ගොසිප්

ප්‍රසන්නට ආපු කෝල් එක

ප්‍රසන්නගේ 51 වැනි ඡන්ම දිනය යෙදී තිබුණේ ජනවාරි මස 01 වැනි දිනටය. එදින මධ්‍යම රාත්‍රියේ සිටම ප්‍රසන්නගේ දුරකථනයට විවේකයක් නොතිබුණේ සුබ පතන්නන්ගෙන් අඩුවක් නොවීම නිසාය. මැති ඇමැතිවරුන්, පාක්ෂිකයන්, මාධ්‍යවේදීන් ඇතුළ විශාල පිරිසක් ප්‍රසන්නට දුරකථනයෙන් සුබ පැතූහ. එදින ප්‍රසන්නට තවත් විශේෂිත දුරකථන ඇමතුමක් ආවේ උදෑසන දුරකථන ඇමතුමක් ආවේ මහින්දගෙනි.

“කොහොමද ප්‍රසන්න? මහින්ද ඇසුවේය. “හොඳින් ඉන්නවා සර්“ ප්‍රසන්න උත්තර දුන්නේය. අනතුරුව ප්‍රසන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ මහින්ද දුරකථන ඇමතුම විසන්ධි කළේය. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව සහ නගර සභාව විසින් සංවිධාන කරන ලද පාසල් උපකරණ බෙදාදීමේ උත්සව දෙකකට ප්‍රසන්න සහභාගී විය. ඒ අතරතුර ඉන්දික, රණවීර, ලන්සා ඇතුළු පිරිසක් ප්‍රසන්නගේ උඩුගම්පොළ නිවසට පැමිණ සිටියේ ජනවාරි පළමුවැනි දා මෙන්ම උපන් දිනයට ද සුබපැතීමටය. ඔවුන් එහිදී සාකච්ඡා කළේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි.

“අලුත් අවුරුද්දකුත් ආවා. හැබැයි ආණ්ඩුවට තාමත් වැඩ පටන් ගන්න බැරි වෙලා තියෙනවා“ රණවීර පැවසීය.
“කොහෙ වැඩ පටන් ගන්නද දැන්මම ආණ්ඩුවේ කචල්. ඇමැතිකම්වලට මරා ගන්නවා, අමාත්‍යාංශවලට මරා ගන්නවා“ ප්‍රසන්න කීවේය.

“යූ. ඇන්. පිය ගෑව්චිච තැන ඉවරයි. එයාලා හදපු එක ආණ්ඩුවක්වත් කචල් නැති ආණ්ඩුවක් වුණේ නැහැ. දැන් යූ. ඇන්. පියේ කාලේ ඉවරයි“ ලන්සා පෙන්වා දුන්නේය. “හැමතැනම අවුල්. මේවා මොනවත් නැහැ ඡන්දයකට ගිහින් ජනතාවට වගකියන ආණ්ඩුවක් හදාගත්තා නම්“ ප්‍රසන්න පැවසීය. “කොහෙද ඡන්දයක් කිව්වම කකුල් වෙව්ලන අයනේ ආණ්ඩුවේ ඉන්නේ“ ලන්සා කීවේය.