විශේෂාංග

පරාද වුණාට පස්සෙයි මම අමනුස්සයෝ හඳුනාගත්තේ

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් වී මේ වන විට තුන් මසක් ගෙවී යයි. ඉතාමත් ආන්දෝලනාත්මක සිදුවීම් රාශියක් මැද එතුමාට රාජ්‍ය විචාරීමට සිදු විය. ගෙවී ගිය කාලයත්, අනාගතයේ කවර දේශපාලන භූමිකාවකට පණ පොවන්නේද යන්න දැන ගැනීමටත් එතුමා අපට ඉඩහසර විවර කර දුන්නේය. මේ එතුමා සමග කළ සාකච්ඡාවයි.

ඔබ ජනාධිපති ධුරයට පත්වීම මේ රටේ දේශපාලනයේ විශේෂ අවස්ථාවක්. වසර පහක ඔබේ ධුර කාලය ඉතාම විවාද සම්පන්න වූවක්. හිටපු ජනාධිපතිවරයා ලෙස ඔබේ අදහස කුමක්ද එම කාලය ගැන?

මගේ දේශපාලන ජීවිතයට දැන් වසර 52 ක්. ඒකෙන් වසර 26 ක් පාර්ලිමේන්තුවේ. 2015 ජනවාරි 09 දා ඉඳන් 2019 නොවැම්බර් 18 දා තෙක් වසර පහකට ආසන්න කාලයක් ජනාධිපති ලෙස කටයුතු කළා.

මම වාම ප්‍රගතිශීලී දේශපාලන මතවාදයක් දරන දේශපාලන දර්ශනයක් විදියට සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කෙනෙක්. මාව පොදු අපේක්ෂකයා කරනවා කිව්වම ඒක බාර ගත්තේ මගේ ප්‍රතිපත්තිය හා දර්ශනය තුළ රටට විශාල වැඩකොටසක් කිරීමේ අරමුණෙන්.

ස්වදේශිකවාදී චින්තනයක් මත අපේකම පෝෂණය කරමින් පිරිසුදු දේශපාලන රාජ්‍ය පාලනයක් කරන්න උත්සාහ කළත්, මාව බලයට පත් කරපු අයට අවශ්‍ය වුණේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න.

ඔබ කවුරුත් දන්නවා මම දූෂණයට විරුද්ධ කෙනෙක් බව. නමුත් ආණ්ඩුව පත්වෙලා මාස දෙකක් යනකොට මහ බැංකු බැඳුම්කර හොරකම සිද්ධ වුණා. එතැන සිටම රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතර බරපතළ ගැටුම් ඇති වුණා. එතුමා පාර්ලිමේන්තුවට ගිහින් කිව්වා එහි වගකීම භාර ගන්නව කියලා. බැඳුම්කර ගනුදෙනුවේ කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා. නමුත් ජනමතයක් ගොඩ නැගුණා, ඊට එරෙහිව. එතකොටයි මම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසම පත් කළේ. එතැනදී පෙනී ගියා එක්සත් ජාතික පක්ෂයේ අය මේකට ඈඳී තිබෙන බව. මම වසර හතරකට වැඩි කාලයක් ආණ්ඩුව ඇතුළේ ඒ විදියට දූෂණයට එරෙහිව සටන් කළා. රට පාවාදීම්වලට එරෙහිව කටයුතු කළා. ආර්ථික කළමනාකරණයේ තිබුණු වැරදි දේට විරුද්ධ වුණා.

ඔබේ ආණ්ඩුව මහ බැංකු අධිපති ලෙස පත් කළේ විදේශිකයෙක්. අගමැතිවරයාගේ මිතුරෙක්. ඒ අවස්ථාවේ ඔබ කල්පනා කළේ නැද්ද එය උචිත නැති බව?
ඇත්තටම ගැටුම පටන් ගත්තේ එතැනින්. මේ පත් කිරීමට මම බලවත් ආකාරයට විරුද්ධ වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතා තදින් කියා සිටියා ඔහුව පත් කළ යුතු බව. ආණ්ඩුව බලයට පැමිණි වහාම ගැටුම් ඇතිකර ගැනීම නොගැළපෙන දෙයක්. ඒක ප්‍රායෝගිකත් නෑ. ඒ වගේම මාව ජනාධිපති කළේ එක්සත් ජාතික පක්ෂය. මේ කාරණා නිසා මම අගමැතිවරයාගේ ඉල්ලීමට ඉඩ දුන්නා.

ඔබ කිව්වා ආණ්ඩුව ඔබේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන්න බාධා කළා කියලා. නමුත් ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබුණේ ඔවුන් මිසක් ඔබ නෙවෙයි?

මම වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. විද්‍යාත්මක ආකාරයට ඇමැති මණ්ඩලයක් පත් කරන්නත් මම සැලසුමක් ඉදිරිපත් කළා. ඒ සැලසුම හැදුවේ මහාචාර්යවරුන් කණ්ඩායමක්. නමුත් අගමැතිවරයා ඒක බලන්නෙවත් නැතුව උසස් අධ්‍යාපන හා මාර්ග වගේ විෂයයන් එකට දාලා ඇමැතිකම් බෙදුවා. ඒකත් අප දෙදෙනා අතර ගැටුමක් ඇති වන්නට හේතුවක්. ඉන්පස්සෙත් ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කරමින්, ඒ නිසා ගැටුම් ඇති කර ගනිමින් මම මගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න මගෙන් පහළ කවුරුත් නැහැ. අගමැති හා ඇමැති මණ්ඩලයේ බලය අනිත් පැත්තට.

ඔය වාගේ ගැටුම් මැද වැඩ කළත් රට වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වුණා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් මාධ්‍ය නිදහස මං ගැන මොන විවේචන තිබුණත් බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ අන්තර්ජාතික සබඳතා ශක්තිමත් වූයේ මාගේ කාලයේ. නැගෙනහිරද, බටහිරද, කිසි භේදයක් නැතිව ඔබාමා, පුටින්, ෂී ජින් පින් හැමෝම මේ රට පැත්ත බලන තත්ත්වයකට ගන්න පුළුවන් වුණා. මගෙන් පහළ අය ප්‍රයෝජනයක් ගත්තේ නැති වුණාට මම ලෝකේ වටේ ගිහින් රටේ සංවර්ධනයට විශාල ආයෝජන ප්‍රමාණයක් ගෙනාවා. මේ නිසා ගැටුම් තිබුණත් මගේ පාලනය තුළ රටට යමක් කරන්න පුළුවන් වුණා කියන තෘප්තිය මට තියෙනවා. මගේ අන්තිම සති දෙකේ මේ රටේ පැවැත්මට වැදගත් වෙන ගැසට් පත්‍ර 62 කට පමණ අත්සන් කළා. එක ගැසට් එකකින් සිංහරාජයට අලුතින් අක්කර දහස් ගණනක් එකතු කළා. සෝමාවතිය, ශ්‍රීපාද අඩවිය වාගේම මඩු දේවස්ථානය එතෙක් පූජා භූමි හැටියට තිබුණත් ඒවාට විශාල ඉඩම් ප්‍රමාණයක් ලැබෙන හැටියට ගැසට් කළා. අවුරුදු 736 ක් පරණ රත්නපුර සමන් දේවාල පෙරහර ජාතික උරුමයක් කළා. ජනාධිපතිකමට වාගේම පරිසර ඇමැතිකමටත් මම ආදරය කළා. ඒ නිසයි මේ වාගේ කැපකිරීමක් කළේ.

ජාත්‍යන්තර සබඳතා වර්ධනය වුණා කිව්වට, මේ රට පාවා දුන්නු බවට එදා සිටි විපක්ෂයෙන් බරපතළ චෝදනාවක් එල්ල වුණා?

ඔව්. ඒ පාවාදීම් වළක්වා ගන්න පුළුවන් වුණෙත් මගේ විරුද්ධ වීම් නිසා. හම්බන්තොට ගිවිසුමට මගේ සම්බන්ධයක් නෑ. ඒවා මාත් එක්ක කතා කළේ නෑ. මම සිංගප්පූරු ගිවිසුම නැවැත්තුවා. ඇත්තටම රට මීට වඩා ප්‍රපාතයකට යනවා මම විරුද්ධ නොවුණා නං. ඒ ගැන මට තෘප්තියක්, සතුටක් තියෙනවා.

ඔබතුමා ඔය විදියට අසරණ වුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා. ඒ සංශෙෘ්ධනය ගෙන ඒමට ඔබගෙන් විශාල වැඩකොටසක් ඉටුවුණා නේද?

ඔව්. 19 ට මහින්ද රාජපක්ෂ මහත්තයගෙ පැත්තෙනුත් ඡන්දෙ දුන්නනෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආසන 42, මහින්ද මහත්තයාට ආසන 142 . මම ජනාධිපතිවෙලා සතියෙන් පක්ෂය මට භාර දුන්නා.

කොහොම වෙතත් ඒ ආශිර්වාදය මට ශක්තියක් වුණා. පළමුවෙනි වර්ෂයේදී වැඩ කරගෙන යන්න. අපට අණපනත් සම්මත කරගන්න පුළුවන් වුණේ ඖෂධ පනත, සිගරට් පැකට්වල රූපමය අවවාදය, ඒ වගේම 19 වැනි සංශෝධනය වගේ තුනෙන් දෙකක් ඡන්ද අවශ්‍ය හැම පනතක්ම අපිට සම්මත කර ගන්න පුළුවන් වුණේ ආසන 142 ක් තිබුණු මහින්ද මහත්තය සහය දුන්න නිසා.

නමුත් ඔබ පසු කලෙක ප්‍රකාශ කළා, 19 කියන්නේ කුමන්ත්‍රණයක් බව?

මම ඒක අදත් කියනවා. 19 කියන්නේ දේශපාලන කුමන්ත්‍රණයක්. 19 තුළින් සිද්ධ වුණේ ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමට වඩා බලය තියෙන නායකයන් තුන් දෙනෙක් ව්‍යවස්ථානුකූලවම බිහිවීම. ජනාධිපති, අගමැති හා කථානායක විදිහට. කථානායකට සුපිරි බලයක් ලැබිලා තියෙනවා. මුළු රාජ්‍ය තන්ත්‍රයම මෙහෙයවීමේ බලය 19 න් ආවේ කථානායකට. ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන වුණේ නෑ. ස්වාධීන කොමිෂන් සභා සම්පූර්ණයෙන් ක්‍රියා කළේ කරු ජයසූරියට අවශ්‍ය ආකාරයට. කොමිෂන්වලට පත් කිරීම් වගේම අනෙක් ආයතනවලට පත් කිරීම් සිද්ධ වුණෙත් ඒ විදිහට.

ඊළඟට 19 සම්මත කරපු ආකාරය බලන්නකෝ. දවස් දෙකක් විවාද කළා, පාර්ලිමේන්තුවේ. දෙවැනි දවසේ ඡන්ද විමසීම පැය දෙකක් කල් දැම්මා තිබුණ සංශෝධන සඳහා. ඒ කෙටි කාලේ මේ සංශෝධන කළේ ව්‍යවස්ථා විශාරදයන්ගේ උපදෙස් අනුව නෙවේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන අයට අවශ්‍ය ආකාරයට. මේක රනිල් වික්‍රමසිංහ හා NGO නඩය කරපු කොළේ වහලා ගැහීමක්. ඒ නිසා රට කඩා හැලෙන තත්ත්වයකට පත් වුණා.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහායත් ලැබුණා. දැන් ඔහු පත්වෙලා මාස තුනයි. කුමක්ද ඔබේ තක්සේරුව, මේ කාලය තුළ ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ කටයුතු ගැන?

මේ කාලය තුළ මට පෙනී ගිය දෙයක් තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලොකු උත්සාහයක් ගන්න බව පේනව රට පැත්තකට ගෙනියන්න. ඒ නිසා මගේ ප්‍රතිපත්තියත් කොන්දේසි විරහිතව ඔහුට සහාය දීම. මමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කොන්දේසි විරහිතව ජනාධිපතිතුමාව ශක්තිමත් කරන්න සහය දෙනවා. මොකද කවදාවත් තනි කෙනකුට බැහැ රටක් ගොඩනගන්න. ජනාධිපතිට වුණත්, අගමැතිට වුණත්, රටක් ගොඩනගන්න සාමූහික ප්‍රයත්නයක් තියෙන්න ඕනේ. ජනාධිපති, අගමැති, ඇමැතිවරු, පාර්ලිමේන්තුව, රාජ්‍ය නිලධාරින් වගේම පොදු ජනතාව මේ හැමෝගෙම කැපවීමක් තියෙන්න ඕනේ.

අපි කාටත් රහසක් නොවේ අද මේ රටේ තියෙන ආර්ථික අර්බුදය. ඒ තත්ත්වය බරපතළ වෙලා තියෙනව කොරෝනා රෝගය නිසා. කොරෝනා නිසා ලෝකෙ බලවත් රටවලුත් අර්බුදයකට ගිහින් තියෙන්නෙ. මේ නිසා ඉදිරියේදී අපිට ලොකු අනතුරක් තියෙනවා. ඉතින් මේ රට ගැන හිතනව නං කවුරු හරි ජනාධිපතිතුමාට සහය දෙන්න ඕන.

ඔබ එහෙම කිව්වට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර තාමත් එකඟතාවක් නැහැ නේද? මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන්?
පක්ෂ දෙක අතර කිසිම ගැටුමක් නෑ. මාධ්‍ය විසින් මේවා නිර්මාණය කරන්න හැදුවට පක්ෂ දෙක අතර කිසිම ගැටුමක් නැහැ. ඔය සියලුම නායකයන් එක්ක මම ඉතාම මෑතකදීත් සාකච්ඡා කළා. දෙවැනි පන්තියේ, තුන්වැනි පන්තියේ සාමාජිකයෝ එක එක ප්‍රකාශ කරන්නේ නායක මට්ටමේ එකඟතාවන් ගැන දන්නේ නැතිව.
අනිත් එක තමා ජනාධිපතිවරණයට කලින් අපි ගිවිසුම් දෙකක් අත්සන් කළා. ගෝඨාභය ජනාධිපතිතුමා සමග සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග. ඉතින් ඒ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ගිවිසුම් අත්සන් කළාට පස්සේ ගෝඨාභය මහත්තයත්, මහින්ද මහත්තයත් දෙන්නම හැම රැස්වීමකදීම කිව්වා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අපි සමග එකතු වුණ නිසා අපේ ජයග්‍රහණය ස්ථිරයි කියලා.

ඒ කියන්නේ පක්ෂ දෙකේම සාමාජිකයන්ට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. එකටයි තරග කරන්නේ කියලා?

පැහැදිලිවම පුළුවන්.

ලකුණ ගැන ප්‍රශ්නයක් නැහැ?

ලකුණ මොකක් වුණත් කමක් නැහැ. සන්ධානය හැදෙන්නයි ඕනේ. අපි මැරෙනකොට ඕවා අරන් යන්නේ නැහැනේ. රට ගැනයි හිතන්න ඕනෙ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ තිබුණ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්. එනමුත් ඔබ ඒ පක්ෂය දියකරලා දැම්මා කියලා ඔබට චෝදනාවක් තියෙනවා?
මෙහෙමයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නොවේ. රනිල් වික්‍රමසිංහ මාවත් නැති කළානේ. රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙනකුට නඩු දැම්මා. අල්ලස් කොමිසමේ, නීතිපති හරහා අධිකරණවල. ඒ ඔක්කෝම නඩු හැදුවේ රනිල්ගේ අරලියගහ මන්දිරයේ තිබුණ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයෙන්. ඒකේ කව්ද හිටියේ කියලා දන්න අය දන්නවා.

ඔබ කියන්නේ මේ මන්ත්‍රීවරුන්ට නැගුණු චෝදනා පදනම් විරහිතයි කියලද?

දැන් බලන්න වාහනයක් අරං ගියා කියලා ෆවුසිට නඩුවක් දැම්මා. ඒ වාහනය නැතිවෙලා නැහැ. එක අමාත්‍යාංශයක ඉඳලා අනෙක් අමාත්‍යාංශයට ඒක ගෙනිහින් තිබුණා. ඊළඟට ප්‍රියංකර ජයරත්නගේ දුවට රස්සාවක් දුන්නා කියලා ඇමැතිට නඩු දැම්මා. ඔය වගේ හදපු, නිර්මාණය කරපු කාරණාවලට නඩු රාශියක් දාලා තියෙනවා. දූෂණ විරෝධී කාර්යාලයේ මේව කරලා මහින්ද මහත්තයට කියනවා ජනාධිපතිතුමා තමා මේව කරන්නෙ කියලා.

මගේ අතේ පොලිසිය නෑ. සී.අයි.ඩී එක නෑ, FCID එක නෑ. නීතිපති නෑ. ඒ ඔක්කොම ඒ ගොල්ලන්ගෙ අතේ. ඒවත් එක්කයි ඒගොල්ලො මේ සේරම කළේ.
ඔබ ඉදිරි මහ මැතිවරණයට තරග කරනවද?

පැහැදිලිවම තරග කරනවා, පොළොන්නරුවෙන්.

නමුත් ඔබේ දිස්ත්‍රික්කයෙන් ඒ ගැන විරෝධයක් පළවෙලා තියෙනවා නේද?

කොයි දේටද මේ රටේ විරෝධ නැත්තේ. දැන් දවස් කීපයකට කලින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ විරෝධතා හතයි. මේ දේශපාලන ලෝකේ විරෝධතා, සත්‍යග්‍රහ, සාමාන්‍ය දෙයක්. මේවා ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ.

ඔබේ පාලනයේ අවසාන කාලයේ මරණ දඬුවම බලාත්මක කරන්න විශාල උත්සාහයක් ගත්තා. නමුත් ඒකත් අසාර්ථක වුණේ අභ්‍යන්තර ගැටුම් නිසාද?
මම හතර දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න අත්සන් කළා. ඒකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය මගේ තීරණය වළක්වලා තීන්දුවක් දුන්නා. අදත් ඒ නඩුව ඉවර නෑ. කව්ද මේ නඩුව දැම්මේ. කුඩුකාරයන්ගේ නියෝජිතයෝ. ඒ වගේම කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ ඒ වෙලාවේ ආණ්ඩුවෙයි, විපක්ෂයෙයි නායකයෝ කිව්වා මරණ දඬුවම ක්‍රියාත්මක කරන එක වැරදියි කියලා. ඒත් මම අත්සන් කරපු හතර දෙනාට මරණ දඬුවම දුන්නා නම් මේ රටේ මත්කුඩු ජාවාරම පහළට වැටෙන්න තිබුණා. ඒක මගේ පරාජයකට වඩා ජාතියේ අවාසනාවක්.

ඔබත්, ආණ්ඩුවත් අතර ගැටුම්වල උච්ච ස්ථානය රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයෙන් ඉවත් කිරීම. ඔබ මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ලෙස පත් කරනවා. නමුත් ඔබේ ඒ තීරණය නීතියට පිටින් ගත්ත තීරණයක් කියලා උසාවිය තීරණය කරන්නෙ?

මම ඒ තීන්දුව ගත්තේ ලංකාවේ කීර්තිමත්, ඉහළම නීතිඥයන් කණ්ඩායමක උපදෙස් අරගෙන.

ඔබව පොදු අපේක්ෂකයා කිරීමේ සිට යහපාලන ආණ්ඩුවේ සියලු දේ මෙහෙයවූයේ තානාපති කාර්යාල විසින් කියලා චෝදනාවක් තිබුණා, එදා විපක්ෂයෙන්. ඔවුන් කිව්වේ මේක විදේශ කුමන්ත්‍රණයක් කියලා?

මාව පොදු අපේක්ෂකයා කිරීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියල කියන එක මම පිළිගන්නෙ නෑ. එහෙම කුමන්ත්‍රණයකට මම එකඟ වෙන්නෙත් නෑ, අහුවෙන්නෙත් නෑ. මහින්ද මහත්තයා ඡන්දය ප්‍රකාශයට පත් කරලා මැතිවරණ ව්‍යාපාරය පටන් අරගෙන තියෙන කොටත් යූඑන්පී එකට ඡන්දය දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් හිටියේ නෑ. 2010 ත් යූඑන්පී එකට අපේක්ෂකයෙක් හිටියේ නෑනේ. ඒ සැරේ හමුදාපතිව ගෙනාවා. 2015 ත් දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් හිටියේ නෑ. එතකොට තමා චන්ද්‍රිකාල, රාජිතල, සෝභිත හාමුදුරුවෝ වගේ කණ්ඩායමක් සාකච්ඡා කරල මාව තෝරා ගත්තේ.

ඔබ පොදු අපේක්ෂකයා කරන්න මුල්වුණු හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඔබත් එක්ක විරසක වුණේ කොහොමද?

එයා රනිල් වන්දනාවේ ගියානෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතෑරලා එයා මහා දූෂිත, රට පාවා දුන්නු මිනිහෙක් පස්සේ ගියා.

අද අපි මේ සාකච්ඡාව කරන ගේ අලුත්වැඩියාවට කෝටි අටක් රජයේ මුදල් වියදම් කළා කියලා චෝදනාවක් තියෙනව ඔබට? ඇත්තටම එහෙම වියදමක් ගියාද?

මොනවට වියදම් කරන්නද? මේ එකක්වත් මට හදපුවා නෙවේ. මේක කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා හිටපු ගෙදර. සුද්ධ පවිත්‍ර කරලා මම පදිංචියට ආවා.

මේ ගේ තියෙන තැනද වටින්නේ චන්ද්‍රිකා ඉන්න තැනද? ඒ ගේ තියෙන්නේ කොළඹ 7 ටොරින්ටන්වල. තක්සේරු කරලා බලන්නකෝ. අනිත් එක මට කලින් හිටපු ජනාධිපතිවරු පස් දෙනාටම ගෙවල් හම්බ වුණානේ.

1986 අංක 04 දරන ජනාධිපති හිමිකම් පනත කියලා ජේ.ආර්. පනතක් සම්මත කරලා තියෙනවා. ඒකේ පැහැදිලිව තියෙනව විශ්‍රාමික ජනාධිපතිවරයකුට කැබිනට් අමාත්‍යවරයකුට හිමි සියලු පහසුකම් දිය යුතුය කියලා. ඒ අනුව තමා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පස්සේ හැම ජනාධිපතිවරයකුටම ගෙයක් දුන්නේ.

කව්ද මේ ගෙට කෝටි ගණන් ගියා කියලා තක්සේරු කළේ. ඒක කවුරු හරි වාචාලකමට කියපු කතාවක්. අපි කොච්චර නෑ කිව්වත් මාධ්‍යවත් ඒවා ඇහුවේ නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයට මොකද වෙන්නේ?

අපි දැන් ආණ්ඩුවත් එක්ක වැඩ කරන්නේ. ඉතිං අපි කාටත් හොඳක් වෙයි කියලයි මම හිතන්නේ. අනිත් එක මේ රටේ 56 ඉඳලම සන්ධාන, පෙරමුණු ආණ්ඩු සංකල්පය තියෙන්නේ. ඒ නිසා ඉස්සරහටත් එකට එකතු වෙන්නේ නැතිව ආණ්ඩුව හදන්න බෑ, කාටවත්. අද යූඑන්පී එකත් සන්ධානයකට ගිහින් තියෙන්නෙ.

ජනාධිපති ධුරයේ අත්දැකීම් විඳපු ඔබ දැන් හිටපු ජනාධිපති කෙනෙක් විදියට ලබන අත්දැකීම් මොන වගේද?

ජනාධිපති ධුරයෙන් සමුගත්තට පස්සේ තමා මනුස්සයෝ හා අමනුස්සයෝ හොඳට තේරුම් ගත්තේ. මනුස්ස වේශයෙන් ඉන්න තිරිසන්නු තේරුම් ගත්තේ විශ්‍රාම ගත්තට පස්සෙ. ඒක පැහැදිලි වෙන්න ගත්තෙ අන්තිම මාසෙදී. ඒත් අපේ දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් නිසා ගාණක් නෑ. දිනලා තියෙනවා, පැරදිලා තියෙනවා. ඒවා හොඳට පුරුදුයිනේ. බැරිවෙලාවත් මම ඡන්දෙ ඉල්ලල පැරදුණා නං තත්ත්වය තවත් නරක් වෙනවා. අනිත් එක මම විශ්‍රාම යනකොට පක්ෂයක් විදියට දිනපු අපේක්ෂකයට සහය දීලා තිබුණා. ඒකත් එක හේතුවක්, විශ්‍රාම ගියාට පස්සේ එන පීඩාව අඩුවෙන්න.

ඔබෙන් පස්සෙවත් පවුලෙ කෙනෙක් දේශපාලනයට ඇතුළු වෙයිද?

තවම නෑ. 2025 න් පස්සේ තමා බලන්න වෙන්නේ. 2025 න් පස්සේ දේශපාලනය කරන්න මගේ අදහසක් නෑ. ඊට පස්සේ මගේ දරුවකුට වුවමනාවක් තිබුණොත් එයි. මම රටේ ජනාධිපති වෙලා හිටපු කෙනෙක්. ඉතිං මගෙන් පස්සේ මගේ දරුවෝ දේශපාලනයට එන එකේ වරදක් නෑනේ, නේද?

 

කුල ශ්‍රී කාරියවසම්