විශේෂාංග

පඩි ගෙවන්න බැරිව සිරිකොත වහයිද?

කාලයක් ලංකාවේ විශාලතම තනි දේශපාලන පක්ෂය බවට පත්ව තිබූ, තනි පක්ෂයක් ලෙස පාර්ලමේන්තුවේ හයෙන් පහක අති විශාල බලයක් හිමිකරගත් එකම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය අද මහලු කුල කාන්තාවක් වැනිය. සිරිකොත පක්ෂ මූලස්ථානය හරියට ගරා වැටීමට ලක්වු පැරණි වලව්වක් සේය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අගහිඟකම් වසාගැනීමට උත්සාහ ගන්නා කළමනාකාරීත්වය දකින අයෙක්ට සිහිවන්නේ මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළියේ එන මාතර හාමිනේය. කොතරම් අගහිඟකම් පැවතියත් තමන්ගේ කුල මාන්නය නිසා අගහිඟකම් ලෝකයෙන් වසා ගැනීමට උත්සාහ ගන්නා මාතර හාමිනේත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ කළමනාකරීත්වයත් අතර වෙනසක් නැති සේය.
මාතර හාමිනේ කුල මාන්නයෙන් තමන්ගේ අග හිඟකම් වසා ගත්තද සිරිකොතට තමන්ගේ අගහිඟකම් වසා ගැනීමට හැකියාවක් ලැබී නැත. ඒ සිරිකොත සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයකට අද පත්ව තිබීම නිසාය. වරක් එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටියදී සිරිකොත පක්ෂ මූලස්ථානයේ විදුලි බිල්පත් ගෙවීමට නොහැකිවීම නිසා විදුලිය විසන්ධි කර තිබුණි. එම බිල්පත් ගෙවා තිබුණේ එවකට පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ද වූ ප්‍රකෝටිපති ව්‍යාපාරික දයා ගමගේය. ඔහු පක්ෂයේ ජාතික සංවිධායක ධුරයටද පත්වූ අතර සිරිකොත නඩත්තුවටද ඔහුගේ දායකත්වය දුන්නේය. පක්ෂයේ තනතුරු සඳහා පැවැති නිලවරණවලට ඉදිරිපත් වූ දයා ගමගේගේ ප්‍රධාන තේමාව වූයේ ලයිට් බිලවත් ගෙවා ගන්නට බැරිව තිබූ සිරිකොත නඩත්තු කළේ තමා බවය. දයා ගමගේ පමණක් නොව ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෝ දේශපාලන පක්ෂ නඩත්තුවට තම පසුම්බියෙන් මුදල් දෙන බව ප්‍රසිද්ධ කතාවකි. ඒ අතින් බලන විට කාලයක් ලංකාවේ ව්‍යාපාරික පැළැන්තිය සිටියේ එජාපය සමගය. එහෙත් දැන් එසේ නැත. එජාපයට එසේ වී ඇත්තේ ඇයි? ඒ ගැන දැනගැනීමට පෙර සිරිකොතේ ඉතිහාසය දැනගැනීම වටී.

සිරිකොත පක්ෂ මූලස්ථානය අද පිහිටා ඇත්තේ අංක 400 පිටකෝට්ටේ දරන ස්ථානයේය. සිරිකොත පිටකෝට්ටේට පැමිණියේ ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේය. ඊට පෙර සිරිකොත තිබුණේ කොල්ලුපිටියේය. 1946 සැප්තැම්බර් 6 වැනිදා එක්සත් ජාතික පක්ෂය ආරම්භ වුවත් දශකයකට ආසන්න කාලයක් වනතෙක් පක්ෂ මූලස්ථානයට ස්ථිර ගොඩනැගිල්ලක් තිබුණේ නැත. පක්ෂ මූලස්ථානයට ගොඩනැගිල්ලක් ලබාගැනීම පිළිබඳ අදහස මතුවූයේ සර් ජෝන් කොතලාවලගේ කාලයේදීය.

බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය අසල “පැසිෆර්න්” මන්දිරය සර් ජෝන් කොතලාවල මිලදී ගත්තේ පක්ෂ මූලස්ථානය ආරම්භ කිරීමටය. ඒ වන විට මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සම්පත් බොහෝමයක් විකුණා දමා තිබූ එක්සත් ජාතික පක්ෂය සිටියේ අසීරු අඩියකය. එහෙත් පක්ෂ මූලස්ථානය වෙනුවෙන් ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට ඩී. එස්. සේනානායක ආරම්භ කර තිබූ අරමුදලක ඉතිරිව තිබූ 136, 681.85 ක මුදලක් ඩඩ්ලි සේනානායක විසින් සර් ජෝන්ට දෙන ලදී. පැසිෆර්න් මන්දිරය නවීකරණය කර පක්ෂ මූලස්ථානයට සුදුසු අයුරින් සකස් කරන විට එයට ඉහළ ලංසුවක් ලැබී තිබුණේය. ඒ අවස්ථාවේදී එම ගොඩනැගිල්ල විකුණා දැමුවේ පක්ෂයට ලාභයක් අත්කර දෙමිනි.

ඉන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆලීල් කපූර්ගේ පවුලට අයත් අයිසිකල් හෝල් ගොඩනැගිල්ල අඩු මිලකට මිලදී ගැනීමට එහි හිමිකරුවන් එකඟ කරවාගැනීමට සර් ජෝන් සමත්විය. එය නවීකරණය කර “සිරිකොත” පක්ෂ මූලස්ථානයට 1954 අගෝස්තු මස ගෙවැදිණි. සිරිකොත පක්ෂ මූලස්ථානය ආරම්භ කරන අවස්ථාවේදී වෙනත් දේශපාලන පක්ෂයකට නොමැති බොහෝ සම්පත්වලින් එය සමන්විත විය. පක්ෂයක් සතු විශාලම පුස්තකාලය පැවතියේද එක්සත් ජාතික පක්ෂයටය. සී.එච්.ඉසෙඩ්. ප්‍රනාන්දුගේ රුපියල් පන්දහසක පරිත්‍යාගයෙන් පොත් පන්සියකින් පමණ පුස්තකාලය ආරම්භ විය. එවකට කොළඹ ප්‍රභූ පන්තියේ ගෘහ භාණ්ඩ සැපයුම්කරු වූ දොන් කරෝලිස් සමාගමෙන් ඒ සඳහා අවශ්‍ය ලී බඩු සැපයිනි. ජේ.ආර්. ජයවර්ධන, සර් ජෝන් කොතලාවල ඇතුළු පක්ෂයේ ඉහළ නායකයින්ගෙන් ලැබුණු පොතපතද ඇතුළුව කෙටි කාලයක් ඇතුළත විශිෂ්ට පුස්තකාලයක් සිරිකොතේදී ගොඩනැගුණි. එය පාලනය සඳහා වෙනම පුස්තකාලයාධිපතිනියක්ද වූවාය.

සිරිකොත පක්ෂ මූලස්ථානය ආරම්භයේදී පාලනය කළේ සර් ජෝන් සහ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකය. කොල්ලුපිටියේ සිරිකොත ඉතා පිළිවෙළට පවත්වාගෙන ගිය තැනක් යැයි කොල්ලුපිටියේ සිරිකොත සමග ගනුදෙනු කළ පුද්ගලයෝ පවසති. හෝටලයක සිරි ගෙන පවත්වාගෙන ගිය පක්ෂ මූලස්ථානය, අපිළිවෙළ වන්නේ පාක්ෂිකයින්ගේ පැමිණීමෙනි. ගම්වලින් පැමිණි පාක්ෂිකයින් බුලත්කෙළ ගැසීම නිසා හෝ සිගරට් කොට දැමීම නිසා අපිළිවෙළ වන සිරිකොත මිදුල සර් ජෝන්ගේ සිත් ගත්තක් නොවීය. ඉක්මන් කේන්තිකාරයෙක් වූ, වඩාත් පිළිවෙළක් සහිත ජීවන රටාවකට හුරුවී සිටි සර් ජෝන් මේ දෙස බැලුවේ කේන්තියෙනි.

“පක්ෂ මූලස්ථානයක් වුණාම ඒක හෝටලයක් වගේ පිළිවෙළට තිබිලා වැඩක් නෑ. මෙතැනට මිනිස්සු එන්න ඕන. බුලත් කන අය බුලත් කෙල ගහවි. සිගරට් බොන අය සිගරට් බීලා කොට දාලා යාවි. ජනතාව ඇවිත් ගැවසෙනකොට තමයි පක්ෂ මූලස්ථානයක් බව කාටත් දැනෙන්නේ” ජේ. ආර්. කියා තිබුණේය.
කොල්ලුපිටියේ පැවති සිරිකොත පක්ෂ මූලස්ථානයේ වියදම් සඳහා මුදල් ලැබී තිබුණේ සර් ජෝන්ගෙනි. ඒ වන විට පක්ෂය සතුව මුද්‍රණාලයක්ද වූ අතර එයද සර් ජෝන් යටතේ පාලනය විය.

කොල්ලුපිටියේ තිබූ සිරිකොත පිටකෝට්ටේට පැමිණියේ ජේ. ආර්. ජයවර්ධන යුගයේදීය. සිරිමාවෝ බණ්ඩාරනායක පාලන යුගයේදී පල්ලම් බැස තිබූ එක්සත් ජාතික පක්ෂය නගා සිටුවීමේ වගකීම ගත්තේ ජේ. ආර් ය. පක්ෂය ගොඩනැගීමට සමගාමීව පක්ෂයේ වෘත්තීය සමිති ගොඩ නැගීමටද ඔහු විශේෂ අවධානයක් යොමු කර තිබුණේය. 1974 සිට රාජ්‍ය සේවා වෘත්තීය සමිතිය, ජාතික සේවක සංගමය, ලංකා වතු කම්කරු සංගමය බිහි කළා පමණක් නොව පක්ෂය වෙනුවෙන් වඩාත් ඉඩකඩ ඇති ගොඩනැගිල්ලක් ඉදිකිරීම ගැනද ජේ. ආර්.‌ ගේ අවධානය යොමුවූයේය. 77 දී හයෙන් පහක බලයක් ලබාගත් ජේ. ආර්. රට ශක්තිමත් කිරීමට ශක්තිමත් විධායක ජනාධිපති ක්‍රමයක් ගෙන ආ ආකාරයටම පක්ෂයද ශක්තිමත් කළේය.
පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ඉඩමක් සොයමින් සිටින විට දැන් සිරිකොත පිහිටි කෝට්ටේ ඉඩම ගැන ජේ. ආර්. ට තොරතුරු ලැබී තිබුණේය. මේ ඉඩම එක්සත් ජාතික පාක්ෂිකයෙක් සතු ඉඩමක් නොවේ. එය ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ, ජනතා වීමුක්ති පෙරමුණු ඉදිරිපෙළ නායකයෙකුගේ පවුලට අයත් ඉඩමකි. 71 මහ නඩුවේ විත්තිකාරයෙක් වූ ශාන්ත බණ්ඩාරගේ පවුලට අයත් ඉඩම මිලදී ගෙන ජේ. ආර්. පක්ෂ මූලස්ථානය ඉදිකිරීමට මුල් ගල් තැබුවේය. පසුව අවට ඉඩම් කිහිපයක්ද මිලදී ගනිමින් පක්ෂ මූලස්ථානයේ වපසරිය පුළුල් කරගත්තේය.

මේ හා සමගාමීව පක්ෂයේ වත්කම් වැඩි කරගැනීමටද ජේ. ආර්. කටයුතු කළේය. බුහාරි හෝටලය සහ ඉඩම, දැනට රාජගිරියේ එල්.ඕ.එල්.සී. ගොඩනැගිල්ල පවතින ඉඩම, මහනුවර මහ වීදියේ ගොඩනැගිලි, හල්ඩ්‍රොෆ් වීදියේ ගොඩනැගිලි තවමත් එක්සත් ජාතික පක්ෂය සතු වත්කම්ය. ඇතැම් ඉඩම් හා ගොඩනැගිලි කුලියට දී ඇති අතර ඒවායෙන් ආදායම් තවමත් පක්ෂයට ලැබෙමින් තිබෙන්නේය. සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිකිරීමෙන් නොනැවතී ඒ අසලම වෘත්තීය සමිති ක්‍රියාකාරකම් පහසුවෙන් කරගෙන යාම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානය අසලම ජාතික සේවක සංගම් ගොඩනැගිල්ලද ඉදි කළේය.

ජේ. ආර්. යුගයෙන් පසුව පැමිණි ප්‍රේමදාස යුගයද සිරිකොත පක්ෂ මූලස්ථානයේ විනගරුකම යුගය බව පාක්ෂිකයෝ පවසති. ප්‍රේමදාස තමන්ගේ සමාජ සේවා කටයුතු සුචරිතය මුල් කරගෙන ක්‍රියාත්මක කළේය. එහෙත් ඔහු පක්ෂ දේශපාලන කටයුතු සුචරිතයට රැගෙන ගියේ නැත. පක්ෂයේ දේශපාලන කටයුතු සියල්ලම පවත්වාගෙන ගියේ සිරිකොත පක්ෂ මූලස්ථානය කේන්දු කරගෙනය. සිරිකොතේ පාලන බලය හිමිවන්නේ පක්ෂ මහ ලේකම්වරයාටය. ප්‍රේමදාස පාලන කාලයේ පක්ෂ මහ ලේකම් ධූරය දැරූ රංජන් විජේරත්න වඩාත් විනයානුකූල තැනක් බවට පක්ෂ මූලස්ථානය පත් කර තිබුණි.
දිනක් රංජන් විජේරත්න පැමිණෙන විට බිම පෑනක් වැටී තිබෙනු දැක තිබේ. එය අහුලාගෙන සේවකයෙක්ට දුන් රංජන් විජේරත්න කියා තිබුණේ “මේවා වට්ටගන්න එපා දරුවෝ” යැයි කියාය.

ජේ. ආර්. ගේ පාලන කාලයේදී මෙන්ම ප්‍රේමදාස පාලන කාලයේදීද සිරිකොතට රට වටෙන්ම පාක්ෂිකයින් පැමිණියා පමණක් නොව ඔවුන් වෙනුවෙන් ඇති තරම් පහසුකම්ද සපයා තිබුණි. ඇතැම් දුර බැහැර ප්‍රදේශක සිට කෝච්චියෙන් හෝ බසයෙන් පැමිණෙන පාක්ෂිකයා සිරිකොතට පැමිණ රැය පහන් කළා පමණක් නොව ඔවුන්ට නා, පිරිසිදුවීමට පහසුකම්ද සපයා තිබුණි. ඇතැම් කාලවල දිනකට සිරිකොතේ හාල් මුට්ට හත අටක බත් ඉදුනු බව කියන්නේ කොතරම් පාක්ෂිකයින් පිරිසක් එහි පැමිණියේද යන්නට සාක්ෂි සපයමිනි.
මෙරට ඇතැම් වාමාංශික නායකයින්ගේ බිරින්දෑවරුන්ද මුල් කාලයේ සිට ඇත්තේ සිරිකොතේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති භාරව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ, සුමනා ප්‍රේමචන්ද්‍ර ප්‍රේමදාස පාලන යුගයේ සිරිකොතේ සිටි විශ්වාසවන්තම නිලධාරිනියකි. ඇය සිරිකොතට පැමිණියේ ඇගේ සහෝදරයාත්, පියාත් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් වීම නිසාය. භාරත ලක්ෂ්මන් හා විවාහයෙන් පසුව සිරිකොත හැර ගියත් ඇගේ දියණිය, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුව එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරග කර කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ද තේරී පත්වූවාය. එම්. එස්. අධිකාරී ඇමැතිවරයාගේ බිරිඳ, රාණි අධිකාරී සේවය කළේද සිරිකොතේය. කවුරුත් “ධනපාල අංකල්” ලෙසින් හඳුන්වන සේනානායක යුගයේ සිටම පක්ෂයේ කටයුතු කරන ජාතික ඇඳුම අැඳ අදත් සිරිකොතේ සිටින ධනපාල මෙන්ම, කාර්යාල කාර්ය සහායක තනතුරක් දැරුවද, පක්ෂයේ සියලු දෙනාගේම විශ්වාසය දිනාගත් සුදු සරම හා කමීසය අඳින සෝමපාල ගැනද සඳහන් කළ යුතුමය.

සිරිකොතට අභාග්‍ය සම්පන්න කාලයක් උද්ගත වන්නේ 1999 න් පසුවය. දීර්ඝ කාලයක් විපක්ෂයේ සිටීම හා ආණ්ඩු බලය ලැබුණද එය රැක ගැනීමට නොහැකිවීම හමුවේ පාක්ෂිකයින් මෙන්ම පක්ෂයේ කටයුතු සඳහා මූල්‍යාධාර ලබාදුන් ව්‍යාපාරිකයින්ද පක්ෂයෙන් ක්‍රමයෙන් ඈත් විය. පක්ෂ මූලස්ථානය ක්‍රමයෙන් ගරා වැටීමට ලක්වූ අතර පසුගිය කාලය වන විට පක්ෂයේ සේවකයින්ගේ වැටුප්‌ ගෙවීමටද හැකියාවක් ලැබී තිබුණේ නැත. 2011 වන විට සිරිකොත පක්ෂ මූලස්ථානය පාක්ෂිකයින්ගේ ප්‍රහාරයට ලක්වූයේ රනිල් වික්‍රමසිංහට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසට බල කරමින් පැවති විරෝධතා හමුවේය.
රාජපක්ෂ පාලන යුගයේ විපක්ෂයේ සිටියදී පක්ෂයේ කටයුතු කරගෙන යාම සඳහා අරමුදල් සම්පාදනය කළ ආකාරය ගැන සිහිපත් කළේ පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකය.

“ආණ්ඩුවක් නැති කාලයේ උදව් කරන අය අඩුයි. ඒ කාලේ සිරිකොත පක්ෂ මූලස්ථානය පවත්වාගෙන යන්න අපි තවුසන්ඩ් එම් කියලා වැඩසටහනක් කරගෙන ගියා. ඒ කියන්නේ මාසයකට රුපියල් දාහක් දෙන්න පුළුවන් සාමාජිකයින් එක්දහස් පන්සියක් සොයා ගත්තා. එයින් මාසයකට රුපියල් ලක්ෂ දොළහත්, පහළොවත් අතර මුදලක් අපි එකතු කරගත්තා” තිස්ස අත්තනායක සඳහන් කළේය.
මීට අමතරව සාමාජික ටිකට්පත් අලෙවි කිරීමෙන්ද වසරකට රුපියල් ලක්ෂ තුන හතරක මුදලක් සොයා ගෙන තිබූ අතර එය පක්ෂයේ කටයුතු සඳහා ප්‍රමාණවත්වූ මුදලක් නොවේ. 2015 ට පෙර සිරිකොතේ මාසික නඩත්තුව සඳහා රුපියල් ලක්ෂ පහලොවක් පමණ අවශ්‍ය වී තිබූ අතර ඇතැම් අවස්ථාවලදී ව්‍යාපාරිකයින්ගේ සහායද හිමිවිය.

“සමහර අවස්ථාවලදී හිර වුණාම දයා ගමගේ එහෙම සල්ලි දුන්නා. කරු ජයසූරිය එහෙම නඩත්තුව සඳහා ආධාර කර තිබෙනවා. නැතිනම් ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ලබාගැනීමට අවශ්‍ය උදව් කරලා තියෙනවා” තිස්ස අත්තනායක පවසන්නේය. ඔහු පවසන ආකාරයට සෑම මාසයකම දයා ගමගේ මුදල් ලබා දී නැත. එහෙත් විටින් විට ඔහු පක්ෂයේ නඩත්තුව සඳහා මුදල් වියදම් කර තිබේ.

පසුගිය සතිය වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේ සේවය කරන සේවකයින්ගේ වැටුප් නොගෙවීම ගැන ආන්දෝලනයක් ඇතිව තිබුණේය. එහි පවිත්‍රතා කටයුතු කරන සේවකයින්ගේ වැටුප් මාස ගණනාවකින් ගෙවා නැතැයි වාර්තා වුණේය. සිරිකොත පරිපාලන කටයුතු භාරව සිටින ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් පවසන්නේ පිරිසුදු කිරීමේ සේවකයින් සිරිකොත සේවකයින් නොවන බවය. ඔවුන් වෙනත් ආයතනයකින් ලබාගෙන ඇති සේවකයින් බව ඔහු පවසයි.
“අපි ක්ලීනින් සර්විස් එකක් හයර් කරලා තියෙනවා. ඒකෙන් තමයි සේවකයින්ට වැටුප් ගෙවන්න ඕන. අපි ගෙවන්නේ ක්ලීනින් සර්විස් එකට. සමහර කාලවල මාස දෙක තුනක් එකට තමයි අපි ක්ලීනින් සර්විස් එකට ගෙවන්නේ” ශමල් සෙනරත් පැවසුවේය.

එහෙත් පසුගිය දිනවල විදුලි බිල්පත් හා දුරකතන බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් අවසන් දැනුම් දීම් කර තිබුණේය. ඒ අවස්ථාවේදී එම බිල්පත් ගෙවීමට හැකියාවක් නොතිබුණ නමුත් පසුව ඒවා ගෙවා තිබුණි.

“කොරෝනා එක්ක බොහෝ ආයතනවල සේවකයින්ට වැටුප් භාගයයි ගෙවන්නේ. ඒත් සිරිකොතේ කවදාවත් සේවකයින්ට වැටුප් භාගයක් ගෙව්වේ නෑ. පසුගිය කාලයේදී දිගටම වැටුප් ගෙව්වා. සමහර අවස්ථාවලදී සතියක් හමාරක් වැටුප් ගෙවීම ප්‍රමාද වුණත් සම්පූර්ණ වැටුප ගෙව්වා” ශමල් සෙනරත් පවසන්නේය.

ඔහු පවසන්නේ කොරෝනා අවදානමත් සමග සිරිකොත සේවකයින් සේවයට කැඳවන්නේ නැති බවය. මේ වන විට සිරිකොත ස්ථිර සේවකයින් තිස් හය දෙනෙක් සිටින අතර පසුගිය කාලයේ සේවය කළ අයගෙන් දෙදෙනෙක් විශ්‍රාම ගොසිනි. විශ්‍රාම ගිය සේවකයින් දෙදෙනාද තවදුරටත් සිරිකොතේ සේවය කරන්නේ කොන්ත්‍රාත් පදනමෙනි. කිසිදු අවස්ථාවකදී සිරිකොත සේවකයින්ට වැටුප් නොගෙවා සිටීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉඩ ලබා නොදෙන බව ශමල් සෙනරත් පවසන්නේය.
“පසුගිය මාසයේ වැටුප් ගෙවීම් ප්‍රමාද වුවත් මේ මාසේ 25 වැනිදාම සේවකයින්ට වැටුප් ගෙව්වා. වැටුප් ගෙවන්න සල්ලි අවශ්‍ය බව නායකතුමාට කිව්වාම නායකතුමා මිලියන තුනක මුදලක් ගෙනත් දුන්නා. ගෙදරින් ගෙනැත් දුන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කවදාවත් සේවකයින්ට වැටුප් නොගෙවා ඉන්නේ නෑ. සේවකයින් සේවයට කැඳවූවේ නැහැ කියලා වැටුප් නොගෙවන්නේ නැහැ. සිරිකොත සේවකයින්ට වැටුප් ගෙවලා නැහැ කියලා ප්‍රචාරය අරගෙන යන්නේ දේශපාලනිකව තියෙන තරහටයි. විජයවර්ධන පවුලට ඉඩම් තියෙනවා වත්කම් තිබෙනවා. මේවායින් ගෙවිය යුතු දේවල් ගෙවන්න පුළුවන්” ශමල් සෙනරත් පැවසුවේය.

ශමල් සෙනරත් මේ කියන විජයවර්ධන යනු රුවන් විජයවර්ධනය. ඔහු දැන් එජාපයේ නියෝජ්‍ය නායකයාය. ඔහු පරම්පරාවෙන්ම සල්ලිකාරයෙකි. ඔහුගේ පවුලේ සීයා වන ඩී. ආර්. විජයවර්ධන ඇතුළු පවුලේ සාමාජිකයන් ශූර ව්‍යාපාරිකයන්ය. එහෙත් අද ව්‍යාපාරිකයන් අතින් කාලා හරක් බලන්නේ නැති බවද අමතක නොකළ යුතුය. ශමල් සෙනරත් පවසන්නේ දේශපාලනිකව එක්සත් ජාතික පක්ෂය පහළට වැටුණත් ආර්ථික අතින් පහළට වැටෙන්නේ නැති බවය. දේශපාලනිකව පහළට වැටුණත් ආර්ථික අතින් පහළට නොවැ​ෙටන දේශපාලන පක්ෂ ගැන වෙනම ලිවිය යුතු කතාවකි. ඒ ඇතැම් දේශපාලන පක්ෂ අදටත් තමන්ගේ ඉඩම්, ගොඩනැගිලිවලින් නඩත්තුවන නිසාය. ඇතැම් දේශපාලන පක්ෂවල තිබෙන වත්කම් ගැන කිසිවෙක් නොදන්නා නිසාය. ඒ වත්කම් කොපමණදැයි නිවරදිව විගණනය නොවන නිසාය. ඒ ගැනත්, මන්ත්‍රීවරු නොමැති, ගොඩනැගිලි ඇති දේශපාලන පක්ෂ තවමත් රටේ තිබෙන බව රට්ටු අමතක කළ යුතු නැත.

සංජය නල්ලපෙරුම