ප්‍රසන්න රණතුංගගේ නඩුව කල් යයි
01 August 2019
ප්‍රසන්න රණතුංගගේ නඩුව කල් යයි
01 August 2019
බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩකර එහි ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළ බවට චෝදනා ලබා සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක විභාගය සැප්තැම්බර් මස 17 වනදා තෙක් කල් තබන ලෙස කොළඹ මහාධිකරණය අද (01) නියෝග කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි. එහෙත් විනිසුරු මංජුල තිලකරත්න මහතා වැලිකඩ සිරකරු ඝාතනය පිළිබඳ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරන අතර එම නඩුව ඊයේ දින විභාගයට ගන්නා ලදී.
එම ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු කටයුත්තට විනිසුරු මංජුල තිලකරත්න මහතා සහභාගි වීම හේතුවෙන් ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා තිබෙන නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 17 දා තෙක් කල් දැමීමට විනිසුරු තිලකරත්න මහතා තීන්දු කළේය.
2015 වසරේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩකර එහි ගබඩා පර්යන්තය ඉදිකිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නැමති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ බිරිඳ ගේ ඥාති සහෝදරයෙකු වන නරේෂ් ෆාරික් යනාදීන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකරනු ලැබ තිබේ.
මෙම නඩුවේ තුන්වන විත්තිකරු වශයෙන් නම් කරනු ලැබ සිටින නරේෂ් ෆාරික් නැමැත්තා දැනට අධිකරණය මගහැර විදේශයකට පළාගොස් සිටින අතර එම විත්තිකරු නොමැතිව නඩු විභාගය ඉදිරියටත් පවත්වාගෙන යාමටද මහාධිකරණය තීරණය කර තිබේ.