කතුවැකි

පරිපාලන සේවයේ ප්‍රවීණත්වය කුමක් සඳහාද?

අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස විශ්‍රාමික හෝ සක්‍රිය සේවයේ නියුතු හමුදා නිලධාරින් පත් කිරීම පරණ මාතෘකාවක් වුවත් ඉන් ඇති කළ කතාබහ තවමත් නිමා වී නැත. අමාත්‍යාංශ ලේකම් ධුරවලට පත් කළ යුත්තේ පරිපාලනය පිළිබඳ ප්‍රවීණයන් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද මේ ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබිණ. තම සේවාවෙන් පිටත අය, තමන්ට හිමි තනතුරුවලට පත් කිරීම ගැන පරිපාලන නිලධාරින්ගේ සංගමය විවෘතව අදහස් පළකොට නැත. එහෙත් ඔවුන්ද මේ ගැන එතරම් සතුටක් නොමැති බව පැහැදිලිය.

හිටපු හමුදා නිලධාරියකු ජනාධිපති වූ රටක අමාත්‍යාංශ ලේකම් වැනි ඉහළම පරිපාලන තනතුරුවලටද හමුදා නිලධාරින් පත් කිරීම ඇතැමෙකු දකින්නේ රට මිලිටරිකරණය වීමක් ලෙසය. මේ සියලු කාරණාවල සත්‍යතාවක් තිබිය හැකිය. ඒ, මේ නිසා විය හැකි නරක දේවල් ගැන පමණක් සිතන විටය. සිදුවිය හැකි හොඳක් ගැන මේ අය කතා කරන්නේම නැත. වැදගත්ම කාරණය වන්නේ සිදුවිය හැකි නරක ගැන පමණක් කතා කරන කිසිවකු පරිපාලන සේවයට පිටස්තරයන් එහි තනතුරුවලට පත් කරන්නට සිදුව ඇත්තේ කුමක් නිසාදැයි කතා නොකිරීමය.

මෙයට හේතුව ඉතාම සරලය, නිරවුල්ය. පරිපාලන සේවය බමුණු කුලයක් යැයි සිතා සිටින නිලධාරින් එය රැකීම මිස, ඉටුවිය යුතු රාජකාරියට මුල් තැන දී කටයුතු නොකිරීමය. පරිපාලන සේවය පමණක් නොව ලිපිකරු සේවය, වෛද්‍ය සේවය මේ ආදී ඕනෑම සේවයක් පැවතිය යුත්තේ එම සේවාව වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙනි. එහෙත් යමෙකුගෙන් එම වගකීම ඉටු නොවන්නේ නම් ජනතාව පත් කළ ආණ්ඩුවකට කළ හැක්කේ කුමක්ද? ජනතාවට වගකීම්, රාජකාරී ඉටු නොකිරීම නොතකා සිටීමද, නැතහොත් කළ හැකි අයකු ලවා ඒ වගකීම ඉටුකරවා ගැනීමද?

අමාත්‍යාංශ ලේකම්වරුන්, පරිපාලන සේවා නිලධාරින්ද, නැතහොත් හමුදා නිලධාරින්ද, උගතුන්ද, බුද්ධිමතුන්ද යන්න ජනතාවට වැදගත් නැත. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමය. ඒ අනුව පරිපාලන තනතුරුවලට යුද හමුදා නිලධාරින් පත්කිරීම ගැන කවුරුන් කුමක් කීවත් මේ රටේ බහුතර ජනතාව නම් සතුට පළකරනු නියතය. රාජ්‍ය පරිපාලන සේවය ඒ තරමට රටේ ජනතාවට තිත්ත වී ඇති නිසාය.

අපේ රාජ්‍ය පරිපාලන සේවය හා අනෙකුත් බොහෝ රාජ්‍ය ආයතන අතර වෙනසක් නැත. වෛද්‍යවරුන් සැලකිලිමත් වන්නේ රෝගීන්ගේ ප්‍රතිකාර සේවා ගැන නොව ඔවුන්ගේ වෘත්තීය මහන්තත්ත්වය ගැනය. විදුලිබල මණ්ඩලය සොයන්නේ ජනතාවට විදුලිය සැපයුම ගැන නොව ආයතනය පවත්වාගැනීම හා දීමනා ගැනය. බැංකු හැම විටම උත්සාහ කරන්නේ පොඩි මිනිසාගේ සල්ලි ටික ලබාගෙන ඔවුන්ට ණයක් නොදී සිටින්නටය. මේ ආකාරයට පරිපාලන සේවයටත් අවශ්‍ය, ජනතාවට සේවය සැලසීම නොව නීති රෙගුලාසි රැක ගැනීමය. පරිපාලන රෙගුලාසි හෙවත් ඒ. ආර්. හා මූල්‍ය රෙගුලාසි හෙවත් එෆ්. ආර්. දේව වාක්‍ය සේය.

ඕනෑම ආණ්ඩුවක් තීන්දු තීරණ ගනු ලබන්නේ ජනතාවගේ හිත සුව පිණිසය. තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුකූලව, රටේ දියුණුව වෙනුවෙනි. එහෙත් ආණ්ඩුව විසින් ගනු ලබන මේ ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක කළ යුත්තේ නිලධාරින් විසිනි. මේ නිසා ආණ්ඩුවක පැවැත්ම හෝ විනාශය තීන්දු කිරීමේ මහා බලයක් රාජ්‍ය නිලධාරින් සතුව තිබේ. එසේ වුවත් තමන්ගේ පැවැත්මට හෝ තම නිලධාරි පන්තියේ පැවැත්ම උදෙසා මෙම බලය භාවිත කිරීමට ඔවුන්ට නොහැකිය. තමන් පෞද්ගලිකව කැමැති වුවත්, අකැමැති වුවත් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් ගැලවීමට ඔවුන්ට නොහැකිය. ආණ්ඩුවක ප්‍රතිපත්ති හා තීරණ නුසුදුසු නම්, රටට හෝ ජනතාවට නොගැළපේ නම් ඒ ගැන තීරණය කළ යුත්තේ නිලධාරින් නොව ජනතාවය.

හයෙන් පහක බලයක් සමග 1977 දී බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂයට වසර 17 කින් පසුව හෝ ගෙදර යන්නට වූයේ ඒ අනුවය. වසර 30 ක යුද්ධය අවසන් කර රටට සාමය උදාකළ රාජපක්ෂ පාලනය වසර 05 කදී අවසන් කරන්නට ජනතාව තීරණය කළේ ඒ අනුවය. දේශපාලකයන්, රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් එසේ වුවත් වැරදි කරන රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ජනතාවට කළ හැකි දෙයක් නැත.

දේශපාලකයන්, සාමාන්‍ය ජනතාවගේද, ඊනියා සිවිල් සමාජයේද, මාධ්‍යවලද ඉලක්ක බවට පත් වූවත් නිලධාරින්, ඔවුන්ගේ ඉලක්ක බවට පත්වන්නේ කලාතුරකිනි. රාජ්‍ය නිලධාරින් වැරදි නොකරන්නේ යැයි ඉන් කියැවෙන්​නේ නැත. දේශපාලකයන් සේම කොමිස් ගන්නා, වෙනත් ප්‍රතිලාභ ලබා ගන්නා ජනතා මුදල් ගසා කන්නා රාජ්‍ය නිලධාරින් කොතෙක් වේද? අල්ලස් දැලට හෝ මාධ්‍යයේ ඇසට ඉඳහිට හාල්මැස්සෙකු දෙන්නෙකු අසු වුවත් තෝරුන්, මෝරුන් හසුවන්නේ එහෙමත් අවස්ථාවකය.

සෑම රාජ්‍ය නිලධාරියකුම හොරෙකු නොවන නමුත් සමස්තයක් ලෙස අපගේ රාජ්‍ය සේවයම අකාර්යක්ෂම බව කවුරුත් පිළිගන්නා කාරණයකි. මේ අකාර්යක්ෂමතාව රාජ්‍ය සේවය තුළ පවතින විනාශකාරී වෛරසයක් වැනිය. කොයිතරම් දක්ෂ, අවංක නිලධාරියකුට වුව එය ආසාදනය වීමට වැඩි කලක් ගත වන්නේ නැත. රාජ්‍ය සේවය මේ තරම් අකාර්යක්ෂම වන්නේ ඔවුන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තම වගකීමක් කර නොගන්නා නිසාය. මේ නිලධාරින් නිසා රටේ වැඩ කොතරම් අතපසු වන්නේද? ප්‍රමාද වන්නේද? සොරකම, වංචාවට දඬුවම් කරන්නට මාර්ග ඇතත් මේ අකාර්යක්ෂමතාවට, නොසැලකිල්ලට, නොතකා හැරීමට, ඔවුන් ලබන දඬුවමක් තිබේද? රාජ්‍ය සේවය දිගින් දිගටම ඇල්මැරුණු, අකාර්යක්ෂම, හුදු බමුණු කුලයක් බවට පත්ව තිබෙන්නේ මේ නිසාය.

රාජ්‍ය නිලධාරින් කොයිතරම් අකාර්යක්ෂම වුවත්, වංචනිකයන් වුවත් තම විශ්‍රාම වයසට එනතෙක් සුවසේ මහජන මුදලින් නඩත්තු වන්නට හැකිය. විශ්‍රාම ලබාගත් පසුද දැරූ තනතුරේ ආනුභාවයෙන් පෞද්ගලික අංශයේ උපදේශක වැනි ඉහළ තනතුරු ලබන්නට ඔවුහු වාසනාවන්ත වෙති. තවත් අය දේශපාලකයන් පසුපස ගොස් ආණ්ඩුවේම තවත් ඉහළ නිලතල ලබා ගනිති.

රනිල් වික්‍රමසිංහට අනුව ඔවුන්ගේ පරිපාලනයේ ප්‍රවීණත්වය ඇත්තේ මහජන සේවය සඳහා නොව ඒ සඳහාය.