අතන මෙතන

පල්ලෙකැලේ බන්ධනාගාරයේ අපජලය මහවැලි ගඟට

මහනුවර පිහිටි බෝගම්බර බන්ධනාගාරය මීට වසර කිහිපයකට පෙර කුණ්ඩසාලේ පල්ලෙකැලේ ප්‍රදේශය වෙත ගෙනැවිත් දුම්බර බන්ධනාගාරය ලෙස නම් කළේය.

බන්ධනාගාරය අවට විශාල පවුල් සංඛ්‍යාවක් වෙසෙන පල්ලෙකැලේ හේන්වල ගම්මානයේ වැසියන්හට අද වන විට මෙම බන්ධනාගාරය නිසාවෙන් සාමාජීය ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුව ඇති බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති .

මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නගන ලද මෙහි අප ජලය බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් පවා නොමැතිව බව ප්‍රදේශවාසින් පෙන්වා දෙයි.

බන්ධනාගාරය වටා ඉදිකර පවතින ආරක්‍ෂිත බැම්ම (තාප්පය ) සිදුරු කොට සකස් කරගත් සිදුරක් මගින් කිසිදු කළමනාකරණයක් නොමැතිව බන්ධනාගාර භූමියෙන් අප ජලය පිටතට යොමු කරයි. එම අප ජලය ගම් මැදින් කුඩා කානුවක් මතින් මහවැලි ගඟ වෙත බැහැර වෙයි. එම අප ජලයෙන් හමන්නා වූ අධික දුර්ගන්ධය හේතුවෙන් වැසිකිළි හා කැසිකිළි ජලයත් එයට මුසුවී ඇත්දැයි ගම්වාසින් තුළ සැකයක් පවතී.

මේ නිසාවෙන් පල්ලෙකැලේ හේන්වල ගම්මානයේ වෙසෙන කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ට සෞඛ්‍ය තර්ජනයන්ට මුහුණ පෑමටද සිදුව ඇත. මෙම තත්ත්වය පිළිබඳව ගම්වාසීන් විසින් බන්ධනාගාරයේ නිලධාරීන් වෙත හා ප්‍රදේශයේ පවතින වගකිවයුතු රාජ්‍ය ආයතන වෙත දන්වා ඇතත් මෙතෙක් කිසිදු පියවරක් ඒ සඳහා ගෙන නොමැත.

බන්ධනාගාරත වුවන්ට වඩා දුෂ්කරතා විඳීමට මේ නිසා හේන්වල ගම්වාසීන්ට සිදුව ඇති බවට ඔවුහු චෝදනා නගති. එසේම දුම්බර බන්ධනාගාරයේ රැඳවියන් බැලීමට පැමිණෙන පිරිස වෙත පිටතින් වැසිකිළි පහසුකමක් වත් සකසා නොමැත. මේ හේතුවෙන් මෙලෙස පැමිණෙන පුද්ගලයන් කිසිදු අවසරයකින් තොරව අවට නිවෙස්වල පිටතින් නිමවා ඇති වැසිකිළි ප්‍රයෝජනයට ගන්නා බවත්, නොදීරන අපද්‍රව්‍ය බැහැර කිරීමටද කිසිම ක්‍රම වේදයක් යොදා නැති බවටත් ගම්වාසීහු චෝදනා කරති.

ජනක එස්. බණ්ඩාර