කතුවැකි

පරාක්‍රම සමුද්‍රය රැක ගන්නේ කොහොමද?

පොළොන්නරුව ඓතිහාසික පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම මහජන විරෝධය නිසා තාවකාලිකව අත්හිටුවා තිබේ. යෝජිත මං තීරුව ඉදිකිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ ගොවි සංවිධාන තිස් හයක් ඒකමතිකව තීරණය කළ බවට වූ පුවතක් අද අප පත්‍රයෙහි පළ වී ඇත. මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් විරෝධය පළ කර සිටියේ භික්ෂූන් වහන්සේලා පිරිසකි. ඒ පිළිබඳ පුවත් පළවූ පසු බුකිය හෙවත් ෆේස්බුක් අවකාශය තුළද මෙම විරෝධය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබෙනු දැකිය හැකිය.

කුමන හේතුවක් නිසා හෝ පරාක්‍රම සමුද්‍රයට හානියක් සිදුවන්නේ නම්, ඊට විරෝධය පළ කිරීමෙන් නොනැවතී එය වළක්වා ගැනීමට කටයුතු කිරීම අප කාගේත් යුතුකම හා වගකීමක්ද වේ. පරාක්‍රම සමුද්‍රය යනු එක් අතකින් අතීත ශ්‍රී ලංකා ශිෂ්ටාචාරයේ වර්තමාන සාක්ෂිකරුවෙකි. අනෙක් අතට හුදු පුරාවස්තුවක් බවට පත් නොවී එය අදටත් මේ රටේ අක්කර දහස් ගණනක් අස්වැද්දීමට දියවර සපයමින් සිටී. මේ අනුව කවරෙකු හෝ පරාක්‍රම සමුද්‍රයට අංශු මාත්‍රයකින් හෝ හානියක් කරන්නේ නම් එය සැලකිය යුත්තේ ජාති ද්‍රෝහී, දේශද්‍රෝහී පව්කාරකමක් ලෙසය.

එහෙත් මීට පෙර අනුරාධපුරයේ තිසා වැව, තිස්සමහාරාමයේ තිස්ස වැව, කුරුණෑගල වැව ආදී වැව්වලද ඇවිදින මංතීරු ඉදි කර තිබේ. මේ එකම අවස්ථාවක හෝ ඒවාට එරෙහිව මහජන විරෝධතා එල්ල වූයේ නැත. එසේම ඉදිකිරීම් කර වසර ගණනාවක් ගත වී ඇතත් ඒ නිසා එකී වැව්වලට හානියක් සිදුව ඇති බවක්ද වාර්තා වී නැත.

එසේ වුවත් පරාක්‍රම සමුද්‍රය වටා ඇවිදින මංතීරුවක් ඉදිකිරීමෙන් හානියක් නොවන්නේ යැයි ස්ථිරවම කිව​ නොහැකිය. තිසා වැව, තිස්ස වැව හෝ කුරුණෑගල වැවේ ඉදිකිරීම් හා පරාක්‍රම සමුද්‍රයේ ඉදිකිරීම් අතර වෙනසක් තිබිය හැකි නිසාය.

එහෙත් කියන තරම් යකා කළුදැයි සොයා බැලිය යුතුය. භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, ගොවි සංවිධාන එකතුවක් හා බුකී ඔස්තාර්ලා හැරෙන්නට විෂය ප්‍රාමාණිකයන් කිසිවෙකු මෙම ඉදිකිරීමෙන් පරාක්‍රම සමුද්‍රයට හානියක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා නැත. අනෙක් අතට ඉදිකිරීම නිසා හානියක් සිදුවනවා යැයි කියන කිසිවකු ඒ සිදුවන්නේ කෙසේදැයි කියන්නේද නැත. මේ නිසා මෙකී විරෝධතාවන්ට පිළිගත හැකි පදනමක් ඇති බවක් නම් පෙනෙන්නට නැත.

එහෙත් හේතුවක් නොමැතිව ඵලයක් හට ගන්නේ නැත. ඒ නිසා හේතුවක් නොමැතිව විරෝධතාවක් හට ගන්නටද ක්‍රමයක් නැත. මෙම විරෝධතාවන්ට ඇත්තම හේතුව ලෙස දැන ගන්නට ඇත්තේ පරාක්‍රම සමුද්‍රය බේරා ගැනීම නොව අපේ රටේ බොහෝ විරෝධතාවන්ට හේතුවන දේශපාලන කුහකකමම බවය.

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට එල්ල වී ඇති විරෝධතා ලෙස බලන විට පෙනී යන්නේ මෙම ඉදිකිරීම වත්මන් ආණ්ඩුවේ සැලසුමක් යැයි උපකල්පනය කර තිබෙන බවය. එසේ වුවත් මෙම ඉදිකිරීම සඳහා යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ පසුගිය 2017 වසරේදීය. එවකට රටේ ජනාධිපතිවරයා වූයේ පොළොන්නරුවෙන් බිහි වූ දේශපාලනඥයකු වන මෛත්‍රිපාල සිරිසේනය. එවිට මේ සම්බන්ධයෙන් විරෝධතා නොදැක්වූ පොළොන්නරුවේ භික්ෂූන් වහන්සේලා සහ ගොවි සංවිධාන මෙදා ඊට විරෝධය පළකරන්නේ කුමක් නිසාදැයි තේරුම් ගැනීම එතරම් අපහසු නැත.

අපේ රටේ සැබෑ ජනතා විරෝධයන් පරාජය වන්නේ බොහෝ විරෝධතාවන්ට දේශපාලනය හා ව්‍යාපාරික අරමුණු සම්බන්ධ කර ගන්නා නිසාය. ඇතැම් විටෙක මෙවන් විරෝධතා පරාජය වනවා පමණක් නොව විහිළු බවටද පත්වන්නේය. මේ නිසා ඇත්ත ජනතා විරෝධතාවලට පවා ජනතා සහාය නොලැබෙන අතර ආණ්ඩුවලට ඒවා මර්දනය කිරීමද පහසු වන්නේය.

අතීතයේ දිනෙක දඹුල්ල කණ්ඩලම හෝටලයට විරෝධය එල්ල වූයේ ඒ නිසා අති විශාල පරිසර හානියක් සිදුවන බව පවසමිනි. එහෙත් එදා ඊට විරෝධය දැක්වූ ඇතැම් අය අද පරිසර සංරක්ෂණ සමුළු පවත්වන්නේද එහිය. මෑතකදී මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් මෙරටට ආවේණික පඬු කරඳ නමැති එකම ගස විනාශ වන බවට අති විශාල විරෝධයක් දියත් කෙරුණු බව අපට මතකය. එහෙත් එම ශාකය මෙරට ඇති එම වර්ගයේ එකම ගස නොවන බවත්, එම වර්ගයේ පැළ කිහිපයක්ම පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කර ඇති බවත් පසුව හෙළිවිය.

කෙසේ වෙතත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් මතුව ඇති විරෝධතා එම වර්ගයේ විරෝධතාවක් යැයි තවමත් අපට එක එල්ලේම කිව නොහැකිය. අප මොන තරම් තර්ක ඉදිරිපත් කළත් පොළොන්නරුවේ ජනතාව මෙම විරෝධතා මතු කරන්නේ තමන්ගේ එකා වෙනුවෙන් නොව පරාක්‍රම සමුද්‍රය බේරා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන්ම විය හැකිය. එය එසේ නම් අපද ඊට ෆුල්ම සපෝට්ය.

මේ වනවිට තාවකාලිකව මෙම ඉදිකිරීම නවතා තිබීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවද යම් තරමකට පොළොන්නරුව ජනතා හඬට කන් දී තිබෙන බවය. යම් හෙයකින් මේ ජනතාවගේ චෝදනා සත්‍ය බව සනාථ වුවහොත් මෙම ඉදිකිරීම මුළුමනින්ම නවතා දමන්නට වුවද ඉඩ තිබේ. ආණ්ඩුව එවැනි පියවරකට යන්​​නේ නම් පරාක්‍රම සමුද්‍රයත් පොළොන්නරුවේ ජනතාවත් වෙනුවෙන් ආණ්ඩුවට ඉදිරිපත් කරන්නට අපටද යෝජනාවක් තිබේ. පරාක්‍රම සමුද්‍රය රැක ගැනීම සඳහා ඇවිදින මංතීරුව ඉදිකිරීම අතහැර දමන්නේ නම් ඒ සමග පරාක්‍රම සමුද්‍ර තාවුල්ලේ ඉදි කර ඇති සංචාරක හෝටල්ද ඉවත් කරන ලෙසය. පොළොන්නරුවේ භික්ෂූන් වහන්සේලා හා ජනතාව එවැනි ඉල්ලීමක් නොකරන්නේ මන්දැයි අපට වැටහීමක් නැත. එහෙත් යහපත් ආණ්ඩුවක් ලෙස නිවැරදි තීරණ ගන්නට ජනතා ඉල්ලීම් හෝ විරෝධතා හට ගන්නා තෙක් සිටිය යුතු නැත.