ගොසිප්

පළාත් සභා ජරමරය

මේ ඇමෙරිකානු යුද නැව් කතාවෙන් අනතුරුව විපක්ෂ නායකයින්ගේ රැස්වීමේදී අවධානයට ලක් වූයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙනි.

“එක්සත් ජාතික පක්ෂය දන්නවා මේ වෙලාවේ පළාත් සභා මැතිවරණයට යන එක පාඩුයි කියලා. ඒ නිසා තමයි නොයෙක් තර්ක විතර්ක මතු කරලා ඡන්දය කල්දාගන්න උත්සාහ කරන්නේ” සුසිල් පෙන්වා දුන්නේය.

“හැබැයි පහුගිය පළාත් පාලන මැතිවරණයත් ඔය විදියට කල් දදා ඉඳලා ආණ්ඩුව නාගත්තා. මේ පාර ඊටත් වැඩිය නාගැනීමක් කරන්නයි හදන්නේ” උදය පැවසීය.

“මැතිවරණ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම අංගයක්. අපිට චෝදනාව තිබ්බේ වෙලාවටත් කලින් මැතිවරණ තියනවයි කියලයි. එදා විපක්ෂයේ හිටපු එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි පෙළපාලි ගියේ මැතිවරණ එපා කියලා. හැබැයි අද විපක්ෂයේ ඉන්න අපි පෙළපාලි යන්නේ මැතිවරණ දියව් කියලා. ඒකයි අපි දෙගොල්ලගේ වෙනස” මහින්ද පැහැදිලි කළේය.

“මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාට එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගැන මූලික අවබෝධයක්වත් නැහැ. බලය ගන්න වෙලාවට විතරයි රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිය, මාධ්‍ය නිදහස ඕනේ වෙන්නේ. අනිත් වෙලාවට එයා තරම් ඒකාධිපතියෙක් තවත් නැහැ” ප්‍රසන්න පැවසීය.

“මහින්ද මහත්තයා තරම් මැතිවරණ තියපු නායකයෙක් මේ රටේ තවත් නැහැ. නායකයෙක් වුණාම වැඩ කරන්න ඕනේ ඒ විදියට තමයි. ජනතාවගේ කැමැත්තට ගරු නොකරන කිසිම නායකයකුට පැවැත්මක් නැහැ” ගම්මන්පිල කීවේය.
පළාත් සභා මැතිවරණය පිළිබඳව දේශපාලන පක්ෂ තුළ කතා බහට ලක් වුවද නැවත ජනතාව අතර මැතිවරණයක් පිළිබඳව උණුසුම ඉහළ නංවන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසිනි. ඒ ඔහු පසුගිය සතියේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පළාත් සභා මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු කරන්නේ නම් තමන් සභාපතිකමෙන් ඉල්ලා අස්වන බවට කළ ප්‍රකාශයත් සමගය.

ඉන් අනතුරුව මැකෝ ගියේ ඩිජිටල් කටයුතු ඇමති හමුවන්නටය. ‘අපිට මේක කරුණාකරල ඩිජිටල් කරල දෙන්නකො අපි තාම පයිල් මිටි තියාගෙන වැඩකරන්නෙ ඉක්මන්ට ඡන්දයක් තියන්නත් ඕන’. මැකෝගේ මේ කටයුතු වලින් පසු දින දෙක තුනක් යද්දී ජනාධිපතිවරයාද කැබිනට්ටුවට යෝජනාවක් ඉදිරිපත් කරමින් පළාත් සභා මැතිවරණය ලබන මැයි 31 වැනිදාට ප්‍රථම පැවැත්විය යුතු බවට ප්‍රකාශ කළේය. මේ යෝජනාව ඉදිරිපත් වීම මාධ්‍ය මගින් ඊට අනුමැතිය ලැබුණු බවට සඳහන් කරමින් ප්‍රචාරය කෙරුණද කැබිනට්ටුව එම යෝජනාව නිරීක්ෂණය කර අවසන් තීන්දුවක් ලබා දීම ලබන සතියේ කැබිනට් රැස්වීම දක්වා කල් ගෙන තිබුණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පසුගිය සතිය පුරා කල්ලි කණ්ඩායම් වශයෙන් කොළඹ ස්ථාන කිහිපයක රැස්වී ජනාධිපතිවරයාගේ මැතිවරණ යෝජනා ඉවත දැමීමට සාකච්ඡා පවත්වා තිබුණි. ජනාධිපතිවරණයකට ප්‍රථම පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම එජාපයට විශාල පාඩුවක් බව ඔවුන් සාකච්ඡා කර ඇති අතර ඒ හේතුවෙන් කැබිනට් අනුමැතිය ලබා නොදී ජනාධිපතිගේ යෝජනාව පසෙක ලෑමට තීරණය කර ඇත. ඉදිරි ජනාධිපතිවරණයකදී කවුරුන් ජනාධිපතිවරයා වුවත් ඔහුට සහාය දක්වන පළාත් පාලන ආයතන සහ පළාත් සභා ක්‍රියාත්මක කරවා ගත යුතු නිසා ජනාධිපතිවරණයකට ප්‍රථම පළාත් සභා පැවැත්වීම එජාපයට තවත් අවාසියක් බව කතා බහට ලක් වී ඇත.

මේ සම්බන්ධයෙන් ජවිපෙ ද අවධානය යොමු වී තිබේ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පළාත් සභා මැතිවරණයට පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය කුමක් වෙනවාද යන්න විජිත හේරත්ගෙන් විමසා සිටියේ පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදීය ”ඇත්තටම ජනාධිපතිවරයාටවත් ආණ්ඩුවටවත් පළාත් සභා මැතිවරණයක් තියන්න ඇත්ත වුවමනාවක් නැහැ. පරණ ක්‍රමයට තියනවා නම් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් දාලා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත්තාම හරි. ඒකට ඕනෑනම් සති දෙකක් කල්ගතවෙයි. අලූත් ක්‍රමයට තියනවානම් සීමා නීර්ණ වාර්තාව සම්මත කරගන්නයි තියෙන්නේ. ඒකට ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න පුළුවන්. ඒකටත් සති දෙකක් යයි. ඇත්තටම ඇත්ත වුවමනාවක් තියෙනවා නම් පළාත් සභා ඡන්දයකට යන්න මහ ලොකු කාලයක් ගන්න අවශ්‍ය නැහැ.” විජිත හේරත් පැහැදිලි කළේය.