කතුවැකි

ප්‍රමාද නොකළ යුතු කාරණා

‘MCC ගිවිසුම ඉරා දමනු’ යැයි ජනතා විමුක්ති පෙරමුණ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබේ. ගිවිසුම අත්සන් කළහොත් ආණ්ඩුවෙන් ඉවත් වන බව ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්ව කියන්නට පටන්ගෙන ඇත. ඇමරිකාව බලා සිටින්නේ කෙසේ හෝ ගිවිසුම අත්සන් කරන්නටය. එසේ වුවත් MCC ගිවිසුම ගැන දැන්ම තීරණයක් ගන්නට ආණ්ඩුව සූදානම් නැත. මෙය තීරණාත්මක කාර්යයක් බැවින් ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව ආණ්ඩුවේ අදහසය.

නමුත් MCC ගිවිසුමට අත්සන් කරන්නේද? නැද්ද? වැනි කල් යල් බැලිය යුතු නැති කාරණා ගණනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය වහා යොමුවනු ඇතැයි ජනතාව අපේක්ෂාවෙන් සිටී. ඇත්තෙන්ම ඔවුන් කියන්නේ මේ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව දැනටමත් ප්‍රමාද බවය. ජනාධිපතිවරයා තම රාජකාරි ආරම්භ කළේම නගර අවලස්සන කරමින්ද, ලෙඩ රෝග පතුරුවමින්ද, තැන තැන ගොඩ ගැසී තිබූ කුණු කසළ ඉවත් කරවමිනි. මේ ආකාරයට වහා විසඳා ගත යුතු ජනතාවගේ එදිනෙදා ජීවිතයට පීඩා ගෙන දෙන කරුණු කිහිපයක්ම තිබේ.

පළමු කාරණය වන්නේ ගමනාගමනයයි. අද අප රටේ පොදු ප්‍රවාහන සේවය යනු මගියාගේ කාලයද, මානසික සුවයද, ආත්ම ගෞරවයද කෙලෙසා දමන අවසානයේ මරණය අතේ තබාගෙන භාවිත කළ යුතු සේවාවක් වී තිබේ. තවමත් මගී ප්‍රවාහන සේවයේ ආධිපත්‍යය ඇත්තේ පෞද්ගලික බස් රථ සේවය අතේය. දැන් එහි වෙනසක් කිරීම සිතන්නටද අපහසු කටයුත්තකි. එසේ කළ යුතු යැයි කිසිවකු කියන්නේද නැත. කළ යුතුව ඇත්තේ පෞද්ගලික බස් රථ සේවාවන් නිසි නියාමනයකට යටත් කිරීමය.

පෞද්ගලික බස් සේවාව ඒවායේ ගමන් කරන මගීන්ට පමණක් නොව, මහා මාර්ගවල තමන්ගේම රථයකින් ගමන් කරන අයට පමණක් නොව පදිකයන්ටද පුදුමාකාර හිංසනයකි. පොලිස් වාර්තාවන්ට අනුව රටේ සිදුවන මාර්ග අනතුරුවලට වැඩි වශයෙන්ම වගකිව යුත්තේ පෞද්ගලික බස් රථය. විනයක් සහිත රටක් බිහිකිරීමට කල්පනා කරන්නේ නම් පළමුව කළ යුත්තේ කුළු හරකුන් සේ හැසිරෙන පෞද්ගලික බස් හීලෑ කිරීමය.

ජනතාවට යහපත් ගමනාගමන සේවාවක් සැලසීමට නම් ලංගම සහ දුම්රිය සේවාවන්ද විධිමත් කළ යුතුව තිබේ. විශේෂයෙන්ම අධික රථවාහන තදබදයටද පිළියමක් ලෙස භාවිත කළ හැකි දුම්රිය සේවාව ඵලදායී කිරීමට කඩිනම් අවධානය යොමුවිය යුතුව ඇත. නව ආණ්ඩුවක් පත්ව, රට නව සංවර්ධන මාවතකට පය තබන්නට සූදානම් නමුත් ලංගම හා දුම්රිය තවමත් ගමන් කරමින් සිටින්නේ ඔවුන්ට සුපුරුදු මාර්ගයේමය. නව ආණ්ඩුව පත්වූ සැණින් ලංගමයේ සුපුරුදු දේශපාලන පළිගැනීම් ආරම්භ වී ඇතැයි වාර්තා පළවී ඇතත්, ඔවුන් තමන්ගේ සේවාව ගුණාත්මක කරන්නට පියවර ගත් බවක් වාර්තා වී නැත. මේ සේවාවන් – ඵලදායී කරන්නට අවශ්‍ය වන්නේ දැනුවත් කළමනාකරණයක් පමණකි.

ප්‍රවාහනය සම්බන්ධයෙන් කතා කරන විට රටේ මාර්ගවල පවතින අධික වාහන තදබදය ගැන කතා නොකොට බැරිය. අධිවේගී මංමාවත් හැදීම ගැන මෙන්ම වාහන තදබදය අවම කරන්නේ කෙසේද යන්න ගැනත් වහා අවධානය යොමුවිය යුතුව තිබේ.

පොදු මගී සේවා දියුණු කිරීම, වාහන ආනයනය සීමා කිරීම වැනි කාරණාද වාහන තදබදය සමග බැඳී පවතින කාරණා වන නමුත් වාහන තදබදය අවම කිරීමට ගත හැකි කඩිනම් පියවර ගණනාවක්ම තිබේ.

අද බොහෝ නගරවල හන්දියක් ගානේ ත්‍රිරෝද රථ නැවතුම් පළවල්ය. මග දෙපස අනවසර ඉදිකිරීම්ය. පදික වේදිකාවල කඩ සාප්පුය. නැතිනම් කඩ සාප්පුවල බඩු භාණ්ඩය. පෞද්ගලික බස් රථ නවත්වන්නේ නැත්තේ මගී නැවැතුම්පළවල පමණය. කොළඹ නගරයේ ආණ්ඩුවේ සේම ඇතැම් පෞද්ගලික පාසල් ආරම්භ වන සහ අවසන් වන වේලාවට මාර්ගයේ තීරු දෙක තුනක් වෙන්වී ඇත්තේ ඒ පාසල්වලට එන වාහන සඳහාය. කොළඹ නගරයේ මාර්ග ගණනාවක් දැන් මාස කිහිපයක් තිස්සේ අවහිර වී ඇත්තේ – විවිධාකාරයේ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු නිසාය.

අපේ රටේ බොහෝ දෙනා කතා කරන්නේ යහපාලනය, වගවීම, නීතියේ සාධාරණත්වය වැනි ඉහළ, සම්භාව්‍ය ගණයේ දේශපාලන මූලධර්ම ගැනය. නමුත් සත්‍ය තත්ත්වය වන්නේ අප මහා මාර්ගයක පයින් යෑමට හෝ නොදන්නා බවය. උදෑසන හා සවස කාර්යාල වේලාවට යතුරුපැදි යන්නේ පදික වේදිකා උඩිනි. බස් රථ පමණක් නොව ලොකු ලොකු කාර් පවා මාර්ග නීති තකන්නේ නැත. පාර හරහා මාරුවීමට කහ හෝ සුදු ඉරි ඇතත් ඒවා හරහා ජනතාව මාරු වන්නේ පොලිස් නිලධාරියකු ඒ අසල සිටියහොත් පමණකි. මාර්ග නීති අදාළ වන්නේ රියැදුරන්ට පමණක් සේය. ආලෝක සංඥා ඇති මංසන්ධිවල පොලිස් නිලධාරීන්ද යොදවා ඇතත්, ආලෝක සංඥා නොමැති මංසන්ධිවල රථවාහන පාලනයට කිසිවකු නැත. බොහෝ විට එවැනි ස්ථානවල රථවාහන පාලනය කරන්නේ ත්‍රිරෝද රථ රියැදුරන් විසිනි.

මේ ප්‍රශ්න සියල්ල පිටුපස ඇති පොදු කාරණය නම් කළමනාකරණයක් නොමැතිකමය. අපේ රටේ රාජ්‍ය අංශයේ මුල් බැස ගත් කල්පනාවක් වන්නේ කළමනාකරණය අයත් වන්නේ පෞද්ගලික අංශයට බවය. මෙය වහාම වෙනස් විය යුතු ආකල්පයකි. රාජ්‍ය අංශයෙන් මේ ආකල්පය තුරන් කළ හැක්කේ ඒ සඳහා ආදර්ශ සැපයීමෙනි. අවශ්‍ය තැනකදී මේ ආදර්ශයන් පෞද්ගලික අංශයෙන් මෙන්ම රට රටවලින්ද ලබා ගත හැකිය. එහෙත් ක්‍රියාත්මක කළ යුතුව ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණයයි.

දැන් පොලිසිය මැති ඇමැතිවරුන් පස්සේ යෑම සීමා කොට ඇති නිසා මේ සඳහා පොලිසියේ සේවය උපරිමයෙන් යොදා ගත හැකිව තිබේ. පළාත් පාලන ආයතන කළ යුතුව ඇත්තේ පාලම්, බෝක්කු හැදීමට කොන්ත්‍රාත් ලබාදීම පමණක් නොවන බවද සිහිපත් කළ යුතුය. පළාත් පාලන ආයතන තම තමන්ගේ බල ප්‍රදේශවල, මේ ප්‍රශ්න විසඳීමට විශේෂයෙන්ම වාහන තදබදය අවම කිරීමට මැදිහත් වන්නේ නම් මාර්ග තදබදය එතරම් ප්‍රශ්නයක් නොවනු ඇත.

රටේ මාර්ග පද්ධතිය පුළුල් කිරීම, නව දුම්රිය ධාවනයට යෙදවීම, ලංගමය දියුණු කිරීම දෙවනුව සැලසුමකින් යුතුව කළ යුතු, එසේම විශාල මූල්‍ය ආයෝජන අවශ්‍ය කරන කාරණාය. එහෙත් පවතින පොදු මගී සේවා විධිමත් කිරීම සහ මාර්ග තදබදය ලිහිල් කිරීම, එලෙස කල්ගත හැකි කාරණා නොවේ. එසේම ඒවාට අමතර මූල්‍ය ප්‍රතිපාදනද අවශ්‍ය නොවනු ඇත.

එපමණක් නොව MCC ගිවිසුම අත්සන් කිරීම වැනි ජාත්‍යන්තරය හා බැඳුණු කාර්යයක් නොවන නිසා මේ කාර්යයන් ඉටු කිරීමට තුන් කල් බැලිය යුතුද නැත.