කතුවැකි

පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයන්

​කොළඹ ඉහළ යැයි සම්මත පිරිමි පාසල්වල සිසුන් මෙන්ම ඒවායේ කීර්තිමත් ආදි සිසුන්ද බීමතින්, මත් මතින් මහමග සතුන් සේ හැසිරෙන වනචාරී කාලය උදා වී තිබේ. විද්‍යාලාන්තර මහ ක්‍රිකට් තරගවලට සමගාමීව වාහන පෙළපාළි (Vehicle Parade) පැවැත්වීම දැන් කොළඹ පමණක් නොව දිවයිනේ ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම පාසලකම සිරිතක් වී තිබේ. ඔවුන් මේ වාහන පෙළපාළි සංවිධාන කරන්නේ තම පාසලේ ලොකුකම ලෝකයට පෙන්වන්නටය. එහෙත් ලෝකයට පෙනෙන්නේ ඒ ඒ පාසල්වල හිස් බවය, මෝඩකමය.

මේ ඊයේ පෙරේදා මෙවැනි වාහන පෙළපාළියක යන්නට පැමිණි කොළඹ සිංහල බෞද්ධ ජනප්‍රිය පාසලක බූරු පුතෙක් කොළඹ සිංහල ක්‍රීඩා සමාජය ඉදිරිපිටදී සිහි එලවා ගත්තේ තමන් පැදවූ වාහනය මාර්ගයේ නවතා තිබූ වාහන තුන හතරක ගැටීමෙන් පසුවය. වාසනාවකට මේ මදාවියා තමන්ගේ ජීප් රියෙන් ඉගිලෙන්නට උත්සාහ කරන අවස්ථාවේ නවතා තිබූ වාහනවල හෝ මාර්ගයේද කිසිවකු සිටියේ නැත.

පුදුමයට කාරණය වන්නේ මහ දවාලේ මහා මාර්ගයක මේ තරම් අඩව්වක් ඇල්ලූ මේ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට නොගැනීමය. පොලිසිය කියන අන්දමට මේ පුද්ගලයා බීමතින් සිට නැත. ඇමැති පුතුන් යන වාහනවල වොඩ්කා වතුර බවට පත් කිරීමේ සූත්‍රය පොලිසිය දනී. එසේම පොලිසිය කියන අන්දමට මේ පුද්ගලයා අදාළ විද්‍යාලයේ සිසුවෙකු නොව ආදි සිසුවෙකි. නමුත් පොලිසිය කියන මේ කාරණා දෙකම අසත්‍ය විය හැකිය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර කුමක්දැයි කියන්නට පොලිසිය දන්නේ ද නැත. පොලිසිය මේ අනතුර ගැන කසාය බිව් ගොළුවන් සේ සිටීමත් ජනමාධ්‍ය මේ සිද්ධිය ගැන ‘‘අපි දැක්කේ නෑ’’ වගේ ඉන්නා හේතුව ද සමාන විය හැකිය.

ඇතැම් මාධ්‍යයකට මෙවැනි අනතුරක් සිදු වී නැත. එවැනි සිදුවීමක් වාර්තා වූ මාධ්‍යයත් මේ කියන ජනප්‍රිය පාසල් දෙක කුමක් දැයි දන්නේ නැත. එහෙත් පසුගිය දිනෙක අධ්‍යාපන චාරිකාවක ගිය සිසුන් සිව් දෙනකු දියේ ගිලී​ මිය යන විට ඔවුන්ගේ පාසල පමණක් නොව ඒ දරුවන්ගේ හතර වරිගේම විස්තර සොයා ගන්නට තරම් අපේ මාධ්‍ය දක්ෂය.

විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරග සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දෙන්නේ ද පාසල්වල කීර්තිනාමයට හානි නොවන ලෙස කටයුතු කරන ලෙසය. විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරග නමින් කරනු ලබන ගොං පාට් නිසා මහජනතාවට සිදුවන හිරිහැරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයද කිසිවක් කියන්නේ නැත.

ක්‍රිකට් ක්‍රීඩාව සමග හෝ විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරග සමග අපගේ කිසිම ආරෝවක් නැත. අපට ප්‍රශ්නය ඇත්තේ ක්‍රීඩාංගණවල තරග පැවැත්වෙද්දී මහමග පැවැත්වෙන නෙයියාඩගම් ගැනය. මහා ක්‍රිකට් තරගය පැවැත්වීමට සතියකට දෙකකට පෙර සෑම නමගිය පාසලකම මේ කියන රථ පෙළපාළි නිසා පොදු මහජනතාව කොතරම් නම් පීඩාවට පත් වන්නේද? එක් අතකින් වාහන තදබදයකි. තවත් අතකින් බහුබූතයන් සේ මහමග රැක සිට මුදල් මංකොල්ල කන්නන්ය. මේ අතර කාන්තා විද්‍යාලවලට කඩා පනින අසහනකාරයන්ය. මේ නිසා වැදගත් දෙමාපියන්ට මේ කාලයේ උස්මහත් වූ තම තරුණ දූවරුන් පාසල් එවන්නේ දැයි දෙවරක් සිතන්නට සිදුව තිබේ. මේ ක්‍රිකට් තරග කාලයට පොදු ප්‍රවාහන සේවාවල පවා ඒ ඒ පාසල් කොඩි ප්‍රදර්ශනය කෙරෙනු දැකිය හැකිය. පෞද්ගලික වාහන යන්නේද තම තමන්ගේ ධජ පතාක ප්‍රදර්ශනය කරමිනි. තතු එසේ වුවත් කොට ලොරියක් පදවන එකෙකුගේ සරමක කොටසක් එළියට පැන්නත් ​පොලිසිය බුරනු අපට පුරුදුය. මේ සෙල්ලම මාර්ගයේ අනෙකුත් වාහනවලට මෙන්ම පදිකයන්ටද හිරිහැරයක් ලෙස පොලිසියට පෙනෙන්නේද නැත.

විශ්වවිද්‍යාල සිසුන්ගෙන් වෘත්තීය සමිති පෙළපාළියක් පැවැත්වෙන විටෙක ‘‘ජනතාව පීඩාවට පත්විය’’, ‘‘මාර්ග තදබදයක් ඇති විය’’ යනුවෙන් ලියන මාධ්‍යයත්, මහා ක්‍රිකට් තරග හේතුකොටගෙන ඇතිවන මේ පීඩාවන් ගැන කියන්නේ නැත.

මීට හේතු වී ඇත්තේ මෙම පාසල් කීර්තිමත් පාසල්වලට ලෙස සමාජයේ ලැබී ඇති තත්ත්වයයි. සමාජයේ ඉහළ තනතුරුවල සිටින්නේ, ඒවායේ ආදි සිසුන්ය. ඔවුන්ගේ දූ දරුවන් පමණක් නොව බොහෝ මාධ්‍යකරුවන්ගේද දූ දරුවන් ඉගෙනුම ලබන්නේ ද මේ පාසල්වලය. නැතහොත් ඉදිරියේදී තම දුව පුතා යවන්නට සූදානමින් සිටින්නේ මේ පාසල්වලටය. එහෙත් ඇත්තටම මේ පාසල් කියන තරම් කීර්තිමත්ද? ගෞරවනීයද? මේ පාසල්වලට මේ තරම් ගෞරවයක්, නම්බුවක් ඇත්නම් උසස් අධ්‍යාපනයක් ලබා දෙන්නේ නම්, වත්මන් සිසුන් හා ආදි සිසුන් මෙලෙස අම්බරුවන් සේ හැසිරෙයිද?

මේ වසරේ මෙන්ම 2016 වසරේදී සුලෝහිතයන්ගේ සංග්‍රාමය යැයි කියන මහා ක්‍රිකට් තරග සමයේ ජීප් රථයක් පෙරළී යෑමෙන් සිසුන් දහතුන් දෙනකු රෝහල්ගත කිරීමට සිදු විය. ඒ හැලෙන්නේ සුලෝහිත හෙවත් හොඳ ලේ විය හැකිය. වැඩේට නම ගැළපේ. මේ අතීතයේ සිදු වූ එක් සිදුවීමක් පමණකි. මීට අමතරව ඇතිවන ගුටිකෙළිවල නිමක් නැත. එහෙත් ඒවා නවත්වන්නට කිසිවකු කටයුතු කරන්නේද නැත. එසේ කටයුතු කළේ නම් මෙවරත් පාසල් මහා ක්‍රිකට් තරග සමය ආරම්භයේම අනතුරක් වාර්තා නොවනු ඇත.

මේ මාසය පුරා සෑම සති අන්තයකම දිවයිනේ කුමන හෝ තැනක විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරග පැවැත්වීමට නියමිතය. ඒ නිසා ඉදිරි දිනවල තවත් මෙවැනි සිදුවීම් අපේක්ෂා කළ හැකිය. අද රටේ සියලු පාසල්වලට අවශ්‍ය කොළඹ ආනන්ද, නාලන්ද, රාජකීය, ශාන්ත තෝමස් වැනි පාසල් වීමටය. ඒ නිසා කොළඹ පාසල් කරන ඕනෑම ඔලමොට්ටල වැඩක් පවා දෙවරක් නොසිතා අනුකරණය කරන්නට රටේ සෑම පාසලක්ම සිටින්නේ දතකට මැදගෙනය.

ආනන්ද – නාලන්ද, රෝහල් – තෝමියන්ලා පුහු මාන්නයට කරන මේ සංදර්ශන සියල්ල පවතින්නේ ආදි ශිෂ්‍යයන්ගේ හයියෙනි. මහා ක්‍රිකට් තරගවලට මහා මාර්ගයේ රථ පෙළපාළිවලින් සෑහීමකට පත් නොවන ඇතැම් පාසල් ගුවනේද, මුහුදේද සංදර්ශන පැවැත්වීමට පවා පසුබට වන්නේ නැත. මේවාට තව අඩු සන්නාහ සන්නද්ධ රථ පමණය. ඒ අය මේ සියලු කැටයම් දමද්දී තවමත් මේ රටේ හරිහැටි ගොඩනැගිල්ලක් නැති, උපකරණ නැති, ගුරුවරු නැති, පාසල් තිබේ. රටේ දුර බැහැර පළාත්වල නොව කොළඹ නගරය තුළම එවැනි පාසල් කොතෙක් තිබේද? උසස් යැයි කියන පාසල්වල ආදි සිසුන්ගේ කහන සල්ලි මේ වෙනුවෙන් යෙදවීමට හැකි නම් ඇත්තෙන්ම එය ඔවුන් උගත් පාසලට කරන ගෞරවයකි.

එහෙත් එසේ කියන්නට අපට අයිතියක් නැත. ඔවුන් වියදම් කරන්නේ ඔවුන්ගේ මුදල් බැවිනි. නමුත් තමන්ගේ සල්ලිවලින් මහජනතාවට පීඩා ගෙන දෙන කටයුතුවල යෙදීම වැළැක්වීමට ආණ්ඩුවට හැකියාව තිබේ. ඒ සඳහා ආණ්ඩුවට බල කරන්නට අපට අයිතියක් ඇත. එවැනි පියවරක්, නීතිගරුක, විනයගරුක රටක් සඳහා වන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සමගද පෑහෙන බව අපගේ අදහසය.