අතන මෙතන

පයාගල වැටලීම්වලින් 41ක් අත්අඩංගුවට

පයාගල පොලිස් වසමට අයත් ප්‍රදේශ කිහිපයක පසුගිය දින පහළොවක කාලය තුළ සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් හතලිස් එක්දෙනෙකු පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරුවන් සමග විශාල ප්‍රමාණයේ බැරල් දහනවයක බහා තිබූ ගෝඩා ලීටර් දෙදහස් නවසිය තිස්හතක් සහ හොර මත්පැන් ලීටර් එක්ලක්ෂ අසූදෙදහස් පන්සියයක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් දොළොස්දෙනකු ගෝඩා බැරල් සමග හා අනෙකුත් සැකකරුවන් විසිනවදෙනා හොර මත්පැන් සමගද අත්අඩංගුවට පත්වී තිබේ.

මෙවැනි වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කර මත්පැන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිය හමුවට පමුණුවන බවත් එවැනි ජාවාරම් පිළිබඳව තොරතුරු ලබාදෙන සියලුදෙනාගේම රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් පයාගල පොලිසියේ දූෂණ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යූ.අමරසිංහ පවසයි.