විශේෂාංග

ප්‍රාර්ථනා බෝධියට ශිෂ්‍යත්වය පාස් කරන්නත් බෑ ළමයි හදන්නත් බෑ

මෑතකදී සිට බෞද්ධයෝ ප්‍රාර්ථනා බෝධිය නමින් අලුත් වන්දනාවක් පටන්ගෙන තිබේ. ඒ අතරේ චෛත්‍ය වැසෙන්නට තරම් මල් පූජා අටපිරිකර පූජා කරති. ධාතු වන්දනා පවත්වති. මේ, ඒ ගැන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් දැක්වූ අදහස්ය.

අද බොහෝ බෞද්ධයන් මල් පූජා කරලා, පහන් දල්වලා; බෝධියෙන්, චෛත්‍යයෙන් පිහිට පතනවා. ලෙඩ සුවකර දෙන්න, විභාග සමත් කරන්න, රැකියා ලබාදෙන්න කියලා ඉල්ලනවා. මේ යදින යැදීම්වල ප්‍රතිඵල තිබෙනවාද?

ඉතා ප්‍රකට ධම්මපද ගාථාවක දැක්වෙන හැටියට මිනිසුන් බය හා තැතිගැන්ම ඇතිවූ විට විවිධ සරණ, පිහිට සොයනවා. යැදීම්, ආයාචන, පිටුපස යනවා. මෙහෙම සරණ, පිහිට පතාගෙන යන තැන් හැටියට උද්‍යාන, ගස්, පර්වත මෙන්ම දෙවියන් ඉන්නවා යැයි විශ්වාස කරන තැන් නම් වෙලා තියෙනවා. මෙලෙස ගස්, ගල්, උද්‍යාන සරණ යාමෙන් පිහිටක්, සෙතක්, ශාන්තියක් නොලැබෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා දුන්නා.

බුදුන් වහන්සේ දේශනා කළේ තමන්ට පිහිට තමන්මයි කියල ද?

ඔව්. බුදුන්වහන්සේ පැහැදිලිවම වදාළේ නියම පිහිට නියම සරණ තමන් තුළම තිබෙන බවයි. ‘අත්තා හි අත්තනො නාථො’ යන පාඨයෙන් කියවෙන්නේ තමන්ට ඇති පිහිට, සරණ තමන්මය යන්නයි.

යමෙක් බුදු ගුණ සිහි කරලා තමන්ගේ ලෙඩරෝග සුවවේවා කියලා ප්‍රාර්ථනා කළොත්, මගේ පිළිකාව සුවවේවා කියලා හිතුවොත් එහි සාර්ථකත්වයක් තිබේද?

පිළිකාව, අංගවිකල බව, ලෙඩරෝග නැති කරන්න අපට බැහැ. ඒකට ​ඖෂධවලින් ප්‍රතිකාර ලබාගන්න ඕන. බුදු ගුණ සිහි කිරීම වැනි කාරණා මගින් පුද්ගලයකුට යම් මානසික සහනයක් ලබාගන්න පුළුවන්.

බුදු ගුණ බලයෙන් රැකියාවක් ලැබේවා කියා ප්‍රාර්ථනා කළොත්?

බුදුන් වහන්සේ කියන්නේ අපි බලාපොරොත්තු වන දේවල් ළඟාකර දෙන්න කටයුතු කළ කෙනෙක් නෙවෙයි. ලෞකික ජීවිතයට අදාළ දේ අපේ උත්සාහයෙන් ළඟා කරගන්න කටයුතු කළ යුතුයි.

රට පුරා තැන් තැන්වල ප්‍රාර්ථනා බෝධි කියලා විශේෂයක් තිබෙනවා. එම බෝධි ළඟට ගිහිල්ලා වැඳ වැටිලා විවිධ ඉල්ලීම් කරනවා. මෙවැනි ප්‍රාර්ථනා බෝධියක පුංචි කුහරයකට රුපියල් 5ක් තියලා තද කරලා ඒ කරගන්නා වූ කුසල කර්මයෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වේවා කියා ප්‍රාර්ථනා කරන අයුරු ඇසින් දුටු සාක්ෂි තිබෙනවා?

මේවා තනිකරම මිථ්‍යා වැඩ. තමන්ගේ උත්සාහයෙන් යමක් ළඟාකර ගන්නවා වෙනුවට වෙන කෙනකුගේ සරණින්, පිහිටෙන් ජයග්‍රහණ ළඟාකර ගන්න බැහැ. ඔය දැන් ලංකාවේ හැමතැනම තිබෙන ප්‍රාර්ථනා බෝධිවලින් මොන දේ ප්‍රාර්ථනා කළත් ඒ දේවල් ළඟාකර ගන්න බැහැ. යම් ජයග්‍රහණයක් ලබාගන්න නම් තමා තුළ අධිෂ්ඨානය, වීර්යය ඇතිකර ගත යුතුයි. ඕකට කියන්නේ ‘ආරද්ධවිරිය’ කියායි. එනම් අරඹන ලද උත්සාහය යි. එහෙම නැතුව ගස් ගල් ළඟ දෙවියෝ ඉන්නවා කියලා හිතා ගෙන ඒ තැන්වලට ගිහිල්ලා කිව්වට අපිට කිසිවක් ලබාගන්න පුළුවන්කමක් නැහැ.

ඇතැම් බෞද්ධ සිද්ධස්ථානවල ප්‍රාර්ථනා ගල් තිබෙනවා. ඒකට වැඳ පුදා සත්කාර කළහම දරුවෝ නැති කාන්තාවන්ට දරුවෝ ලැබෙනවලු?

ගල්වලට වැඳුම් පිදුම් කිරීමෙන් දරුවෝ ලැබෙන්නේ නැහැනේ. ඒකට සාධක තුනක් සම්පූර්ණ වෙන්න ඕන. බුදුන් වහන්සේ​ දේශනා කරලා තිබෙන පරිදි දරුවන් ලැබීමට නම් එම මව අවශ්‍ය කායික සුදුසුකම් සහිත කෙනෙක් විය යුතුයි. ඊළඟට මව සහ පියා යන දෙදෙනා ස්ත්‍රී-පුරුෂයන් හැටියට කායිකව එක්විය යුතුයි. එවිට ස්ත්‍රී පුරුෂ බීජ එක්වී කලලයක් හැදෙනවා. සංසාරයෙන් එන කර්ම ශක්තියත් ඊට එකතු විය යුතුයි. ඒකට කියනවා විඥානය එකතු වීම කියලා. ඔන්න ඔය කාරණා තුන සම්පූර්ණ වුණොත් දරු උපතක් සිදුවෙනවා. නැතුව පූජා පැවැත්වූවාට, ගල්වලට වැන්දාට දරුවෝ උපදින්නේ නැහැ. ඉහත සුදුසුකම් සම්පූර්ණ නොකර මොන තැනකට ගිහින් වැඳුම් පිදුම් කළත් පලක් නැහැ, දෙවියෝ කොහොමද දරුවො දෙන්නේ?

ඇතැම් අය තුළ මුල් බැසගත් දැඩි විශ්වාසයක් තිබෙනවා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රාර්ථනා කළොත් දරුවෝ ලැබෙන බවට?

මිනිසුන් තුළ විවිධ මිථ්‍යා විශ්වාස තිබෙනවා. එක එක තැන්වලට ගියහම එක එක දේවල් ලැබෙනවා කියලා විශ්වාස කරනවා. එහෙත් මිනිස්සුන්ගේ ජීවිතවලට වාසනාව උදා කරන ධර්මතා 4ක් බුදු දහමේ පෙන්වා දෙනවා.

1. හොඳ ගුණදහම් වර්ධනය කළ හැකි පළාතක ජීවත් වීම.

2. සත්පුරුෂ මිනිසුන් ආශ්‍රය කිරීම.

3. තමන්ගේ සිත නිවැරදි කටයුතුවල යෙදවීම.

4. සංසාරයේ පෙර පින් කර තිබීම, යනු එම කාරණා හතරයි. ඉතින් මෙම කාරණාවලට අනුව කටයුතු වුණොත් යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්.

බුදුන් වහන්සේටත් ලෙඩරෝග වැලඳුණා. ඒ අවස්ථාවලදී මොකද කළේ?

ඔව්, ලෙඩ රෝග වැලඳුණු අවස්ථාවලදී උන්වහන්සේ ජීවක වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත්තා. වැලඳෙන ලෙඩ රෝගවලට කවුරු වුණත් බෙහෙත් ගන්න ඕන. එහෙම නැතුව තුනුරුවන්ගේ බලයෙන් සුවපත් වේවා කිව්වට ලෙඩරෝග සුව වෙන්නේ නැහැ. එහෙම ලෙඩරෝග සුව වෙනවා නම් ඒ බලය පාවිච්චි කරන්න හිටිය හොඳම පුද්ගලයා බුදුන් වහන්සේ නේ. එහෙත් එහෙම වුණේ නැහැ. උන්වහන්සේත් ප්‍රතිකාර ගත්තා.

බෞද්ධයෝ බෝ ගහට වඳිනවා. ඒකේ ඇති තේරුම මොකක්ද?

අපි බෝධියට වඳින්නේ එම බෝධිය මුලදී බෝධිසත්වයන් බුද්ධත්වයට පත්වුණා කියන කාරණය මූලික කරගෙනයි.

අටුවාවේ විස්තර කරන ආකාරයට බෝධි කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානයට. ඇසතු කියන ගහ යට වාඩිවෙලා බෝධිසත්වයන් එම ඥානය අවබෝධ කරගත්ත හින්දා තමයි ඒ ගහට බෝධි කියලා කියන්නෙ.

බෝධියට, චෛත්‍යයට, බුදු පිළිමයට වඳින කෙනෙක් තමන්ගේ හිත සකස් කරගත යුත්තේ කවර ආකාරයෙන්ද?

බුදුන් වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය පිළිබඳ ඥානයයි අප සිහිකර ගත යුත්තේ. බෝධියට වඳිනවා කියා වැඳිය යුත්තේ ගහට නොවේ, චතුරාර්ය සත්‍යයටයි එම නමස්කාරය කළ යුත්තේ. බෝධි වෘක්ෂය යටදි බෝධිසත්වයන් බුද්ධත්වයට පත්වුණා කියල හිත පහදවා ගැනීම තමයි මෙතැන තිබෙන වැදගත්කම. සිත පහදවාගෙන මෙම ක්‍රියාවන්ගේ යෙදෙන කෙනාට එමගින් මානසික සහනයක් ලැබීමයි. හැබැයි එතැන ප්‍රාර්ථනා තියෙන්න බැහැ. විභාග පාස් කරගන්න අදහසක් තියෙන්න බැහැ. එහෙම වුණොත් ඒක වැරදියි. අද නැත්තෙත් ඔය ටික තමයි. මේ මිථ්‍යා අදහස් වර්ධනය වන්නේ අපේ මිනිස්සුන්ගෙ හිත ඇතුළෙම යි.

මෙලෙස මිථ්‍යා මත වර්ධනය වෙන්න හේතුව මොකක්ද?

නිවැරදි දහම වෙනුවට වැරැදි දේ දහම ලෙස තේරුම් ගැනීමයි මේකට ප්‍රධාන හේතුව. කලින් කල නිර්මල බුදු දහම වගේ පෙනී සිටින දේවල් මතුවෙනවා. අද අපේ මිනිස්සු බුදු දහම පිළිපැදීම ලෙස හිතාගෙන ඉන්නේ මල් පහන් පිදීම් ආදිය කරන එකයි. බුදු දහම පිළිපැදීම කියන්නේ එය නොවේ.

එහෙනම් මොකක්ද?

කයෙන්, වචනයෙන්, මනසින් සිදු කරන සියලු ආකාරයේ වැරදි නැතිකර ගැනීමයි. එනම් දස අකුසල් නොකිරීම තමයි බුදු දහම පිළිපැදීම කියන්නේ.

ඉතින් දස අකුසල් කරමින් රුවන්වැලි සෑය වැහෙන්න මල් පූජා පැවැත්වූවාට, අටපිරිකර පූජා පැවැත්වූවාට, රුවන්වැලි සෑයට කංචුක පැළඳෙව්වාට, ඔටුනු පැළැන්දෙව්වාට ඇති වැඩක් නැහැ. වැදගත් වෙන්නේ දස අකුසල්වලින් වැළකිලා බුදු දහම පිළිපැදීමයි.

දැන් ඔය කෙනකුට නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථනා කළහම ඒකෙන් යම් බලපෑමක් නැද්ද?

නිවන් සැප ලැබේවා කිව්වට ලැබෙන්නේ නැහැ. ඊට අවශ්‍ය ප්‍රතිපදාව සම්පූර්ණ කළ යුතුයි. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ යුතුයි.

නිවන් දකින්න හිතාගෙන ඒ සඳහා අදෘශ්‍යමාන බලවේගවල සහාය පතන අයත් ඉන්නවා?

පුද්ගලයෙක් සතුව පවතින හැකියාව තමයි මෙතැනදි වැදගත් වන්නේ. ධෛර්යය, වීර්යය හා අධිෂ්ඨානය ඊට බලපානවා. දෙවියෝ, අමනුෂ්‍යයෝ, අදෘශ්‍යමාන බලවේග මේවා වැඩක් නැති සාධක.

ධෛර්යයෙන් යුතුව අධිෂ්ඨානශීලීව යමක් ජයගන්න පුළුවන් බවයි මේ කියන්නේ. ඔය විදිහට හොරෙකුට වුණත් ධෛර්යයෙන්, අධිෂ්ඨානයෙන් තම හොරකම් සාර්ථකව කරන්න පුළුවන් නේද?

හොරාගේ අධිෂ්ඨානය අකුසල් ගණයටයි වැටෙන්නේ. එම නිසා එවැනි අධිෂ්ඨානවල ඵලය භයානකයි. සමහරවිට තමන්ටම පසුතැවෙන්න වෙනවා. සමාජයෙන් නින්දා ලබන්න වෙනවා. නීතියෙන් දඬුවම් විඳින්න වෙනව. අන්තිමේදී මැරිලා දුගතියේ උපදින්නත් සිද්ධ වෙනව.

තවත් ඇතැම් අය තම හතුරන්ට එරෙහිව අත පය කැඩෙන්න කියලා ගම්මිරිස් අඹරනවා, අබ අඹරනවා?

එවැනි දේවල් කෙරුවට ඉන් ඵලක් ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්න බැහැ. තමන් ළඟ ගුණධර්ම නැති කෙනෙක් අගුණ පතුරුවන කෙනෙක් කොහොමද ගම්මිරිස් අඹරලා අනිත් අය නැති කරන්නේ? ඕවා බොරු වැඩ.

බෞද්ධයා මේ තරම්ම මිථ්‍යා විශ්වාස හා බැඳෙන්න හේතුව බෞද්ධ පන්සල මගින් නිර්මල බුදුදහම ප්‍රචාරය වීමේ දුර්වලතාවක් වෙන්න බැරිද?

බොහෝ විට, බොහෝ පන්සල්වල පෙර සිට කරගෙන ආපු පුද පූජා සම්බන්ධ කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යන්න මුල්තැන දෙනවා. එහෙත් මිනිසුන්ගේ ආධ්‍යාත්මික අවශ්‍යතා හඳුනාගෙන බුදුදහම අවබෝධ කරගැනීමට ගැළපෙන වැඩපිළිවෙළක් සකස් වෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස. විශේ‍ෂයෙන් තරුණ පිරිසට පන්සලෙන් ලැබෙන මග පෙන්වීම ප්‍රමාණවත් වෙන්නෙ නැහැ.

පන්සලේ තිබෙන දහම් පාසලත්‍් අද තරගකාරී අධ්‍යාපනයේ එක කොටසක් බවට පත්වෙලා. තරග තියනවා. පළමුවැනියා, දෙවැනියා තෝරනවා. තෑගි දෙනවා, නැටුම්, ගැයුම් තියනවා. නමුත් බුදුදහම පිළිබඳ නිවැරැදි අවබෝධය ලබා දෙන්නෙ නැහැ.

දහම් පාසලත් තවත් පාසලක් විතරයි මට දැනෙන හැටියට. අනෙක් අතට ඇතැම් භික්ෂූන් වහන්සේලාත් මේ ගැන අවබෝධ කරගෙන නැහැ.

දැන් පන්සලෙත් පේන්න තිබෙන්නේ බාහිර ආටෝප සහිත පිංකම් මාලා?

ඔව්. ජනප්‍රිය බුද්ධාගම තුළ පූජා චාරිත්‍රවලට තමයි මුල් තැන ලැබිලා තියෙන්නේ. මිනිස්සු හිතන්නෙත් බුදුදහම කියන්නෙ පුදපූජා කිරීම වන්දනා කිරීම වාගේ‍ දේවල් කරන එක කියලා. අද අපට තිබෙන්නේ පූජා චාරිත්‍රවලින් වැහිලා ගිය බෙෳද්ධ සංස්කෘතියක්. ඒ සංස්කෘතිය තුළ බාහිර ආටෝපවලින් වැසී ගිය දේවල් තමයි දකින්න තියෙන්නේ.

කඨින පිංකම අද හුදු චාරිත්‍රයක් බවට පත් වෙලා. කඨිනය කියන්නෙ විනයානුකූල සංසිද්ධියක්. එහෙත් ඒක අද හුදු පූජා චාරිත්‍රයක් වෙලා. පෙරහර කරලා, ලක්ෂ ගණන් වියදම් කරනවා. මේ කඨිනය දැන් සමහර පන්සල්වල ධනෝපායන මාර්ගයක් බවට පත් වෙලා. ධනවතුන්ගේ කටයුත්තක් වෙලා. පොඩි මිනිහෙකුට කඨීනයක් කරන්න බැරි තැනට කටයුතු යෙදිලා අද. තවත් එකක් තමයි ධාතු පූජාව. ඒක ව්‍යාපාරයක් බවට පත්වෙලා. බුදුරජාණන් වහන්සේගේත් රහතන් වහන්සේලාගෙත් ධාතූන් වහන්සේලා තැන තැන ප්‍රදර්ශනය කරමින් මුදල් උපයන හැටි අපිට පෙනෙනව.

ඔය කියන තරම්ම ධාතූන් වහන්සේලා වැඩ ඉන්න පුළුවන්කම තිබෙනවාද? ඇතැම් අය කියනවා නිසැක ධාතු කියලා?

ඓතිහාසිකව ලංකාවට ලැබුණු ධාතූන් වහන්සේලා නිධන් කරලා තමයි අනුරාධපුර යුගයේ චෛත්‍ය ගොඩනැගුවේ. ඒ තැන්වලින් පුරාවිද්‍යාත්මකව සොයාගත්තු ධාතූන් වහන්සේලා දළදා මාළිගාව, මිහින්තලය වගෙ තැන්වල තැන්පත් කරලා තියෙනව. මෑතකදී නීලගිරි සෑයෙන් සොයාගත් ධාතුත් ඒ වගේ. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු පාකිස්තානෙ තියෙනවා. සැරියුත් මුගලන් රහතන් වහන්සෙලාගෙ ධාතු ඉන්දියාවෙ තියෙනව. නමුත් අපේ රටේ සමහරු බුදුන් වහන්සේගේ කේශධාතු, ඌර්ණ රෝම ධාතු, අසූමහා ශ්‍රාවකයන්ගෙ ධාතු කියලා ජනප්‍රිය කරන්න හදන ධාතූන් වහන්සේලා ඒ අයගෙ හිතලු පමණයි. මේක අද ජනප්‍රිය රැල්ලේ යන ව්‍යාපාරයක් බවට පත්වෙලා. බෞද්ධයාගේ ශ්‍රද්ධාව අවභාවිතයට අරන්. ලැජ්ජා – භය ගුණ දෙක නැති අය තමයි මේවා කරන්නෙ. මං හිතන හැටියට කවුරු හරි කෙනෙක් ඒ ධාතු සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණය වාගේ විද්‍යාත්මක පරීක්ෂණයක් ඉල්ලුවොත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵල අනුව අපේ ඓතිහාසික ධාතු වන්දනාව මිථ්‍යාවක් ලෙස හංවඩු ගැහෙන්නත් පුළුවන්.

මේ ව්‍යාකූල තත්ත්වය තවදුරටත් පැවතිය යුතුද?

මහා සංඝරත්නයට, නායකත්වය දෙන මහානායක මාහිමිවරු ප්‍රධාන ගිහි පැවිදි පිරිස් මේ ගැන සාකච්ඡා කර විසඳුම් සෙවිය යුතුයි. ඒ සඳහා භික්ෂූන් අතර මූලික සාකච්ඡා ඇරඹිය යුතුව තිබෙනව.

මේ සඳහා මැදිහත්වෙන්න ඕන පාර්ශ්ව මොනවද?

බුද්ධ ශාසන අමාත්‍යාංශයට පුළුවන් ඒ වෙනුවෙන් කටයුතු කරන්න. බෙෳද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඒ සඳහා බලයක් තියෙනව. ඒ හින්දා මේ ගැන අලුත් කතිකාවක් ඇති විය යුතුයි. මේ සඳහා කඩිනමින් ක්‍රියාමාර්ගයක් නොගත්තොත් අපට සංස්කෘතික වශයෙන් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.

තුෂාර උඩවත්ත