංගගේ මේ වරදට දඬුවම් චිත්‍රපටයේ එච්.ආර්. ජෝතිපාල ගීත හයක් ගායනා කොට ඇත. ඇන්ජලීන් හා ලතා යුග ගී ගායනයට එක්වී ඇත. ලතා වල්පොළගෙන් ගාස්තුව ගැන ඇසූ විට ඇය පවසා ඇත්තේ

‘විජයට ගණන් කියන්න පුළුවන්ද? ඔන්න ඔය රු. 500ක් දෙන්න’

කියාය. එකල ලතා හා ඇන්ජලීන් ගීතයකට අය කළ මුදල රු. 1500කි. ජෝතිපාල එක් ගීයකට රු. 5000ක් අය කරන ලදී. ඉන්පසු ඇන්ජලින්ගෙන් ගාස්තුව ඇසූ විට ඇය දුන්නේ අමුතු කතාවකි.

‘‘විජය ඉන්නවා නම් ඉතින් යසපාලිත නානායක්කාර‌නේ ඩිරෙක්ට් කරනවා ඇත්තේ මට 1500 ගාණේ සින්දුවකට දෙන්න’’

යි ඇන්ජලීන් සම්පූර්ණ මුදලම ලබාගත්තාය. ඉන්පසු එළැඹෙන්නේ ජෝතිපාලගේ ගාස්තුව විමසන අවස්ථාවයි.

‘‘පිස්සුද පද්මසිරි විජයගේ ෆිල්ම් එකකට සින්දු කියලා සල්ලි ගන්න. විජයට කියන්න තව ෆිල්ම් පහ හයක් කරන්න කියලා. මට සත පහක් එපා.’’

එච්.ආර්. ජෝතිපාල ගායකයා මියගියේ මීට වසර 33කට එපිට 1987 ජූලි 7 වැනිදාය. ජෝතිපාල මියගිය අවස්ථාවේ බොහෝ දෙනකු නිගමනය කළේ ජෝතිපාල මැරුනේ බීලා සිරෝසිස් හැදී බවය. ඒත් පසුකලෙක අජන්තා රණසිංහ, ගුවන්විදුලි වැඩසටහනක මේ ගැන සඳහන් කළේ මෙවැනි අදහසකි.

‘‘ජෝතිපාල මැරුනේ බීලා නෙවෙයි, හාට්ඇටෑක් එකකින්. ජෝතිපාල බීලා මැරුණා කියන එක සම්පූර්ණයෙන් වැරදි මතයක්.’’

ජෝතිපාල මියගිය මොහොතේ 33 වසරකට පෙර සරත් අමුණුගම, ජෝතිපාල ගැන ලියූ ලිපිය සමාජයේ දැඩි කතාබහට ලක්වූවකි. අමුණුගම බය නැතුව ජෝතිපාල වෙනුවෙන් පෙනී සිටියේ පේරාදෙණිය මනෝරාජයේ අධිපති එදිරිවීර සරච්චන්ද්‍රයන් ජෝතිපාලට තිබුණේ ගොරහැඬි හඬක් යැයි ප්‍රසිද්ධියේ කියද්දීය.

අමුණුගම ලියූ ජෝතිපාල ගැන ලිපියේ හෙඩිම වූයේ ‘ජෝතිපාල බිඳ වැටුණු සංස්කෘතික බලකණුවයි.’ එය පළකළ පත්තරේ නම විචිත්‍රය. පත්තරේ කර්තෘ අද ෆාස්ට් ඇඩ්ස් අධිපති ප්‍රේම් දිසානායකය. මුද්‍රණය කරන ලද්දේ සර්වෝදය විශ්වලේඛා මුද්‍රණාලයේය. අමුණුගම තිස් තුන් වසරකට පෙර කියූ කතාව අද සැබෑ වී තිබේ. එච්.ආර්. ජෝතිපාල යනු සංස්කෘතික බලකණුවක් බව අද ජාතියටම ඒත්තු ගොස් තිබේ. ඒත් ඔහු ජීවතුන් අතර සිටි කාලයේ අපේ ගොයියලා ඔහු පරිභව කළේ බයිලාකාරයා කියාය.

ජෝතිපාල අවසන් වරට ගී ගැයුවේ කතරගම ගම් උදා භූමියේය. මූලාසනයේ සිටි එවකට අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස දුටුගැමුණු කුමාරයා ලෙස හැඳින්වූ ජෝතිපාල වේදිකාවේ කිව්වේ දුටුගැමුණු කුමාරයා වෙනුවෙන් ජෝතිපාල එළිවනතුරු ගීත ගායනා කරන බවය. ඒ අවසන් ගීත පෙළ ජෝතිපාල ගායන දිවියේ ඓතිහාසික දිනකි. තම ගායන දිවියේ එදා තෙක් ජෝතිපාලට ලැබුණේ අත්පුඩි හා විසිල් පාරවල්ය. ජෝතිපාලට මුල්වරට හූ හඬකින් උපහාර පිදුවේ මේ ගම් උදා ප්‍රසංගයේය. රෝගීව සිටි ජෝතිපාලගේ හඬ ඒ තරම් විකෘති වී තිබුණි. රෝහල්ගත කළ පසු ජෝතිපාල වෛද්‍යවරයාට ‘ගීත කියන්නට බැරි නම් ජීවත් වී පළක් නැතැයි’ පවසා ඇත්තේ මේ නිසා විය යුතුය.

ජෝතිපාලගේ මේ අවසන් මරණාසන්න ගම් උදා ගීත පෙළ ජාතික රූපවාහිනියෙන් විකාශනය කරන විට එයට කෙලින්ම විරෝධතාව දැක්වූ පුද්ගලයකු නම් ආනන්ද තිස්ස ද අල්විස්ය. ඊට එරෙහිව ලිඛිතව විරෝධය පෑ ආනන්ද තිස්ස ප්‍රකට පුවත්පත් කලාවේදියෙක්, හිටපු කථානායකවරයකු මෙන්ම ප්‍රවෘත්ති අමාත්‍යවරයාද විය. ඔහු තම විරෝධය පෑවේ මෙම ගීත ප්‍රචාරය ​ජෝතිපාලට කරන ලොකුම අපහාසය බවය. ​ජෝතිගේ ගීත එකතුවක් මෑතක් වනතරු රාත්‍රි දිනපතා ගුවන්විදුලියෙන් ප්‍රචාරය විය. වැඩසටහන මෙහෙයවූයේ ආනන්ද පද්මසිරිය. යහපාලන ආණ්ඩුව, වැඩසටහන නතර කරන ලදී. වැඩසටහන මෙහෙයවන්නා ගුවන්විදුලිය ඉදිරිපිට දහස් ගණනක් ගෙන්වා විරෝධයක් පළ කරන බව කිව්වත් වැඩ ඵල දැරුවේ නැත.

ජෝතිපාලගේ ජීවිතයේ මුල් කාලයේ උදව් කළේ ‘හොඳ අයියා’ කෙනෙකි. ඔහු ​ජෝකින් පෙරේරා නොහොත් ජෝකින් අයියාය. අයියා කියූ සැණින් ඔබ මතකයට එන්​නේ කොට කලිසමට උඩින් කැසපට ගසාගත් කළු කොටු බැනියම ඇඳ අත් බාහු දෙකේ පච්ච (අද නම් රෙස්පෙක්ට් විදිහට ටැටූ) කොටාගත් බ්‍රිස්ටල් එකක් විනාඩියකට අඟලක වේගයෙන් උරණ චණ්ඩියෙකි. ඒත් මේ ජෝකිං අයියා එවැනි පුද්ගලයකු නොවේ. කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළෙඳපොළේ දැවැන්ත මාළු ව්‍යාපාරිකයකු වූ ඔහු ඉංගිරිසි පූර්ණ අධ්‍යාපනය ලත් උගතකු විය. අයියා කෙනකු නොවී මාළු බිස්නස් කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.

​ජෝකිං අයියා ජෝතිපාලට හා මිලටන් පෙරේරාට දැක්වූයේ දැඩි භක්තියකි. ඔහු මේ දෙදෙනාට ශාන්ත ජෝන් මාළු වෙළෙඳපොළේ මාළු ලෑලි දෙකක් දමා දුන්නේ හවසට එහි සියලු ආදායම මාළු ගණන් අඩුකර ලබාගන්නටය. සමහරු ​​ජෝතිපාලගේ පළමු රැකියාව මාළු ලෑල්ලක මාළු විකිණීම කියා වරදවා ලියන්නේ ඔය සිදුවීමය.

ජෝතිපාලගේ බිරිඳ ජීවත් වූයේ මිරිහානට හූ හඬක් දුරින් වූ පාගොඩ පාරේ හයවැනි පටුමගේය. ජෝකිං අයියාගේ ගේ පිහිටියේත් පාගොඩ පාරේමය. ​​ජෝතිපාලගේ දියණියක් කලක් නුගේගොඩ හන්දියේ රෙදිපිළි සාප්පුවක් පවත්වාගෙන ගියාය.

වරක් කලා පුවත්පතක ගාමිණී ෆොන්සේකා ගැන ලිපියක් පළවිය. එහි ගාමිණී කියා ඇත්තේ තමන්ගේ ප්‍රියතම ගායකයා අමරදේව බවය. ගාමිණී ෆොන්සේකා නමැති නළුවාගේ ජනප්‍රියත්වය පිටුපස සිටි දැවැන්ත චරිතය එච්.ආර්. ​ජෝතිපාල නම් ගායකයාය. මේ ගැන දැනගත් ජෝතිපාල තම විරෝධය ගාමිණීට කෙලින්ම දැක්වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

ජෝතිපාල නම් සුන්දර මිනිසා ගත කළේ සුන්දර දිවියකි. ඔහු විටෙක මලින් මලට පියඹා යන සමනලයෙකි, විටෙක රොන් උරණ බඹරෙකි. ජීවිතේ තරුණ කාලේ ගීතයේ ඇත්තේ මෙසේය.

‘ජීවිතේ තරුණ කාලේ එක සේ නොරැඳේ

සොයමි සෑම වේලේ… සිතු දේ පැතු දේ…

ආදර රසේ සිතු සේ ලබන සේ

බඹරා බමන සේ යමි මන් නිදහසේ

සතුටයි දුකයි එක සේ දැනෙයි

අනන්ත සුන්දර දිවි මල් උයනේ’

ආදරය ලබන්නට නිදහසේ බඹරකු මෙන් ගියත් පවුල් සැලසුම් කටයුතු ගැනත් සැලකිලිමත් විය යුතු බව ජෝතිපාල හොඳ සිරියාවයි ආකාසේ ගීතයේ කියන්නේ මෙසේය.

‘‘හොඳ සිරියාවයි ආකාසේ-වාසනාවට ආදරේ

හඳ තරු පායයි ආකාසේ-වාසනාවට ආදරේ

පෙම් සුව විඳිනු වගේ-‘ප්‍රීති’ යක් ඇත්තෙ නෑ

මගෙ හද පෙම් රස උතුරන්-මෝරලා එයි සෙනේ’

පෙම් සුව විඳින්නට ප්‍රීතියක් අවශ්‍ය බව ජෝතිපාල කියූ බව එතුමා මියගොස් තිස්තුන් වසරක් ගතවීත් අපේ පොදු ජනතාව වටහා නොගැනීම කනගාටුවකි.ප්‍රේමදාස අගමැති හා ජෝතිපාල සමීප මිතුරන් බව බොහෝ දෙනා සිතා සිටී. එහෙත් වරක් අගමැති ප්‍රේමදාස විසින් ජෝතිපාලව සුචරිතයට පැහැරගෙන ගිය කතාව බොහෝ දෙනා දන්නේ නැත. දිනක් මාලිගාවත්ත මහල් නිවාසයට පැමිණි අගමැති ආරක්ෂක ඒකකයේ සිවිල් නිලධාරීන් ජෝතිපාලව පැහැරගෙන ගියේ අගමැතිගේ සුචරිතයටය. තමන්, තම රථයෙන් එන බව කිව්වත් ජෝතිපාලට අගමැති ආරක්ෂක අංශය ඊට ඉඩ දුන්නේ නැත. ජීප් රථයට නංවාගත් ජෝතිපාලව සුචරිතයට රැගෙන යන ලදී.

එහිදී ජෝතිපාලට ප්‍රේමදාස ජනපතිවරයා බැණ වැදී ඇත්තේ මාතර උයන්වත්තේ තිබූ ඇලෝසියස් මුදලාලිගේ කානිවල් එකක ගී ගයා එන අතර කරන ලද ප්‍රකාශයක් ගැනය. ජෝතිපාල මේ ප්‍රකාශය කොට තිබුණේ හේමා ආර්යාව ගැනය. ඒ ගැන ප්‍රේමදාස අගමැතිගේ කනේ තියා තිබුණේ සුප්‍රකට ව්‍යාපාරික ඇලෝසියස් මුදලාලිය.

ප්‍රේමදාස-ජෝතිපාල විරසකය ඇතිවන්නේ ඉන්පසුවය. ගම් උදාවට ගී ගයන්නට ආරාධනා කරන නිවාස අධිකාරියේ නිලධාරීන් ඉන්පසු ජෝතිපාල එළවා ඇත්තේ ‘මම ඕකාගේ ගම් උදාවේ සින්දු කියන්නේ නැහැ’ කියා බැණ වදමිනි. ප්‍රේමදාස අගමැති, වික්ටර් රත්නායක දමා ජෝතිගේ අඩුව පිරිමසා ගැනීමට ගියත් ඕඩියන්ස් එකට වික්ටර්ව දිරෙව්වේ නැත. ජෝතිපාලව නැවත චාටු කරගෙන ගම් උදාවේ ගීත ගයන්නට එක්කං එන ලෙස විවිධ පුද්ගලයන් හරහා ජෝතිපාලව පොළඹවා ගැනීමට අගමැති ප්‍රේමදාස නොගත් උත්සාහයක් නැත.

‘ජෝති රාත්‍රිය’ නමින් ගී ප්‍රසංගයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එන්නට අගමැති ප්‍රේමදාසට ආරාධනාවක් ජෝතිපාල කරන්නේ මේ අතරය. දියට දාන්න හිටි ඉබ්බා ඇන්නාවයි කීවාක් මෙන් ​ජෝති සමග මිතුරු වීමට සිටි අගමැති ප්‍රේමදාස ජෝති රාත්‍රියට ප්‍රධාන ආරාධිතයා ලෙස ආවා පමණක් නොව, සමරු කලාපයට ජෝති ගැන ලිපියක් ලියා ජෝති රාත්‍රිය වේදිකාවේ ජෝති ගැන කතාවක්ද කරන ලදී. ප්‍රේමදාස-ජෝතිපාල මිතුරුකම නැවත ඇතිවන්නේ එසේය.

ජෝතිපාලගේ අවමඟුල නිසා කොළඹ කනත්තට ආ රසිකයන් එහි වූ සමරු ඵලක බිම හෙළා කළ හානිය ලක්ෂ විස්සකට අධිකය. වහලයකට නැගී රසිකයන් පිරිසක් සමග කනත්තේ වහලය බිමටම සමතලා විය. ජෝති දේහයට තුන් තැනකදී ඇඳුම් අන්දවා ඇත. ඒ සියලු ඇඳුම් නිර්මාණය කොට ඇත්​තේ ජෝතිගෙත්, විජේගේත් ඇඳුම් නිර්මාණ ශිල්පියා වූ ෂෙල්ටන් ජයසිංහය. අවමඟුලේ ප්‍රධාන කතාව පැවැත්වූ අගමැති ප්‍රේමදාස එවෙලේම අජන්තා රණසිංහ ලවා ගීතයක් රචනා කොට ලතා වල්පොළ ලවා ගායනය කරන්නට පියවර ගත්තත් ලතාවට ගායනා කළ හැකිවූයේ පේලි කිහිපයක් පමණකි. ජෝති මියගොස් තිස්තුන් වසරකින් සියල්ල උඩු යටිකුරු වී තිබේ. ජෝති අද ජීවතුන් අතර සිටියා නම් රිගින් ටෝන්වලින් ඔහුට කෝටිපතියකු විය හැකිව තිබුණි. ජෝතිපාලගේ ගී ගයා සහ එම ගී තැටි, පටි, කැසට් ගයා කෝටිපතියන් වූ පිරිස් මේ එච්.ආර්. ජෝතිපාල නම් ගායකයාට බලු කපුටු දානයක්වත් දීමට කෘතවේදී වූයේ නැත.තත්ත්වය එසේය. පාගොඩින් නාත්තන්ඩියට ගිය ජෝතිපාලගේ බිරිඳත් එමෙන්ම දරුවන්ටත් ජෝතිපාල විකුණන් කෑ ජාවාරම්කාරයන්ගෙන් යම් හව්හරණක් ලැබුණාදැයි සොයන්නට යාමත් නිශ්ඵල ක්‍රියාවකි. ඊටත් වඩා එච්.ආර්. ජෝතිපාල යනු තම දරුවන්ට කෙලින් නැගී සිටින්නට තම අසීමිත සෙනෙහස පුදකළ යුතුකම් ඉටු කළ හෘදයාංගම පියකු නිසාය.

වජිර ලියනගේ