අතන මෙතන

පන්නගමුව සහල් සැකසුම් මධ්‍යස්ථානයට යළි පණ

යහපාලන රජය විසින් අක්‍රිය කර වසා දමා තිබූ තිස්සමහාරාම, පන්නගමුව සහල් සැකසුම් මධ්‍යස්ථානය කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  යළි විවෘත කෙරිණි.

පොදුජන පෙරමුණු ආණ්ඩුව විසින් ඉන්දියාවෙන් ලැබුණු මූල්‍යාධාර මත ඉදිකරන ලද මෙම සහල් සැකසුම් මධ්‍යස්ථානය 1997 වර්ෂයෙහි අගෝස්තු මස 23 දින විවෘත කරන ලදී.

එහෙත් 2002 වර්ෂයේදී පැවති එක්සත් ජාතික පක්ෂ රජය සමයෙහි අඩපණ වී තිබූ මෙම සහල් සංකීර්ණය යළි මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය සමයේ යළි පණගැන්විණි.

ගොවියාගේ වී මිලයට ගනිමින් සහල් බවට පත්කර සතොස වෙළෙඳසල් හරහා පාරිභෝගිකයන්ට සහන මිලට සහල් ලබාදීමේ විශේෂ සේවාවක් මෙම සහල් සංකීර්ණය මගින් ක්‍රියාවට නැංවිණි.

මෙහිදී සේවා මුර තුනක් යටතේ සහල් කිලෝ හතළිස් දහසක් දිනකට නිෂ්පාදනය කෙරිණි.

පසුගිය යහපාලන රජය සමයේ මෙම සහල් සංකීර්ණයෙහි ගබඩා කර තිබූ වී තොග, පෞද්ගලික වී මෝල් හිමියන්ට අඩු මුදලට අලෙවි කර ඉතිරි වූ වී තොගය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ගොඩනැගිල්ලක ගබඩා කර සහල් සංකීර්ණය අඩපණ කර වසා දැමිණි.

වී තොග සඟවා වෙළෙඳපොළෙහි සහල් හිඟයක් මවාපෑ අවස්ථාවේ ‘අරුණ’ පුවත්පත පසුගිය මැයි මස 27 වැනි දින වසා දමා තිබූ සතොස යටතේ පවතින මෙම සහල් සංකීර්ණය පිළිබඳ අනාවරණය කිරීමෙන් පසු කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

එහි ප්‍රතිඵලයක් ලෙස සතොස 70 වැනි සංවත්සරයට සමගාමීව මෙම පන්නගමුව සහල් සංකීර්ණය යළි විවෘත කෙරිණි.

වසර පහක් පමණ වසා තිබූ සහල් සංකීර්ණය විවෘත කිරීමෙන් පසු චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ සාධාරණ සහල් මිලක් පවත්වාගෙන යෑමටත්, රජය විසින් නියම කරන ලද වී මිල ගොවියාට ලබාදීමටත් ඉදිරියේදී කටයුතු කරන බවය. සහල් නිෂ්පාදනයෙන් පසු නිපදවන අතුරු නිෂ්පාදන තව තවත් වැඩි කර ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමටත් ඉදිරියේදී කටයුතු කරන බව එහිදී ඇමැතිවරයා පැවසීය.

ඒ.ඒ. පේමසිරි-තිස්සමහාරාමය

අමිල සම්පත් ශ්‍රී-තිස්සමහාරාමය