කතුවැකි

ප්‍රවේශමෙන්! දෙවියන්ට ගල්ගහන්නෝ තවත් සිටිය හැකිය

මන්නාරමේ කතෝලික සුරුවම්වලට ගල් ගසා විනාශ කළ අය කවුදැයි තවමත් හඳුනා ගන්නට ආරක්ෂක අංශ සමත් වී නැත. ඊයේ අප පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව පසුගිය දින දෙකක කාලය තුළ මන්නාරමේ පිහිටි කතෝලික සුරුවම් පහකට පහර දී අලාභහානි සිදුකර තිබේ. බැලූ බැල්මට පෙනෙන්නේ මෙය කවුරුන් හෝ විසින් සිතාමතා සංවිධානාත්මකව කළ විනාශකාරී ක්‍රියාවක් බවය. අනුන්ගේ වත්තකට පැන පොල් ගෙඩියක් කඩා ගන්නා මිනිසුන් සිටියත්, ආගමික අන්තවාදයෙන් පිස්සු වැටුණු මෝඩයකු හැරෙන්නට මේ රටේ කිසිවකු තමන්ගේ හෝ අනුන්ගේ ආගමික මධ්‍යස්ථානයකට සංකේතයකට අලාභ කරන්නේ නැත. ආගම් දැඩිව විවේචනය කරන නිර්ආගමිකයන් වුවත් එවැනි විනාශකාරී පියවර නොගන්නා බව සහතිකය.

මන්නාරමේ කතෝලික සුරුවම්වලට පහර දී අලාභ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අප බිය විය යුත්තේත්, වහාම ඒ ගැන සොයා බැලිය යුත්තේත් එය සංවිධානාත්මක හෝ හුදෙක්ම පෞද්ගලික කටයුත්තක් ද නොවන බව පැහැදිලි නිසාය. එහෙත් තවමත් ආරක්ෂක අංශ ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමුකර නැතිවා පමණක් නොව, සිදුවීමට වගිකවයුත්තෙකුගේ ඡායාවක්වත් සොයාගන්නට සමත් වී නැත. බල්ලෙකුට ගලකින් ගැසූ පුද්ගලයකු වුවත් සීසීටීවී දර්ශන තුළින් හඳුනාගන්නා රටක මෙතරම් බරපතළ සිදුවීමකට වගකිව යුතු අයකු හඳුනාගන්නට නොහැකි වීම නම් මහත්ම අසිරියකි.

මීට වසර කිහිපයකට පෙර මීට සමාන සිදුවීමක් වාර්තා වූයේ මාවනැල්ල ප්‍රදේශයෙනි. වෙනසකට තිබුණේ එහිදී බුද්ධ ප්‍රතිමාවන්ට පහර දීමය. ඒ සිදුවීම ගැනත්, ආරක්ෂක අංශ හෝ වගකිවයුත්තන් එතරම් තැකීමක් කළේ නැත. ඔවුන් එහිදී කල්පනා කළේ එය හුදෙකලා සිද්ධියක් පමණක් බවය. එහෙත් එය මහා විනාශයක ආරම්භය බව හෙළිදරව් වූයේ පුද්ගලයන් 269 දෙනකුට ජීවිත අහිමි කරමින්, සංචාරක ව්‍යාපාරයට විශාල හානියක් කරමින්, ජාති ආගම් අතර බෙදීමක් ඇතිකරමින් පාස්කු ප්‍රහාරය සිදු වී කලක් ගිය පසුවය.

පාස්කු ප්‍රහාරය විසින් මෙරට සමාජ දේහයට ඇති කළ කම්පනය, පාඩුව හා කැලල තවමත් මැකී ගොස් නැත. මෙම ප්‍රහාරයේ ඍජු වින්දිතයන් වූ මෙරට කතෝලික ප්‍රජාවට තවමත් යුක්තිය ඉටු වී නැත. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ ඇති අතපසුවීම්, මඟහැර යෑම් මෙන්ම අවසන් විනිශ්චය ලබාදීම ප්‍රමාද වීම නිසා ආණ්ඩුවද උභතෝකෝටිකයකට මුහුණ දී සිටින ආකාරය අපි ඊයේද මෙම තීරයෙන් පෙන්වා දුන්නෙමු.

මන්නාරමේ කිතුණු සුරුවම්වලට අලාභ කිරීම වාර්තා වන්නේ පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම්දීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් කතෝලික ප්‍රකාශන කමිටුව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීම හා ඒ පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සමගාමීවය. ඒ නිසා එම සිදුවීම හා මන්නාරමේ සිදුවීම අතර යම් සම්බන්ධයක් ති​බේද යන්න ගැන සාධාරණ සැකයක් ඇතිවීම අනිවාර්යය කාරණයකි. මේ සැකය දුරුකළ හැක්කේ මන්නාරමේ සිදුවීම් ගැන කෙරෙන පූර්ණ පරීක්ෂණයකින් පමණය.

මෙම පරීක්ෂණ කඩිනම් කළ යුතු තවත් කාරණයක් තිබේ. මෙවැනි සිදුවීම් රටේ තවත් තැන්වල සිදුවීම වළක්වා ගැනීමටය. මන්නාරමේ සිදුවීම ගැන බලධාරින් නිහඬව සිටින බව තේරුම් ගියහොත් ඒ පිටුපස සිටින පිරිස් උද්දාමයට පත්ව රටේ වෙනත් තැන්වලද ආගමික සංකේතයන්ට හානි සිදු කිරීමට ඉඩ තිබේ. යම් හෙයකින් ඉන් සිත් රිදවීම් ඇති කරගන්නා පිරිස් එම ක්‍රියාවන්ට ඒ ආකාරයටම ප්‍රතිචාර දක්වන්නට ගිය​හොත් සිදුවනු ඇත්තේ මහා විනාශයකි.

මන්නාරමේ සිදුවීම් පිටුපස අප සැක කරන ආකාරයට සංවිධානාත්මක අරමුණක් නොතිබෙන්නටද පුළුවන. එසේ නම් මෙම සිදුවීම් කතෝලික බැතිමතුන් ප්‍රකෝප කිරීමේ අදහසින් සිදු කළ එකක් යැයි කිව නොහැකිය. එසේ වුවත් මෙවැනි පාදඩ ක්‍රියාවන්ට ඉඩ නොතැබිය යුතුය. සංවිධානාත්මක අරමුණකින් තොරව යමෙකු කුමන ආගමක හෝ සංකේතයන් විනාශ කිරීමට කල්පනා කරන්නේ නම් ඉන් පෙන්නුම් කරන්නේ එම සමාජයේ පිරිහීමය. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සමාජයක ඕනෑම ඇදහීමකට අයිතිය තිබෙන අතර හැම කෙනෙක්ම අන්‍ය ආගම්වලට නිසි ගෞරවයෙන් සලකති.

මන්නාරමේ ආගමික සංකේතයන්ට හානි කිරීමේ සිදුවීම ආගම් ඇදහීම, පිළිගැනීම හා අන්‍ය ආගම් ඉවසීම අතින් දියුණු ආකල්ප වෙත අප සමාජය ගෙන යෑමට ප්‍රවේශයක් කරගත හැකිය.

ආගම යනු පෞද්ගලිකව තම තමන් විසින් පිළිගන්නා හා ඒ අනුව කටයුතු කළ යුතු ප්‍රපංචයකි. එහෙත් අපේ බොහෝ දෙනා ආගම භාවිත කරන්නේ ප්‍රදර්ශනකාරී අංගයක් ලෙසය. පෞද්ගලිකව තම ආගමික විශ්වාසය ප්‍රදර්ශනය කරන්නට උත්සාහ කරන ඔවුන් ඉන් නොනැවතී භූමිය තුළ ද තම තමන්ගේ ආගමික විශ්වාසයන්ට සීමා ලකුණු කිරීමට උත්සාහ කරති. දෙවියන් බුදුන් වැඳීමට පන්සල්, පල්ලි, කෝවිල් තිබියදී හන්දි හන්දි ගානේ බුදු පිළිම, සුරුවම්, වැනි ආගමික සංකේත ඉදිකරන්නේ මේ නිසාය. මෙය තනිකරම ආගමික ශ්‍රද්ධාවෙන්, භක්තියෙන් සිදුකරන දෙයක් නොව ආගමික බලය පෙන්වීමට තමන්ගේ සීමාවන් ලකුණු කිරීමට සිදුකරන ආක්‍රමණකාරී කටයුත්තක් ලෙස සැලකිය හැකිය. එක් පිරිසක් තමන්ගේ ආගම වෙනුවෙන් එලෙස කටයුතු කරන විට අනෙක් ආගමිකයන්ද ඒ පාරේම ගමන් කරමින් තම තමන්ගේ ආගමික සංකේත හන්දිවලට ගෙන එන්නට කටයුතු කරති. මේ තරගකාරී ක්‍රියාව මඟ පාදන්නේ ආගමික සංහිධියාවකට නොව ආගමික පසමිතුරු තත්ත්වයකටය.

විටින් විට ආගමික සංකේතයන්ට පහර දීම වැනි සිදුවීම් මගින් පුපුරා යන්නේ මෙම ආගමික පසමිතුරුභාවයයි. මෙය වළක්වා ගැනීමට නීති පැනවීම වුවත් කළ හැකි නමුත් වඩා ප්‍රායෝගික වන්නේ හැම කෙනකුම තම තමන්ගේ ආගමික විශ්වාසය, ඇදහීම හෝ පිළිගැනීම තමන්ගේ හිතට හා පන්සලට, පල්ලියට හෝ කෝවිලට සීමා කිරීමෙනි.