විශේෂාංග

පරිසරය උලා කන අනෙකුත් කැලෑ නීතිය

‘අවශේෂ කැලෑ’ යනුවෙන් වැරදියට අර්ථකථනයවීම හේතුවෙන් ‘අනෙකුත් කැලෑ’ පිළිබඳ 01/2020 චක්‍රලේඛයත් සමග ගැටලුකාරී තත්ත්වයක් මතුවී තිබේ. ඊට හේතුව අවශේෂ කැලෑ නොවැදගත් බිම් පෙදෙස් ලෙස අදහසක් ඇතිවන නිසාය.

මොනවද මේ අනෙකුත් වනාන්තර

රක්ෂිත ප්‍රදේශ වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර නැති වනාන්තර ‘අනෙකුත් රජයේ වනාන්තර’ (OSFS) ලෙස සැලකේ. මෙම වනාන්තර ‘අවශේෂ වනාන්තර හෝ කැලෑ’ යනුවෙන් හැඳින්වීමට පටන් ගැනීමත් සමග ඒවා වල්පැළෑටි, පඳුරු ආදියෙන් සමන්විත නොවටිනා බිම් වශයෙන් සැලකෙන තත්ත්වයක් ඇතිවිය.

එය පාරිසරිකව බෙහෙවින්ම වැදගත් වේ. මෙම බිම් පෙදෙස්වලට අහිතකර බලපෑම් ඇතිකර තිබියදී, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් විසින් 2020.11.04 දිනැතිව, WWFC/1/2020 අංක දරන චක්‍රලේඛය රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය මැයෙන් නිකුත් කෙරිණි. එමගින් මෙහි අවශේෂ කැලෑ යනුවෙන් හඳුන්වන බිම් ඒවායේ අයිතිය තවදුරටත් රජය සතුව තබා ගනිමින් පරිසරයට හා වනජීවී සම්පත්වලට හා කැලෑවලට හානියක් නොවන පරිදි ආර්ථිකය හා වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිත කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉඩ ලබාදී ඇතැයි දැක්වේ.

මේ සමග අවශේෂ කැලෑ කළමනාකරණය හා පාලනය කිරීම සඳහා වනසංරක්ෂකට පැවරුණු අංක 05/2001, එම චක්‍රලේඛය සංශෝධනය කරමින් අවශේෂ කැලෑ වශයෙන් වන සංරක්ෂක වෙත පැවරී ඇති ඉඩම්වලින් කැලෑ නොමැතිව ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීම සඳහා නිකුත් වූ 02/2006 චක්‍රලේඛ අවලංගු කෙරිණි. එලෙස අවලංගු කිරීම හේතුවෙන්, 05/2001 චක්‍රලේඛය මගින් අවලංගු කළ 05/98 චක්‍රලේඛයද බල රහිත කර තිබේ.

‘රජයේ ඉඩම් කළමනාකරණය’ චක්‍රලේඛය

මෙම 01/2020 චක්‍රලේඛය නිකුත්වීමත් සමග එහි අවශේෂ කැලෑ ඉඩම් යනුවෙන් හඳුන්වන බිම් වඩාත් සුදුසු ප්‍රායෝගික ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ඇතුළත් චක්‍රලේඛයක් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ යුතු බව දැක්විණි. 2020.11.10 දිනැතිව, චක්‍රලේඛ අංක 2020/18 වශයෙන් ‘රජයේ ඉඩම් කළමනාකරණය’ මැයෙන් යුතු එම චක්‍රලේඛයද මේ වනවිට නිකුත්වී තිබේ. ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ඉඩම් හඳුනා ගැනීම හා ආපසු භාර ගැනීම, භාරගත් රජයේ ඉඩම් විවිධ සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීම, භාරගත් රජයේ ඉඩම් ආරක්ෂා කිරීම යන කාරණා යටතේ ඒ පිළිබඳ එයින් උපදෙස් ලබාදී ඇත.

ඉහත සඳහන් කළ සියලුම චක්‍රලේඛවල මෙම, රජයේ අනෙකුත් කැලෑ හැඳින්වෙන්නේ ‘අවශේෂ කැලෑ’ යනුවෙනි. පරිසරවේදීන් පෙන්වාදෙන අන්දමට එලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබී ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැවරෙන අනෙකුත් කැලෑ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 300,000 – 600,000ත් අතර වේ.

ආචාර්ය සෙව්වන්දි ජයකොඩි කියන දේ

වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පෙන්වාදෙන පරිදි ශ්‍රී ලංකාවේ අවශේෂ කැලෑ යනුවෙන් කැලෑ බිම් නොමැත. එලෙස හඳුන්වන රජයේ අනෙකුත් වනාන්තර මගින් සිදුවන පාරිසරික සේවා කිසිසේත් අවතක්සේරුවට ලක්නොකළ යුතු බව ඇය පවසයි. ශ්‍රී ලංකාවේ වත්මන් වනාන්තර පිළිබඳ ප්‍රථම විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය ඇසුරින් ඇය පැහැදිලි කරන්නේ, මෙම අනෙකුත් වනාන්තර ප්‍රදේශ වැඩිම ප්‍රමාණයක් ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බවය. එය හෙක්ටයාර 85218කි. මොනරාගල දිස්ත්‍රික්කයේ එවැනි වනාන්තර හෙක්ටයාර 68368කි. බදුල්ල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 24730කි. රත්නපුර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 18884කි. වැදගත් කාරණයක් නම් රට පුරා දිස්ත්‍රික්ක සියල්ලේම මෙම අනෙකුත් වනාන්තර බිම් පවතින බවය. ඒ අතරින් එවැනි අඩුම වනාන්තර ප්‍රමාණයක් ඇති කොළඹ දිස්ත්‍රික්කයේද හෙක්ටයාර 176ක් තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 10403ක් වන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 11805කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 18662කි.

‘අනෙකුත් වනාන්තර’ යනුවෙන් හැඳින්වෙන මෙම වනාන්තර පාරිසරිකව කොපමණ සංවේදී කලාපද යන බව හොඳින්ම හඳුනාගත හැකි නිදසුන් කිහිපයකි. ඉන් එකක් අලි – මිනිස් ගැටුමය. මේ තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි අනුරාධපුර, කුරුණෑගල, හම්බන්තොට, මොනරාගල වැනි දිස්ත්‍රික්කවල ඇති අනෙකුත් වනාන්තර බිම් සැලකිය යුතු විශාල ප්‍රමාණයකි.

අලි මිනිස් ගැටුම

ආචාර්ය සුරංජන් ප්‍රනාන්දු පෙන්වාදෙන පරිදි, මෙම වනාන්තර පිළිබඳ දැනට ඇති දත්තවලින් පැහැදිලිව පිළිබිඹුවන පරිදි, එවැනි දිස්ත්‍රික්කවල අලි-මිනිස් ගැටුම තීව්‍රය.

‘‘මේ දත්තවලින් හොඳටම පැහැදිලියි. අනෙකුත් වනාන්තර හෙක්ටයාර් 112,763ක්ම තියෙන්නේ අලි-මිනිස් ගැටුම වැඩි දිස්ත්‍රික්කවල. අලි විශේෂයෙන්ම දිවා කාලයේ රැකවරණය ලබන්නේ මේ අනෙකුත් වනාන්තර ලෙස හැඳින්වෙන බිම්වල. ඒ වගේම මේ වනාන්තර මහා වනාන්තරයත් එක්ක සම්බන්ධයි. මේ නිසා අලි සිය සංචරණයේදී කොරිඩෝර හැටියට ඒවා පාවිච්චි කරනවා. එක් ජාතික උද්‍යානයක සිට අනෙක දක්වා මේ සතුන් මාරුවෙන්නේ මෙවැනි භූමි හරහා. යම් හෙයකින් මේ වනාන්තර විනාශ වෙනවා කියන්නෙ අලි-මිනිස් ගැටුමට විසඳුමක් සෙවීම අතිශයින්ම අසීරු සංකීර්ණ කාර්යයක් බවට පත්වෙනවා.’’

අපට ආවේණික සත්ව හා ශාක ජීවී විශේෂ බොහොමයක් මෙම වනාන්තර බිම් ආශ්‍රිතව දක්නට ලැබීම තවත් නිදසුනකි. රත්නපුර, කෑගල්ල, බදුල්ල, නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල අනෙකුත් වනාන්තර බිම් සාපේක්ෂව කුඩා වපසරියක විහිදී තිබිය හැකි වුවද මෙරටට ආවේණික ජීවී විශේෂවල පැවැත්ම සම්බන්ධයෙන් ඒවා තීරණාත්මක ලෙස වැදගත් බව ආචාර්ය සෙව්වන්දි ජයකොඩි පැහැදිලි කරයි.

‘‘මෑත වර්ෂ කිහිපයක් තිස්සේ හඳුනාගත් මෙවැනි ආවේණික විශේෂ සියල්ලම වගේ හඳුනාගත්තේ මේ දිස්ත්‍රික්කවලිනි. එයින්ම පැහැදිලි වෙනවා මේ කියන වනාන්තර තර්ජනයට ලක්වෙනවා කියන්නේ, මේ ජීවී විශේෂත් තර්ජනයට ලක්වෙන බව’’

මෙහිදී අවධානයට ලක්විය යුතු තවත් වැදගත්ම කාරණයක් නම් දැනට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් වී ඇති සංරක්ෂිත ප්‍රදේශවලින් බැහැර, ඉහළ ජෛව විවිධත්වයකින් යුතු මෙන්ම රැකගත යුතු බිම් පැවැතීමය. ඒ බොහොමයක් මෙම අනෙකුත් වනාන්තර බිම් බව ආචාර්ය සෙව්වන්දි ජයකොඩි පැහැදිලි කරයි.

වලාකුළු වනාන්තර

ලොව සුවිශේෂී වනාන්තර පද්ධතියක් ලෙස හැඳින්වෙන ‘‘වලාකුළු වනාන්තර’’ (Cloud forests) ශ්‍රී ලංකාවේද මුහුදු මට්ටමේ සිට මීටර් 1500ට වඩා ඉහළ කලාපයේ දැකිය හැකිය. මෙවැනි වනාන්තර ඇත්තේ ගෝලීය වනාන්තර භූමි ප්‍රමාණයෙන් 1%ක් වැනි සංඛ්‍යාවකි. ආචාර්ය සුරන්ජිත් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ එවැනි වනාන්තර පෙදෙස් 26-30 අතර ප්‍රමාණයක් ඇති බවය. ‘‘ජෛව විවිධත්වය අතින් බැලුවත් ජලමාන විද්‍යාත්මක අතින් බැලුවත් මේ වලාකුළු වනාන්තර ඉතාමත් වැදගත්. අනෙක් වනාන්තර වගේ මේවායේ භූගත ජලය ඇති තරම් ඇත්තේ නෑ. ඒ නිසා මේ වනාන්තර හැඩගැහිලා තියෙන්නේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ආකර්ෂණය කර ගැනීමට පුළුවන් විදිහට. මේවාට වලාකුළු වනාන්තර කියන්නෙත් ඒ නිසා. මේ වනාන්තරවල බොහෝ ශාකවලට වගේම සත්ත්ව විශේෂවලටත් ඒ හැකියාව තියෙනවා. නකල්ස්, හෝර්ටන්තැන්න, හග්ගල, ශ්‍රීපාදය ආශ්‍රිත වනාන්තර මේ වර්ගයට අයත්. මේ වලාකුළු වනාන්තර ආශ්‍රිතවත් ‘අනෙකුත් වනාන්තර’ තියෙනවා. වලාකුළු වනාන්තරවලට ඇති සුවිශේෂීම හැකියාව වලාකුළුවලින් ජලය අවශෝෂණය කර ගැනීමට ඒවාට ඇති හැකියාව. මේකට අතරමගදී මීදුම ග්‍රහණය කර ගැනීමට ඇති හැකියාව කියල කියන්න පුළුවන්. සරලව කිව්වොත් ‘වලාකුළු අල්ලා ගැනීම, විශේෂයෙන් වියළි කාලයේදී මෙය සුවිශේෂී පරිසර ක්‍රියාවලියක්.’’

ආචාර්ය සුරංජන් පෙන්වාදෙන පරිදි නිදසුනක් ලෙස නකල්ස් වනාන්තරය ආශ්‍රිත වලාකුළු වනාන්තරවලින් එලෙස ග්‍රහණය කර ගන්නා වාර්ෂික ජල ධාරිතාව කියුබික්ස් මීටර් මිලියන 82කි.

‘‘ඒ කියන්නෙ, අනෙකුත් වනාන්තර විනාශවීමත් එක්ක වලාකුළු වනාන්තරවල මේ ක්‍රියාවලියට තීරණාත්මක බලපෑමක් ඇතිවෙනවා. මෙරට ගංගා ද්‍රෝනි හා එම ජලවහන රටාව දෙස බලනවිටද මේ කියන ‘අනෙකුත් වනාන්තර’වලට ඇති වැදගත්ම කිසිසේත් නොසලකා හැරිය නොහැකිය.

‘‘අපේ කඳුකරය තියන්නෙ රටේ මැදට වෙන්න. කඳුකරයෙන් ආරම්භ වෙන ගංගාවේ භූගෝලීය පිහිටීම නිසා රට පුරා නොයෙක් අතට ගලා බසිනවා. වසර පුරාම හොඳ ජල වහනයක් තිබීමටත් මේ බිම් ආරක්ෂාවීම වැදගත්. උදාහරණයක් හැටියට මහවැලි ගඟ ගත්තොත් එය මුහුදට වැටෙන්නෙ වියළි කලාපයෙන්, ඒත් ගංගාව පෝෂණය වෙන්නෙ තෙත් කලාපයෙන්. මේ ගංගා ද්‍රෝනි ආශ්‍රිතව අනෙකුත් කැලෑ කියන මේ වනාන්තර විශාල ප්‍රමාණයක් පිහිටා ඇති බව පැහැදිලිවම පෙනෙනවා’’

ඒ ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මෙහි ඇති තවත් වැදගත්කමක් පෙන්වා දෙන අයුරුය.

ආචාර්ය සුරංජන් ප්‍රනාන්දු දක්වන පරිදි, මහවැලි නදිය මෙන්ම වළවේ නදිය ද වියළි කාලයේදී කඳුකරයෙන් පෝෂණය ලබන්නේ වලාකුළු වනාන්තර මගින් අවශෝෂණය කරගන්නා ජලයද උපයෝගී කර ගනිමිනි.

කැලෑ කපන්න ඉඩ දෙන්නෙ නෑ

01/2020 චක්‍රලේඛය නිකුත් කළ වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සමග ‘වියත්මග’ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේ, ජල පෝෂක ප්‍රදේශ, වන අලි සංක්‍රමණය වන භූමි, ජෛව විවිධත්වය ඉහළ බිම්, වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සතුන් හඳුනාගන්නා ප්‍රදේශ, ආපදා අවදානමක් සහිත භූමි, වනගහනය වැඩි කිරීමට යොදාගන්නා බිම් ආදිය මේ යටතේ පැවරීමක් සිදුනොවන බවය. පවරනු ලබන ඉඩම්වල අයිතියද රජය සතුවන බවද ලේකම්වරයා පවසයි. ඉඩම් අමාත්‍යාංශය යටතේ ඉඩම් කොමසාරිස් නිකුත් කරන චක්‍රලේඛය යටතේ මෙම අවශේෂ කැලෑ වෙනුවෙන් වඩා සුදුසු ප්‍රායෝගික වැඩපිළිවෙළක් සම්පාදනය වනු ඇති බව ඔහු පවසා තිබිණි. එම චක්‍රලේඛයද මේ වනවිට නිකුත් වී තිබේ. ලේකම්වරයා අවධාරණය කර ඇත්තේ 1/2020 චක්‍රලේඛය හේතුවෙන් කැලෑ කැපීමට නම් ඉඩ නොදෙන බවය. ඉත්තක්වත් කැපීමට ඉඩදිය නොහැකි බව සහ එක් සතකුට හෝ හානිවීමට ඉඩදිය නොහැකි බවද ඔහු පවසා තිබිණි.

පරිසරවේදීන් කියන දේ

පරිසරවේදීන් පෙන්වාදෙන අන්දමට මෙම වනාන්තර බිම් රැක ගැනීමට නම් ඒවා තවදුරටත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේම තිබිය යුතුවීම වැදගත්ය. එහෙත් දැන් එය ගිලිහී ගොසිනි. මෙම බිම් ඉඩම් අමාත්‍යාංශයට පැවරීමෙන් වනාන්තරවල ආරක්ෂාව සිදුනොවන බව ඔවුහු පෙන්වා දෙති. මෙම ව්‍යාපෘති සාර්ථකවීමට මෙන්ම අසාර්ථකවීමටද පුළුවන. අසාර්ථකවීම මෙම ඉඩම් විනාශවීමය, ඒවා මුඩුබිම් බවට පත්වීමය. 5/2001 චක්‍රලේඛය යටතේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට මෙම ඉඩම් පැවරී විසි වසරකට ආසන්න කාලයක් ගතවී තිබුණද සුදුසු ප්‍රදේශ හඳුනා ගනිමින් ඒවා රැක ගැනීම සඳහා ගැසට්වලින් ප්‍රකාශයට පත් කිරීම සිදුනොවීය.

මේ කවර ක්‍රියාමාර්ගයකින් වුවද රටේ පවතින පාරිසරික චිරස්ථායිභාවයට හානි නොවන බවට වගබලා ගැනීම වැදගත්ය. එසේ නොවුණහොත් එම ප්‍රතිඵල දැනෙනු ඇත්තේ තවත් වසර කිහිපයක් ගතවූ පසුවය. අප එවැනි තත්ත්වයකට යා යුතු නැත.

ආචාර්ය සුරංජන් පෙන්වාදෙන අන්දමට, රටේ කෘෂිකර්මාන්තය නැංවීම වැනි කාරණා සමග පරිසරවේදීන්ද එකඟය. එහෙත් පළමුව කළ යුතු වන්නේ දැනටමත් කෘෂිකර්මය සඳහා යොදාගෙන ඇති බිම්වලින් ඵලදායී ලෙස එම කාර්යය ඉටු නොවන බිම් හඳුනා ගනිමින් බව ඔහු පවසයි. එවැනි බිම් විශාල ප්‍රමාණයක් තිබේ. ඇතැම් බෝග වර්ග කාලයකට හොඳටම හිඟ වන අතර තවත් කාලයකට ඉවත දැමීමට තරම් සුලබය. එසේ නොවන අයුරින් වසරේ සෑම කාලයකම හිඟයකින් තොරව ලබාගත හැකිවන පරිදි තාක්ෂණය භාවිත කිරීම වැනි ක්‍රියාමාර්ග කරා යොමුවීම කෘෂිකර්මාන්තය දියුණු කිරීමට කළ යුතු බව ඔහුගේ අදහසය. එවැනි පියවර නොගෙන කොපමණ වගා කළද ඵලක් නොමැත.

ආචාර්ය සුරංජන් පෙන්වා දෙන්නේ 1/2020 චක්‍රලේඛය මගින් පාරිසරිකව වැදගත් වනාන්තර බිම් සංරක්ෂණය ගැනද කතා කළද එය කිරීම සඳහා ක්‍රමවේදයක් නොදැක්වෙන බවය. මෙවැනි වනාන්තර බිම් පෙදෙසක දුර්ලභ ශාකයක් හෝ සත්ත්වයකු සිටින බවට වෙනත් පාර්ශ්වයකට දැනුමක් ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ඔහු පෙන්වාදේ. ප්‍රාදේශීය ලේකම් හෝ ග්‍රාම නිලධාරී මගින් ඔවුන්ට පැවරී ඇති රාජකාරි ප්‍රමාණයද සමග මේ බිම් රැකබලා ගැනීමටද සිදුවෙතැයි අපේක්ෂා කිරීම කළ නොහැක්කක් බව ඔහුගේ අදහසය. එසේනම් එය කළ හැකි පිරිස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේම ඒවා තිබීම සුදුසුය. අවම තරමින් මෙම අනෙකුත් වනාන්තරවල ඇති වටිනා බිම් හඳුනා ගනිමින් ඒවා තවදුරටත් ආරක්ෂිතව තබා ගනිමින් සෙසු බිම් කොටස් පැවරීම විය යුතුව තිබිණි.

1/2020 චක්‍රලේඛය පිළිබඳ පරිසර යුක්ති කේන්ද්‍රයද සිය අප්‍රසාදාත්මක විමතිය පළකර ඇත. චක්‍රලේඛයට අනුව වනාන්තර ඉඩම් ආර්ථික හෝ වෙනත් ඵලදායී කාර්යයන් සඳහා යොදා ගැනීම පිළිබඳ දැක්වෙන බැවින් ඉන් අදහස් කෙරෙනුයේ, වනාන්තර ඉඩම්’ වනාන්තර නොවන ඉඩම් භාවිතයක් බවට බව පවසන එම කේන්ද්‍රය, ඒ නිසාම මේ යටතේ බැහැර කරන කිසියම් වනාන්තර ඉඩමක් වේනම්, සංශෝධනය කරන ලද 1988 අංක 56 දරන ජාතික පරිසර පනතට අනුව අදාළ බැහැර කිරීම හේතුවෙන් සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳ තක්සේරුවක් කළ යුතු බවද අවධාරණය කරයි.

1993 ජුනි 18 වැනි දින නියම කළ ව්‍යාපෘති ලැයිස්තුවට අනුව, හෙක්ටයාර් 5ට වැඩි භූමි ප්‍රදේශ ආවරණය වන පරිදි දැව නිස්සාරණය කිරීම, හෙක්ටයාර 1ට වැඩි වනාන්තර ප්‍රදේශයන් වනාන්තර නොවන පරිහරණය සඳහා පරිවර්තනය කිරීම, හෙක්ටයාර 50ට වැඩි වනාන්තර භූමි ප්‍රදේශයක් හෙළි පෙහෙළි කිරීම ඇතුළු තවත් ක්‍රියාවලි රැසක් සඳහා පාරිසරික බලපෑම් තක්සේරු කරණයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බවද පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දී ඇත.

මෙවැනි සාධක ඔස්සේ සලකා බලන විට පරිසරවේදීන්ගේ ඉල්ලීම 1/2020 චක්‍රලේඛය අවංගු කරන ලෙසය. එමෙන්ම මෙම වනාන්තර බිම්වලින් වටිනා වනාන්තර හඳුනාගෙන ඒවා කඩිනමින් රැක ගැනීමට යාන්ත්‍රණයක් ඇතිකරන අතරම එහිදී හඳුනාගන්නා එවැනි පාරිසරික වටිනාකමින් අඩු අනෙකුත් ඉඩම්, ඉඩම් අමාත්‍යාංශය වෙත පැවරීමය. අද ගනු ලබන තීරණ අනාගතයේදී පසුතැවීමට හේතු නොවන අයුරින් හා තෘප්තිමත් ප්‍රතිඵල ළඟාකරගත හැකි අයුරින් වීමට නම් ඒවා අදූරදර්ශී විය යුතු බවට ඉතිහාසය පාඩම් උගන්වා ඇති බව අපි අමතක නොකළ යුතු වෙමු.

•ධම්මික සෙනෙවිරත්න