විශේෂාංග

පණ්ඩුකාභය රජ දවස අපි කාපු බීපු හැටි

ශ්‍රී ලංකාවාසී මනුෂ්‍යයන් අදින් වසර 2400ක් හෙවත් ක්‍රිස්තු පූර්ව සියවසේදී පවා විවිධත්වයෙන් යුත් ශක්තිජනක ආහාර වේලක් අනුභව කළ බව, මෑතක කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබේ. එකල විසුවෝ බත්, කුරක්කන් සහ ධාන්‍ය වර්ග මෙන්ම පොල් සහ ඉඟුරු ද සිය ආහාර වේලට එක්කර ගත් බව පර්යේෂණවලින් හෙළිවුණු සුවිශේෂීම කාරණයයි. මේ සම්බන්ධයෙන් සාධක හමුවී ඇත්තේ යාපනයේ ‘‘කන්දරෝඩේ’’ සහ රුහුණේ ‘‘කිරින්ද’’ යන ප්‍ර‍දේශවල කෙරුණු කැණීම් පර්යේෂණ මගිනි.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චාර්ලීන් මර්සි, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලිසන් වයිෆ්කෝන්, ලංකාවේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජේරත්න බෝහිංගමුව, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ගාමිණී අධිකාරී, පුරාවිද්‍යා දෙපාරතමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් රෝයල් හැලෝවේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජේම්ස් බ්‍රින්කෝන්, බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාක් හෝර්ටන්, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩෝරියන් ෆූලර් සහ ජර්මනියේ මැක්ස්ප්ලෑන් අධ්‍යයන ආයතනයේ මහාචාර්ය නිකෝල් බොයිවින් යන විද්වතුන් විසින් කළ පර්යේෂණ ඔස්සේ මේ කරුණු අනාවරණය වී තිබේ.2015 වසරේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පුරා ශාක විද්‍යා රසායනාගාරයේදී ඊට සම්බන්ධ විශ්ලේෂණ කටයුතු සිදුවුණු බව ‘‘අරුණ පුවත්පත’’ සමග පැවැති කතාබහේදී ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

කැණීම් පර්යේෂණවලදී රැස් කර ගත් නියැදි (සාම්පල්) විශ්ලේෂණය කර ඇත්තේ පුරා ශාක විද්‍යාත්මක සහ පරාග විශ්ලේෂණ ක්‍රම අනුව ය. ඒ සමග සාම්ප්‍රදායික කාලනිර්ණ ක්‍රමද භාවිතයට ගෙන තිබේ.

කොටා සකසා ගත් වී වර්ගවල සහ කුරක්කන්වල අවශේෂ කපු, බීජ, වර්ග ගණනාවක කුරක්කන් බීජ පිළිබඳ සාධක, ඉන්දියාවේදී හමුවන ධාන්‍ය වර්ගවල අවශේෂ පොල්කටුවල කොටස් සහ පොල් ශාකයේ පරාග, ඉඟුරු වර්ගවල අවශේෂ, මෙන්ම හීලෑ එළහරක්, ගෘහස්ථ ඌරන්, ගෘහස්ථ එළුවන් බඳු සතුන් ඇතිකිරීම මෙන්ම ආහාර පිණිස මත්ස්‍යයන් සහ ආහාර පිණිස ගත් මත්ස්‍යයන්ගේ අවශේෂ ආදියද පර්යේෂණයෙන් හමුවුණ සාධක අතර තිබිණැයි නිමල් පෙරේරා මහතා කීවේය.

එකල පැවැති ජන සමාජය, කෘෂිකර්මාන්තය සිය ජීවන පදනම බවට පත් කර ගෙන සිටි බව එයින් පෙනී යන්නේ යයි පර්යේෂණයට එක්වුණු විද්වත්හු පවසා සිටිති. එසේම ඔවුන් බොහෝම පෝෂ්‍යදායක, විවිධත්වයෙන් යුත් ආහාර වේලක් අනුභව කර ඇති බවද ඉන් අනාවරණය වේ.

යාපනයේ කන්දරෝඩේ ප්‍රදේශයෙන් හමුවුණු සාධක අතර සහල්, කුරක්කන් වර්ග, ධාන්‍ය වර්ග, හරක්, එළුවන් භාවිතයද කැපී පෙනෙයි. කිරින්දෙන්ද වී, කුරක්කන්, ධාන්‍ය වර්ග ආදියද සමග කපු බීජද හමුවී තිබේ. ඒවා අතර වල් පැළෑටි වර්ගද විය. එසේම පොල් පිළිබඳ සාධක කිරින්ද සහ කන්දරෝඩේ යන ස්ථාන දෙකෙන්ම හමුවිණි.

ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන අන්දමට මේ කාලය වන විට ලංකාවේ රජවරුවන්ගේ ද පාලන ක්‍රියාවලිය ඇරඹී තිබිණි. ඉතිහාසයේ කියැවෙන ආකාරයට මේ වකවානුවේ ලංකාවේ සිහසුන දරා ඇත්තේ පණ්ඩුකාභය (ක්‍රි.පූ. 437-367) රජ්ජුරුවෝය. ඔහුගේ පාලන සමයේ බොහොම සංවිධානාත්මක කෘෂිකර්මාන්තයක් සහ ශිෂ්ටාචාරවත් ජන සමාජයක් පැවැති බව නව පර්යේෂණ මගින් පැහැදිලි වන කාරණයයි.
‘‘ක්‍රිස්තු පූර්ව හතරවැනි සියවස වනවිට, ලංකාවේ ස්ථිර වශයෙන්ම පොල් වගාව තිබුණු බව කියන්න පුළුවන්. පොල් පිළිබඳ සාධක යාපනේ කන්දරෝඩෙන් වගේම කිරින්දෙනුත් හමුවුණා.’’ ඔහු පවසයි.

කැණීම්වලින් ලබාගත් නියැදි විශ්ලේෂණය කිරීමේදී එක් සුවිශේෂී කාරණයක් ද අනාවරණය විය. එනම්, යාපනයේ කන්දරොඩේට වඩා, කිරින්ද ප්‍රදේශයේ ශාක පරාග වැඩි බවයි.

ලංකාවේ ඉතිහාසය තුළ කපු පිළිබඳ මුල්වරට සඳහන් වන්නේ විජය කුමාරයා මේ රටට පැමිණීමේ කතා පුවතද සමගිනි. ලංකාවට ගොඩ බට විජය කුමාරයාට, කපු කටිමින් සිටින කුවේණිය හමුවූ බව ඉන් කියැවේ. විජය කුමාරයාගේ පැමිණීමට යම් සමීප කාල වකවානුවක ලංකාවේ කපු වගාවන් කෙරී ඇති බව අලුත් පර්යේෂණයෙන් වාර්තා වීම ද අපූර්ව කාරණයකි.

‘‘කපු මුලින්ම බිහිවෙලා තියෙන්නෙ සුඩානය සහ තවත් අප්‍රිකානු රටවලයි. ඊට පස්සේ ඒවා ඉන්දියාව සහ ලංකාව වාගේ රටවලට පැතිරුණා. කපු අදටත් ඉන්දියාවට, පාකිස්තානයට ආවේණික ශාකයක්. හරප්පානු ශිෂ්ටාචාරයට පෙර සිටම ඉන්දියාවේ කපු වගාව කෙරුණු බවට සාධක තියෙනවා. ලංකාවට යකඩ භාවිතාව ආවේ ඉන්දියාවෙන්. ඒක වුණේ පූර්ව ඓතිහාසික යකඩ යුගයේදී. ඒ කාලේ ඉන්දියාවේ ඩෙකෑන් ප්‍රදේශය හරහා කපු අපේ රට එන්න ඇති’’

‘‘2010 වසරේ යාපනයේ කන්දරෝඩේ කළ කැණීම්වලින් අපට ධාන්‍ය සහ තවත් අවශේෂ හමුවුණා. ඒවා ක්‍රිස්තු පූර්ව හතරවැනි ශතවර්ෂයට කාලනිර්ණය කෙරුණා. දැන් අපට කිරින්දෙන් සහ කන්දරෝඩෙන් හමුවුණ වී වගා සාධකවල දින වකවානුත් ඒවාට සමානයි. ක්‍රිස්තු පූර්ව හතරවැනි සියවසේ රටේ උතුරේත්, රුහුණේත් බොහෝම හොඳ මට්ටමේ කෘෂිකාර්මික ක්‍රියාවලියක් පැවැති බව මෙයින් හෙළිදරව් වෙනවා’’ යැයි ආචාර්ය නිමල් පෙරේරා කියන්නේය.

පර්යේෂකයින් පවසන අන්දමට කුරක්කන් වර්ග මුලින්ම ලෝකයට බිහිවී ඇත්තේ අප්‍රිකාවෙනි. පසුව ඒවා ක්‍රමයෙන් ගෘහස්තකරණය වී තිබේ. ඇතැම් ඒවා මන්නාරමේ මාතොට වරාය (මහාතිත්ථය) ඔස්සේ කන්දරෝඩේ, අනුරාධපුරය සහ තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයට පැතිර යන්නට ඇත. අලුත් පර්යේෂණයේදී කන්දරෝඩෙන් මෙන්ම, කිරින්දෙන්ද කුරක්කන් වර්ග හමුවිය.
ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන අන්දමට ක්‍රිස්තු පූර්වයෙන් හතරවැනි සියවස යනු ලංකා ඉතිහාසයේ ඉතා තීරණාත්මක වකවානුවකි.

‘‘අනුරාධපුරයේ කළ පර්යේෂණ මගින් හෙළිවුණු ආකාරයට, අදින් වසර 1800දී ලංකාවේ ගල් යුගය අවසන් වෙනවා. ඊට පස්සේ ක්‍රිස්තු පූර්වයෙන් 400දී අපට පූර්ව ඓතිහාසික යකඩ යුගය එළඹෙනවා. ඒ එක්කම අනුරාධපුරය මුල්කර ගෙන යකඩ නගුල, මැටි බඳුන්, හීලෑ එළ හරක් සහ වී වගාව ආදී වශයෙන් නව භාවිතාවන් සහිතව කෘෂිකාර්මික සමාජයක් බිහි වෙනවා. අපට බ්‍රාහ්මී අක්ෂර ලැබෙන්නෙත් ඔය කාලේ. දැන් කිරින්ද සහ කන්දරෝඩෙන් මතුකර දෙන කෘෂි සංස්කෘතිය ඔස්සේ වී කුරක්කන් සහ ධාන්‍ය වර්ග ද හමුවෙනවා. ඒවා සකසා ගෙන කෑ බව හෙළිවෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව හතරවැනි සියවස අපේ ඉතිහාසයේ බොහෝම වැදගත් වකවානුවක්’ නිමල් පෙරේරා මහතා පවසයි.

කිරින්දෙන් සහ කන්දරෝඩෙන් හමුවූ වී, කුරක්නන්, පොල්, ඉඟුරු, ධාන්‍ය ආදී සාධක මගින් කියැවෙන කතාව කදිම එකකි. එනම් පණ්ඩුකාභය රජ්ජුරුවන්ගේ කාලයේ සිටි මනුෂ්‍යයන් බොහෝම විවිධත්වයෙන් යුතු පෝෂණීය ආහාර වළඳමින් සරුසාර දිවි පෙවෙතක් ගත කළ බවයි.

මේ අලුත් කතා පුවත ‘‘ELSEVIER’’ නම් ජාත්‍යන්තර සඟරාවේ ISSN-2352-2267 කලාපයේ පළවී තිබිණි.