විශේෂාංග

ප්‍රභාකරන්ගේ අන්තිම දින 7 ගෙවුණු හැටි

තිස් වසරක් තිස්සේ ඊළාම් රාජ්‍යයක් ගැන සිහින මැවූ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් අවසන් සතියේ කොටු වී සිටියේ මීටර් අටසියයකට අඩු භූමියකය. ඒ වීරෝදාර රණවිරුවන් ඇස්, ඉස්, මස්, ලේ දන්දෙමින් කළ කැපකිරීම නිසාය. වර්ග කිලෝමීටර් දහතුන් දාහක් පුරා පැතිරී තිබූ කොටින්ගේ ඊළාම් රාජ්‍යයේ කිසිදු නිජබිමක් ඒ වන විටත් ඉතිරි වී නොතිබිණි. කොටි ත්‍රස්තයන් මාවිල්ආරුව වසා දැමූ නිසා 2006 අගෝස්තු 01 දා ඇරඹි සිව්වන ඊළාම් යුද්ධයේ අවසන් සතිය තීරණාත්මක විය.

කොටි නායකයා ඇතුළු පිරිස මුත්තියන් කච්චුකුලම් හරහා මුලතිව් කැලෑවට පැන ගන්නා ‘ඇන්කර් වන්’ නමැති කොටි මෙහෙයුම සැලසුම් කරන්නේ මේ අතරය. කොටි ඔත්තු අංශ නායක පොට්ටු අම්මාන්, මුහුදු කොටි නායක සුසෙයි, ප්‍රභාකරන් පුත් චාල්ස් ඇන්තනි ඇතුළු කණ්ඩායම ඇන්කර් වන් මෙහෙයුම සැලසුම් කළහ. අවසන් සතිය වන විට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා 58 වැනි සේනාංකයටත්, මේජර් ජනරාල් කමල් ගුණරත්න 53 සේනාංකයටත්, බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා 59 වැනි සේනාංකයටත් අණ දුන්හ. කර්නල් අතුල කොඩිප්පිලි යටතේ වූ විශේෂ බළකා බළ සේනාවත්, කර්නල් රැල්ෆ් නුරේරා යටතේ වූ කමාන්ඩෝ බළ සේනාවත් අවසන් කොටි බළකොටුව වට කර තිබිණි.

2009 මැයි 17 දා අලුයම 2.20ට කොටි ත්‍රස්තයන් හමුදා ආරක්ෂක වළල්ල බිඳ ගෙන මුලතිව් පනින මෙහෙයුම දියත් කළහ. දරුණු වෙඩි වරුසාවලින් කළපු තීරයම ගිනියම් විය. හමුදා සෙබළුන්ගේ වෙඩි වරුසා මැද කළපුවම ත්‍රස්තයන්ගේ ලෙයින් රත් පැහැ වන්නට ගත වූයේ සුළු මොහොතකි. එදින අලුයම 5.20 වන විට සමස්ත කොටි මෙහෙයුමම කණපිට හරවනු ලැබුවේ සෙබළුන්ගේ දැඩි චිත්ත ධෛර් යෙනි. මුළු කළපු තීරයම කොටි මළ මිනීවලින් පිරී ගොසින්ය. මුලතිව් කැලෑවට පනින කොටින්ගේ ඇන්කර් වන් මෙහෙයුම පරජයට පත් කරමින් කොටි නායකයන් අවසන් හෝරාව කරා රැගෙන යන්නට භට පිරිස් කළ කැපකිරීම අතිමහත්ය.

‘‘ඇත්තටම මැයි 17 වැනිදා හැන්දෑව වන විට එල්.ටී.ටී.ඊ.ය කුඩා කොටසකට කොටු කරන්නට අපට හැකිවුණා. මගේ නායකත්වය යටතේ 58 වන සේනාංකයත්, මේජර් ජනරාල් කමල් ගුණරත්න යටතේ 53 වන සේනාංකයත් මෙම ප්‍රදේශය වටකර ගත්තා. මැයි 17 දා රෑ තීරණාත්මක වුණා යැයි වසර එකොළහකට පෙර වූ බිහිසුණු සටනේ මතකය ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අනාවරණය කළේය.

මන්නාරම සහල්නැලියේ සිට 58 වන සේනාංකය ඇරඹූ කොටි බළකොටු මුදා ගන්නා තීරණාත්මක ගමන අවසන් මොහොත දක්වා ක්‍රියාත්මක වුණා. අපි ඒ වන විටත් කිලෝමීටර් 208ක් මුදා ගනිමින් ඉදිරියට ගියා. වන්නි මානුෂීය මෙහෙයුමේ වැඩිම දුර ගිය සේනාංකය 58 වන සේනාංකයට අවසන් සටනේ භාරදූර මෙහෙවරක් ඉටු කරනනට සිදුවුණා. ත්‍රස්තවාදීන් හමුදා ආරක්ෂක වළලු බිඳගෙන හෝ පැනයාමේ අවදානමක් ගැන අපි දැන ගත්තා. ඒ අනුව පළමු ආරක්ෂක වළල්ලට අමතරව තවත් ආරක්ෂක වළලු තුනක් පසු පසිනුත් දැම්මා. එක ලයින් එකකන් කැඩුණොත් අනෙක් ලයින් එක කඩන්න බැරි වෙන්න අපි උපක්‍රම යෙදෙව්වා. මේ වන විට එල්.ටී.ටී.ඊ.යේ. ඉතිරිව සිටි ප්‍රබලම නායකයන් නන්දිකඩාල් කළපුවේ අවසන් මෙහෙයුම සකස් කරමින් හුන්හ. කොටි ත්‍රස්තයන් මැයි 17දා පස්වරුවේ හමුදා ආරක්ෂක වළල්ල බිඳගෙන යාමට සැලසුම් කරන බවට අනාවරණය වන්නේ මේ අතරය. මුලතිව්, වච්චුවාකල් දෙසින් සිවිල් වැසියන් සමග හමුදා පාලන ප්‍රදේශයට ආ කොටි බුද්ධි අංශ ප්‍රබලයකුගෙන් මේ බව හෙළි විය.

වහාම හමුදා බළ ඇණි සීරුවෙන් තබන්නට යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා නියෝග කළේය. එය නිදි නොමැති රැයක් විය.

කරෙයිමුල්ල වයික්කාල්හි සිවිල් වැසියන්ට පැමිණෙන්නට තිබූ හමුදා බාධකය දෙසට අඳුරේම පිරිසක් ඇදී ආහ. සිවිල් වැසියන් සේ පැමිණ හමුදා ආරක්ෂක වළල්ල බිඳ දැමීම කොටි ප්‍රබලයන්ගේ අවසන් සැලසුමය.

මේ වන විටත් කොටින්ගේ ජාත්‍යන්තර නායක කුමරන් පද්මනාදන් ඇතුළු පිරිස් ජාත්‍යන්තර මැදිහත්වීමකින් කොටි නායකයන් බේරා ගන්නා සැලසුමක්ද ක්‍රියාත්මක කරමින් සිටියහ. ජාත්‍යන්තර බලපෑම් හමුවේ ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නට සේනාධි නායකයා වූ ජනපති මහින්ද රාජපක්ෂත්, ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂත් කිසි විටෙක සූදානම් වූයේ නැත. ත්‍රස්තවාදය පරාජය කර සමස්ත භූමියම මුදා ගන්නට හමුදාපතිවරුන්ට නොසැලෙන නායකයෙක් ලැබුණේය.

මේ සියලු කාරණා සිදුවෙද්දී ගැමුණු රෙජිමේන්තුවේ කපිතාන් අබේරත්නට සැක කටයුතු දෙයක් නිරීක්ෂණය විය. ඒ වන විට වේලාව මැයි 17 දා රාත්‍රී 11.00ට පමණ විය. කරෙයිමුල්ලවයික්කාල්හි සිවිල් වැසියන්ට පැමිණෙන්නට තිබූ පිවිසුමේ ආරක්ෂාව පැවරුණේ කපිතාන්වරයාටය. සියයට අධික පිරිසක් හමුදා ආරක්ෂක වළල්ල දෙසට එනු දුටු එම නිලධාරියා වහාම ක්‍රියාත්මක විය. රාත්‍රී කාලයට මෙහි ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බව එම නිලධාරියා දෙමළෙන් කියා සිටියේය. එය ඉදිරියේ වූ දූපත් කැල්ලේ එළිවනතුරු රැඳී සිටින්නැයි ඔහු දැන්වීය. සිදුවන දෑ කපිතාන්වරයා 17 වන ගැමුණු රෙජිමේන්තු අණදෙන නිලධාරියා ලුතිනන් කර්නල් කීර්ති කෝට්ටවත්ත වෙත පණිවුඩ හුවමාරු මගින් දන්වන්නටද අමතක නොකළේය. කර්නල් ජී.වී. රවිප්‍රිය යටතේ වූ කාර්ය සාධක බළකායට අයත් 681 බළ සේනාවට මෙම ප්‍රදේශයේ ආරක්ෂාව පැවරිණි. මේජර් ජනරාල් කමල් ගුණරත්නට 53 වන සේනාංකය මෙන්ම මෙම කාර්ය සාධක බළකාය අධීක්ෂණය කිරීමට පැවරී තිබුණේය.

පැය ගණනක නිහැඬියාවකින් පසුව යළිත් සිවිල් වැසියන් අතරේ සැඟවී ආ කොටි ත්‍රස්තයන් හමුදා ආරක්ෂක වළල්ල දෙසට එන්නට උත්සාහ ගත්හ. මේ වන විට පසුදිනට (මැයි 18) එළිවෙමින් තිබිණි. වේලාව අලුයම 2.45ට පමණය. එන්න එන්නම හමුදා අණ නොතකා කලබල කරමින් මෙම පිරිස් ඉදිරියට එන්නට වූහ.

අණ දෙන නිලධාරීන්ගෙන් උපදෙස් ගත් කපිතාන් අබේරත්න අවවාදාත්මක වෙඩි කිහිපයක් අහසට තැබුවා පමණි ඒ වන විට වේලාව අලුයම 3.20 පමණ විය. හමුදාව තමන් හඳුනාගෙන වෙඩි තබන බව සැක කළ කොටි ත්‍රස්තයන් මුළු හමුදා ආරක්ෂක වළල්ලටම පහර දෙන්නට වූහ.

සතුරු ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සිටි භට පිරිස් නොබියව සතුරු ප්‍රහාරයට මුහුණ දුන්හ. සතුරා වෙත දරුණු ප්‍රතිප්‍රහාර මාලාවක් එල්ල කරමින් ආරක්ෂක වළල්ල රැක ගන්නට ඔවුහු දිවි හිමියෙන් සටන් කළහ. කොටි ත්‍රස්තයන්ගේ ජ්‍යෙෂ්ඨතම සටන් සාමාජිකයන් සියයක් පමණ හමුදා බංකර් දෙකක් වට කර පහර දුන්හ. ලුතිනන් උදයපාල යටතේ වූ බ්‍රාවෝ කණ්ඩායම එම බංකර් දෙක රැක ගන්නට උපරිම වෙර ගත්හ. එහිදී සෙබළුන් අට දෙනකු පමණ තුවාල ලැබීමත් සමග ඇති වූ හිඩැසින් කොටි කණ්ඩායමක් ඇතුළට පැන ගත්හ. ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනි, ප්‍රභාකරන්ගේ ආරක්ෂව භාර රාධා රෙජිමේන්තු නායක රත්නම් මාස්ටර්ද ඒ අතර වූහ. පහළොස් දෙනකුගේ පමණ කොටි කණ්ඩායමක් එම හිඩැසින් හමුදා පාලන ප්‍රදේශයට රිංගා ගත්හ. මේ වන විටත් ආරක්ෂක වළලුවල දරුණු සටන් ඇවිළී ගියේය. හමුදා ආරක්ෂක වළල්ල තුන්පලකින් කඩා ගෙන ඇතුළු වීම කොටි නායකයන්ගේ සැලැස්ම විය. යුද හමුදාපතිවරයා මේ වන විටත් කමාන්ඩෝ බළ සේනාවද සහායට කැඳවා තිබිණි. පළමු ආරක්ෂක වළල්ල බිඳ ගෙන ඇතුළට රිංගූ ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇතුළු කණ්ඩායම දෙවැනි ආරක්ෂක වළල්ලේ එක් තැනකදී හමුදා භටපිරිස්වලට කොටු වූහ. චාල්ස් ඇන්තනි ඇතුළු කණ්ඩායම හමුදා ප්‍රහාරයෙන් මරු දකින්නේ එක් කොටි සැලසුමක් දියාරු කරමිනි. තුවාල ලද සෙබළකු රැගෙන ගිය 682 බළ සේනාවට අයත් ගිලන් රථයකට අතර මගදී වෙඩි තබා එය ත්‍රස්තයන් පැහැර ගත්හ. එහිදී සෙබළා හා රියැදුරු සෙබළ සඳරුවන් වෙඩි ප්‍රහාර මැද කැලෑවකට පැන දිවි බේරාගත්හ.

ගිලන් රථයෙන් පැන ගිය කොටින්ට කමාන්ඩෝ භට පිරිස් අතරමගදී පහර දුන්හ. එම ප්‍රහාරයෙන් ගිලන්රථයේ ගිය කොටින්ගේ මළ සිරුරු ගිනි ගනිද්දී කොටි මනෝමූල මෙහෙයුමක් දියත් කළහ. කොටි නායක ප්‍රභාකරන් ​රථයෙන් පැන යන විට එල්ල වූ ප්‍රහාරයෙන් පිලිස්සී මියගිය බව අඟවන්නට මෙම මනෝ මෙහෙයුම ක්‍රියාත්මක විය. එය දකුණේ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවලටද ලැව් ගින්නක් සේ පැතිර ගියේය.

චාල්ස් ඇන්තනි මියගිය බව දැනගත් කොටි නායකයා කඩොලාන ප්‍රදේශයට පැන ගත්තේ ගැටුම් අතරේය.

මේ වන විටත් මුහුදු කොටි නායක සුසෙයි, සන්නද්ධ නායක ජෙයම් ඇතුළු කණ්ඩායමක් හමුදාවේ අවධානය තමන් වෙත යොමු කරවන මෙහෙයුමක් අරඹා තිබිණි. මුහුදු වෙරළ ​නිදහස් ​කොටසක් අල්ලා මුහුදෙන් පලායාම මොවුන්ගේ ඉලක්කය විය. කමාන්ඩෝ හා විශේෂ බළකා භටපිරිස් තම අභිමානය පෙන්වමින් කොටින්ගේ ප්‍රබලම සටන් කරුවන් හඹා ගොස් ඉලක්ක පිට ඉලක්ක ලබාගත්හ. හමුදාවේ වෙඩි බලයට මුහුණ දිය නොහැකි වූ කොටි ත්‍රස්තයන් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක්ද දියත් කළහ. මේ සටනේදී මරාගෙන මැරෙන ප්‍රහාර අටක් විතර එල්ල වුණා. ඉන් හතක්ම මිස් වෙලා ගියා. ත්‍රස්තයන්ගේ හයසියයක් විතර සටනට ආවා. අපි සැලසුම් සහගත ලෙස ආරක්ෂක වළලු යොදවපු නිසා ඒවායෙන් මිදී පලායාම සතුරාට අපහසු වුණා. අපේ සෙබළු දිවිහිමියෙන්ම එම සටන කළ නිසා ත්‍රස්තයන් පරාජය කරා රැගෙන ගියා.අවසන් සටන ගැන ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එසේ කියන්නේය. මැයි 18දා සවස් වන විට භූමියේ ඇති වූ දරුණුම සටන් සිදුවෙමින් තිබිණි. කොටින්ගේ සන්නද්ධ නායකයන් වූ රමේෂ්, පුලිතේවන්, ඉලංතේ, නඩේසන් ඇතුළු කොටි එකසිය හයකගේ මළ සිරුරරු විශේෂ බළකායට හමුවිය. කමාන්ඩෝ බළ සේනාව තවත් කොටි ප්‍රබලයන්ගේ මළ සිරුරු හැත්තෑවක් පමණ සොයාගත්හ. පාබල භටපිරිස්ද ඇතුළුව කමාන්ඩෝ, විශේෂ බළකා එක්ව කළ සමස්ත සටනේදීම ත්‍රස්තවාදීන් හාරසියයකගේ පමණ මළ මිනී තැන තැන වැටී තිබුණේය. කළපු තීරවල තවත් කොටි ත්‍රස්තයන් මැරී වැටී සිටියහ. කොටි නායක ප්‍රභාකරන් හා සමාන සිරුරක් මේ අතර තිබී හමුවූ අතර එය තහවුරු කර ගැනීමට බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක විය. ඒ වන විටත් ප්‍රභාගේ මළ සිරුර හමුනොවීම ඊට හේතුව විය. අවසානයේ එයද මාදවන් මාස්ටර් නමැති ත්‍රස්ත නායකයාගේ බව තහවුරු විය. කොටි නායක ප්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍යයේ අවසන් කොටසක් විශේෂ බළකාය විසින් මැයි 18දා පස්වරුවේ අල්ලාගෙන අවසන් විය. කොටි ත්‍රස්තවාදයෙන් සමස්ත භූමියම අල්ලාගෙන අවසන් බවට යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නේය. මැයි 18දා පස්වරුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී ත්‍රස්තවාදයෙන් මුළු රටම බේරාගත් බවට නිල වශයෙන් දැනුම් දුන්නේය.

සමස්ත භූමියම මුදා ගත් බවට ජනාධිපතිවරයාට නිල වශයෙන් දන්වා යුද ජයග්‍රහණය රටටම සමරන්නට පණිවුඩය ගෙන ගියේය. රටම රතිඤ්ඤා හඬින් වෙළී යද්දී ජාති භේදයකින් තොරව සියලු දෙනා සිංහ ධජ රැගෙන වීදි බැස ජයඝෝෂා නගන්නට වූහ.

සමස්ත භූමියම හමුදා පාලනයට නතුවෙද්දී කොටි නායක ප්‍රභාකරන් සිය ආරක්ෂකයන් විසි හතර දෙනකු සමග නන්දිකඩාල් කළපුවේ දූපත් හයෙන් එකකට රහසින්ම ඇතුළු වී සිටියහ. එය කඩොලාන කොටසකි. ජාත්‍යන්තර නායකයන් සමග සැටලයිට් දුරකථන ඔස්සේ කතා කරමින් අවසන් මොහොතේ හෝ ජීවිතය රැක ගන්නට ප්‍රභාකරන් උත්සාහ ගත්හ. මැයි 18දා අලුයම කඩොලාන මැද වූ ආරුවකට බැස ජලයේ සැඟවී සිටි කොටි නායකයාගේ අවසන් ඉරණමත් තීන්දු කරන මෙහෙයුම ඇරඹිණි. කොටි නායක ප්‍රභාකරන්ගේ සිරුර හමු නොවූයෙන් හමුදා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක විය.

මැයි 18දා රාත්‍රියේ සිට අවසන් සටනේ මෙහෙයුම් මැදිරියට සේනාංකාධිපතිවරු එක්ව සිටියහ. මේජර් ජනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා, බ්‍රිගේඩියර් චාගී ගාල්ලගේ ඒ අතර වූහ. කර්නල් අතුල කොඩිප්පිලි, කර්නල් රැල්ෆ් නුගේරා ඇතුළු බළ සේනාධිපතිවරුන්ද එක් වූහ.

කමාන්ඩෝ බළකාය යොදවා කළපු තීරයේ අඟලක් නෑර හසුවන්නට ප්‍රහාර මාලාවක් දියත් කළේ ඉතිරි වූ කොටි කණ්ඩායම් සිටී නම් එයත් අවසන් කරන අරමුණෙන්නය. කළපු තීරයේ සැඟවී සිටි කොටි රැසකට වග කියන්නට එම මෙහෙයුමත් ඉවහල් විය. මැයි 19දා අලුයම වෙද්දී ප්‍රදේශයම යළි සෝදිසි කිරීම ලුතිනන් කර්නල් රෝහිත අලුවිහාරේ යටතේ වූ 4 වන විජයබා රෙජිමේන්තුවට පැවරිණි.

​මේජර් ​ජනරාල් කමල් ගුණරත්නගේ අධීක්ෂණය යටතේ කර්නල් විජිත රවිප්‍රියගේ කාර්ය සාධක බළකායට අයත් භටපිරිස් යෙදවීමට බළ සේනාධිපති ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ පියවර ගත්තේය. හතර වන විජයබා රෙජිමේන්තුවේ සැරයන් මුතුබණ්ඩා හා සැරයන් විජේසිංහගේ කණ්ඩායම් එළිය වැටෙද්දීම අත්බෝම්බ ගසමින් වෙඩි තබමින් කළපු තීරය සෝදිසි කරමින් ඉදිරියට ඇදෙන්නට වූහ.

එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස මැයි 19 දා උදෑසන 10.45ට කොටින්ගේ කැලෑ ඇඳුමක් සහිතව ආරක්ෂකයන් සමග මැරී වැටි සිටි කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුරද හමු විය. මොළය පසාරු කරගෙන ගිය වෙඩි ප්‍රහාරයකින් ප්‍රභාකරන් මියගොස් තිබිණි. වීරෝධාර හමුදාව අතින් ඊළාම් ඉතිහාසය මකා දමමින් ඉඳුරු කොටි ත්‍රස්තවාදියා මියැ දෙන විටත් ඊළාම් රාජ්‍යයේ සමස්ත බළකොටු සියල්ල මුදාගත් බවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ජාතිය අමතා පවසමින් සිටියේය.

මේ වන විටත් දහස් ගණනින් සෙබළුන් හා නිලධාරීන් නන්දිකඩාල් කළපුවට පැමිණ තම අත්වල වූ ගිනි අවි අහසට දිගු කරමින් විජයග්‍රහණය සැමරූහ.තිස් වසරක ශාපලත් යුද්ධයට නායකත්වය දුන් ම්ලේච්ඡ ත්‍රස්ත නායකයාගේ සිරුර කොටි නිල ඇඳුමින් තබන්නට ඉඩ නො‌දෙන්නැයි යුද හමුදාපතිවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ බ්‍රිගේඩියර් චානී ගාල්ලගේය.

යුද උද්දාමයෙන් සෙබළුන් ඉපිල්ලෙද්දී කොටි නායක ප්‍රභාගේ සිරුර තම කැබ් රථයට දමාගෙන අත්හැර දමා තිබූ කඳවුරකට ගොස් එහි වූ රෙදි කඩකින් අමුඩයක් අන්දවා යළිත් කළපුවට ගෙනවිත් දමන්නට බ්‍රිගේඩියර් ගාල්ලගේ පියවර ගත්තේය. ප්‍රභාකරන් ඇතුළු රටට සාපයක් වූ කොටි නායකයන්ගේ මළ සිරුරු පුළුස්සා අළු මහ මුහුදට විසි කර දැමිණි. අදට එකොළොස් වසරකට පෙර මෙවැනි විජයග්‍රහණයක් ලැබුවේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය එකාවන්ව රට වෙනුවෙන් කළ මෙහෙවර නිසාය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා