ක්‍රීඩා

නොදත් අය සසල වන ‘ආදරණීය කනේ පහර’

අද රටේ ඕනෑම ඕපාදූපයක් පවා ඉක්මනින්ම සමාජගත කිරීමට නම් සමාජ මාධ්‍ය තරම් දෙයක් තවත් නැත. කිසිදු වගකීමක්, අධීක්‍ෂණයක්, නියාමනයක් නැතිව ඉබාගාතේ ගමන් කරන සමාජ ජාලයන්හි ඕනෑ දේ සේම එපා දේද ඇතැම්විට සමාජගත වීම නොවැළැක්විය හැකි කාරණයක් බවට මේ වනවිට පත්ව තිබේ.

ඒ අනුව මේ සතියේදී ක්‍රීඩාව සම්බන්ධයෙන් යම් ආන්දෝලනාත්මක වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ වේගයෙන් සංසරණය වීම ආරම්භ වී තිබිණි. වීඩියෝවේ දැක්වුණේ රග්බි පුහුණුවීම්හි නිරතව සිට ක්‍රීඩාංගණයෙන් එපිටට දිවයන පාසල් වියේ ක්‍රීඩකයෙක්ට පුහුණුකරුවෙකු යැයි පැවසිය හැකි අයෙක් විසින් කනේ පහරවල් කිහිපයක් එල්ල කරන ආකාරයකි.

සමාජ ජාලා වෙත වීඩියෝව මුදාහැර හෝරා කිහිපයක් ගතවෙත්ම එය දැවැන්ත සමාජ කථිකාවක් බවට පත්විය. ඒ පිළිබඳව ක්ෂේත්‍රයේ රග්බි ප්‍රවීණයින්, ක්‍රීඩකයින්, රග්බි ක්‍රීඩා ලෝලීන් සේම, සමහර විටක රග්බි බෝලයේ හැඩයවත් නොදන්නා නා නා විධ උදවිය පවා මේ වෙනුවෙන් සිය අදහස් දැක්වීමට වගබලාගෙන තිබුණි.

මෙම වීඩියෝව දුටු හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු සිය ට්විටර් ගිණුමේ දක්වා තිබුණේ ‘මේක වැරදියි. මෙය පුහුණු කිරීමක් නොවෙයි අපයෝජනයක්’ යැයි කියාය. බැලූ බැල්මට එය සැබැවින්ම කායික දණ්ඩනයක් ලෙස යමෙක්ට අර්ථ දැක්විය හැකිය. නමුත් රග්බි ක්‍රීඩා කළ ඇත්තෝ ඒ බව දනිති. ඔවුන් පවසන්නේ රග්බි ක්‍රීඩාවේ ස්වභාවය එසේ යැයි කියාය. ඒ වෙනුවෙන් ඉදිරිපත්ව තිබුණු බහුතරයක් අදහස්හි අන්තර්ගතව තිබුණේද, ‘මේ තමයි රග්බි’ කියන කාරණයයි.

රග්බි ක්‍රීඩාව කිරීමට අත්‍යාවශ්‍ය ශක්තිවන්තයින්ය. ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව ඉස්තරම් අයුරින් තිබිය යුතුය. ප්‍රතිවාදියා මෙල්ල කරමින් ඔවුන් පරයා ඉදිරියට ඇදෙන්නට නම් දක්ෂතාවට අමතරව ඉහත කී කාරණා කුඩා අවදියේ පටන්ම රග්බි ක්‍රීඩකයෙක් ප්‍රායෝගිකව ප්‍රගුණ කර තිබීම අනිවාර්යය.

එබැවින් රග්බි ක්‍රීඩාවේදී කනේ පහරක් යනු, ක්‍රීඩකයෙක්ට එක්තරා අයුරකින් ලැබෙන උත්තේජනයකි. එකී උත්තේජනය සෑම රග්බි ක්‍රීඩකයෙක්ම කුඩා අවධියේ පටන්ම තම ලෙයට එන්නත්කර ගැනීමට හුරු වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. පිටතින් බලන අයෙක්ට එහි වැරැද්දක් පෙනුනද, මෙරට රග්බි කෂේත්‍රයේ මෙම කාරණය අමුත්තක් නම් නොවේ.

යම් ක්‍රීඩකයෙක් එවැනි දෙයක් පීඩාවක් ගෙනදෙන්නක් ලෙස භාර ගතහොත්, තරගයක් අතරතුරදී ප්‍රතිවාදී පිල ‘කාය ශක්තියේ’ අවි අමෝරාගෙන එල්ල කරන පීඩනය කෙසේනම් දරා ගන්නද? මොට ආයුධයක්, තියුණු ආයුධයක් දක්වා මුවහත් කිරීමේදී රත් පැහැ වන තෙක් ගින්නෙන් දැවී දැවී ඇති හැටි මිටි පහර කන්නේ යම් සේද රග්බි ක්‍රීඩකයාත් එසේය. තමන්ට පීඩනය ගෙන දෙන්න ගෙන දෙන්න ඔවුන් සිය දක්ෂතාවෙන් මුවහත් වන්නේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ රග්බි ක්‍රීඩකයින් කිහිප පලකගෙන් විමසන ලදුව ඔවුන් කියා සිටියේ, ‘අපිත් ඔය කියන වීඩියෝ පටය දැක්කා. රග්බි ක්‍රීඩා කරලා තියෙන, අඩුම තරමේ ප්‍රැක්ටිස්වත් ගිහින් තියෙන කෙනෙක්ටනම් ඒ විඩියෝවේ ලොකු දෙයක් නැහැ. රග්බි කියන්නේ ගොඩක් දරා ගැනීමේ හැකියාව ඇතුව ක්‍රීඩා කරන්න ඕනේ ක්‍රීඩාවක්. ඒ නිසා රග්බි ක්‍රීඩකයෙක්ට කනේ පාරක් කනවා කියන එක සාමාන්‍ය දෙයක්.

මං හිතන්නේ කවුරුහරි ජාතික තලයේ හෝ වේවා පාසල් සමයේ හෝ වේවා රග්බි ගහලා තියෙනවානම් අනිවාර්යයෙන්ම ඔහු කනේ පාරක් හරි මොනයම් හරි දඬුවමක් විඳලා තියෙන්න ඕනේ. ඒ හැමදෙයක්ම දරා ගන්නේ නැතිව රග්බි ක්‍රීඩකයෙක් වෙන්න අමාරුයි.’ යනුවෙන් එක් ක්‍රීඩකයෙක් පැවසීය.

අදටත් රග්බි තරගයක් ආරම්භ වීමට පළමුව ක්‍රීඩකයින්ට කනේ පහරක් ගැසීම සාමාන්‍ය කාරණයක් වී තිබේ. විටෙක එය ක්‍රීඩකයාගේ වන ආතතිය සමනය කරන එක් ක්‍රමවේදයකි. එය අතීතයේ පටන්ම රග්බි ක්‍රීඩාවේ ‘දිරි’ දීමේ ක්‍රමයක් ලෙස පැවත එන්නකි. මෙම වීඩියෝව ප්‍රසිද්ධියට පත් වීමත් සමගම එසේ තරගයකට මුහුණදීමට පෙරාතුව පාසල් අවදියේ ක්‍රීඩකයින් පිරිසකට ‘දිරි’ දීම පිනිස කනේ පහර ගසා ක්‍රීඩාංගණයට යොමු කිරීමේ තවත් වීඩියෝවක්ද අන්තර්ජාලයට එක්කොට තිබුණේ ඉහත සඳහන්කළ වීඩියෝවට ප්‍රතිචාර දැක්වීමක් ලෙසිනි.

කොටින්ම රග්බි ක්‍රීඩා කර කනේ පහරක් නොකෑ ක්‍රීඩකයෙක් නැති තරම්ය. එය නායකයාගේ පටන් අතිරේක ක්‍රීඩකයා දක්වාම පොදුය. ඇතැම් ක්‍රීඩකයින්ට තරගයට පෙර හොඳ කනේ පාරක් කෑවේ නැතිනම් එය දැනෙන අඩුවක් වන තරමටම රග්බි ක්‍රීඩකයා හා කනේ පහර අතර ඉතා කිට්ටු ගනුදෙනුවක් වෙයි. නොදන්නා කෙනා දකින විට තිත්ත නමුත් පැත්ත නොගෙන කියන්නේ නම් රග්බි ක්‍රීඩාවට ඇත්ත මෙයයි. රග්බි ක්‍රීඩකයාට අනුව එය ඔහුට ආදරයෙන්ම දෙන කනේ පහරකි. රග්බි පමණක් නොව තවත් ක්‍රීඩාවන්ටද මෙය අරුමයක් නොවේ.

ගයාශාන් විතානආරච්චි