brand logo

නෝනා වාට්ටුවට කොරෝනා රිංගුවේ කොහොමද?

31 October 2020

කොළඹ අවට දරුවකුට කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුණොත් අම්මලාට මතක් වන්නේ නෝනා වාට්ටුවය. නෝනා වාට්ටුව යනුවෙන් කියන්නේ බොරැල්ලේ රිජ්​වේ ආර්යා ළමා රෝහලටය. ඒ නමින් රෝහල හැඳින්වුවත් කොළඹ අඩු ආදායම්ලාභී පවුල්වලට නම් එය නෝනා වාට්ටුවමය. බස් කොන්දොස්තරලා තවමත් මගීන් බස්සන්නේ නෝනා වාට්ටුව බහින්න කියමිනි. නෝනා වාට්ටුව දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහල ලෙස පැවසේ. ළමා හෘද සැත්කම්වල සිට පාචනය, ඩෙංගු, වැලඳුණු ළදරුවා දක්වා විවිධ රෝගාබාධ ඇති දරුවෝ එහි ප්‍රතිකාර ලබන්නෝය. කොළඹ පමණක් නොව කොළඹ අවට දිස්ත්‍රික්කවල දරුවෝ නෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබන්නෝය. ගිය මාසයේ හත් වැනිදා උණ රෝගයෙන් පෙළුණු දරුවෙක්ට ප්‍රතිකාර කිරීමට ඔහුගේ දෙමාපියෝ දරුවා නෝනා වාට්ටුවට රැගෙන ආවෝය. රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගේ සියලුම විස්තර ලබා ගන්නා විශේෂ වැඩපිළිවෙළක් කොරෝනා රෝගය නිසා රෝහලේ ක්‍රියාත්මක වේ. රෝහල කියන විට මේ උණ රෝගයෙන් පෙළුණු මිනුවන්ගොඩ දරුවාගේ සත්‍ය තොරතුරු රෝහලට ලැබී නැත. දරුවා රෝහලට රැගෙන එන විට මිනුවන්ගොඩ කොරෝනා දෙවැනි රැල්ලට හසු වී තිබුණේය. උණ රෝගයෙන් පෙළුණු නිසා හා අවදානම් ප්‍රදේශයක සිට පැමිණි නිසා දරුවා පීසීආර් පරීක්ෂාවකට ලක් කළේය. එහි ප්‍රතිඵලෙන් තහවුරු වූයේ දරුවාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බවයි. දරුවාගේ මවගෙන් දීර්ඝ වශයෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ දරුවාගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන තැනැත්තෙක් බවත් ඔහු කොවිඩ් - 19 රෝගයට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටින බවය. රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වූ පළමු කොවිඩ් - 19 රෝගියා මිනුවන්ගොඩ කොවිඩ් - 19 පොකුරේ අයෙක් බව හෙළි විය. මේ හේතුවෙන් දරුවාත් මවත් වහාම අයිඩීඑච් උණ රෝහල වෙත යොමු කළහ. රෝගී දරුවා හමු වී දින දෙක තුනකින් රෝහලේ සුළු සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට පත් විය. ඒ වන විට කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයකු ආසාදිතයකු වූ බව වාර්තා විය. මේ දෙදෙනාම නතර වී සිට ඇත්තේ රිජ්වේ ළමා රෝහල ඉදිරිපස ඇති ලෙස්ලි රණගල මාවතේ බෝඩිමක බව අනාවරණය විය. මේ පුවතත් සමග අදාළ සේවකයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ අතර රෝහල් කාර්ය මණ්ඩලයේ 30 දෙනකුට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කළේය. එහෙත් මෙසේ නිරෝධායනයට යොමු කළ කිසිවකුටත් කොරෝනා වැලඳී තිබුණේ නැත. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පසුගිය 28 වැනිදා වන විට දරුවන් 9 දෙනකු සහ ඔවුන් සමග සිටි මව්වරුන් 6 දෙනකු කොරෝනා ආසාදිතයන් බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කළේය. රෝහලෙන් මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිත දරුවන්ගෙන් එක් අයෙක් හැර අනෙකුත් සියලුම දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ආශ්‍රිතයන් සමග සබඳතා පවත්වපු අය බව හෙළිවී තිබේ. අපේ රෝහලට යම්කිසි රෝගයකට ප්‍රතිකාර සඳහා පැමිණෙන දරුවන්ට රෝහල තුළදී කොවිඩ් වයිරසය ආසාදනය වෙන්න තිබෙන ඉඩකඩ අපි හුඟක් අහුරලා තියෙන්නෙ. කොටින්ම රෝහල තුළදී වයිරස ආසාදිතයකු වෙන්නේ නැති තරම්. දරුවන්ට ආරක්ෂිත පරිසරයක් අපි රෝහල තුළ නිර්මාණය කරලා තියෙනවා. කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කියලා සැක කරන දරුවන්ගේ වාර්තා එන තෙක් ඔවුන්ව විශේෂිත ආරක්ෂා සහිත පරිසරයක රඳවලා ප්‍රතිකාර කරනවා. යම් විදිහකින් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු ​වුණොත් ඒ අයව අයිඩීඑච් රෝහලට යවනවා’’ රෝහල් අධ්‍යක්ෂවරයා කියන්නේය. ශ්‍රියානි විජේසිංහ ඡායාරූප - ඒශාන් දසනායක
 

More News..