අතන මෙතන

පන්සලේ සුරතලා සොරකම් කළ අයෙක් රිමාන්ඩ් භාරයට

කළුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරස්ථානයේ විසූ රුපියල් 45,000 වටිනා මාස 5ක් වයසැති බලු පැටවෙකු සොරකම් කළ බව කියන තරුණයකු මෙම මස 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම වූයේ කළුතර දෙදියවල පදිංචි රසික කුමාර නම් වූ අයටය.

විහාරස්ථානයේ සිට බලු පැටියා සොරකම් කර ඇති බවට විහාරාධිපති පූජ්‍ය මිද්දෙණියේ සීලවංශ හිමි විසින් කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ නිවසේ කූඩුවක දමා සිටි බලු පැටවාද පොලිස් භාරයට ගෙන තිබිණි.

මෙම බලු පැටවා විහාරස්ථානයෙන් සොරකම් ​නොකළ බවත් පාරේ සිටියදී අල්ලාගෙන ගොස් ඇති බවත් කියමින් අධිකරණයට කරුණු දැක්වූ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංඛ අල්මේදා සැකකරුට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු අනුව එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කරන ලදී.

ලක්ඛිත විද්‍යාසේකර – කළුතර