කතුවැකි

නෙළුව පොලිසියේ ඕ.අයි.සී.ට නෙළන්න ඕනෑ නැද්ද?

‘‘ලිංගික අතවර ගැන පැමිණිලි කරන්නට ආ දැරියට පොලිස් කොස්තාපල්ගෙනුත් අතවර’’ යන හිසින් යුත් පුවතක් ඊයේ අප පුවත්පත වාර්තා කොට තිබිණ. සියලුම මාධ්‍ය ප්‍රමුඛ පුවතක් සේ වාර්තා කළ මෙම සිදුවීම වාර්තා වූයේ නෙළුව ප්‍රදේශයෙනි. පැමිණිලිකාර බාල වයස්කාරියට පොලිස් ස්ථානයේදීම හිරිහැර කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් චූදිතයා අත්අඩංගුවට ගත් පමණින් වින්දිතයාට සාධාරණය ඉටුවූයේ යැයි සෑහීමකට පත්විය නොහැකිය. අප කල්පනා කරන ආකාරයට මෙම සිදුවීම සම්බන්ධයෙන් චූදිත පොලිස් නිලධාරියා පමණක් නොව නෙළුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිසියම වගකිව යුතුය.

අතවරයට පත් දැරිය තම මව සමග නෙළුව පොලිසිය වෙත යන විට සියලු පොලිස් නිලධාරිනියන් සේවය නිමවා නිවෙස් බලා ගොස් සිටි බව කියැවේ. මෙය නෙළුවට පමණක් නොව ලංකාවේ බොහෝ පොලිස් ස්ථානවල පොදු තත්ත්වයයි. සවස 5 න් පසු බොහෝ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරිනයන් තබා ප්‍රමාණවත් තරම් පොලිස් නිලධාරින්ද නැත.

කාන්තාවන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අතවර සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි සටහන් කිරීම හා විමර්ශන කළ යුත්තේ පොලිස් නිලධාරිනියකගේ සහභාගිත්වයෙනි. මෙහිදී එම නියමයට අනුව කටයුතු සිදු වී නැත. සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් පසු වින්දිතයාට හා ඇයගේ මවට රාත්‍රිය පොලිස් ස්ථානයේ ගත කරන ලෙස දැනුම් දී තිබේ. විත්තිකරුවන් පොලිසියේ රඳවා ගන්නා නමුත් පැමිණිලිකරුවන් පොලිස් ස්ථානයේ රඳවා ගන්නා බවක් අප නම් මීට පෙර අසා නැත. අනෙක් අතට කාන්තාවන් දෙදෙනෙක් පොලිස් නිලධාරිනියක හෝ නොමැතිව රැයක් එළිවන තෙක් පොලිසියේ රඳවා ගත්තේ කෙසේද? එසේ නම් දැරියට අතවර කිරීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයාට පෙර දඬුවම් කළ යුත්තේ මව හා දියණියක රාත්‍රිය පුරා පොලිස් ස්ථානයේ රඳවාගත් ස්ථානාධිපතිවරයාටය.

මව හා දියණිය රාත්‍රියක් පුරා පොලිස් ස්ථානයේ රඳවා ගත්තත් එම කාලය තුළ කිසිදු විමර්ශනයක් සිදුව නැත. පැමිණිල්ලෙන් චෝදනා එල්ල වූ පුද්ගලයාව පොලිස් ස්ථානයට ගෙන්වීමක් හෝ කටඋත්තරයක් ලබාගැනීමක් සිදු වූ බවක්ද දැන ගන්නට නැත. මේ නිසා ස්ථානාධිපතිවරයාද මෙම මව හා දියණිය රාත්‍රියේ පොලිස් ස්ථානයේ රඳවා ගත්තේ යම් යටි අරමුණක් සහිතව යැයි යමකු චෝදනා කරන්නටද ඉඩ තිබේ. පැමිණිලිකරුවකු විශේෂයෙන්ම කාන්තාවන් දෙදෙනකු රැයක් පුරා පොලිස් ස්ථානයේ රඳවා ගැනීම නෛතික වශයෙන් මෙන්ම සදාචාරාත්මක වශයෙන් ද වැරදි ක්‍රියාවක් බව ස්ථානාධිපතිවරයාගේ ඔළු ගෙඩියට නොතේරුණත්, ඒ බව කියා දෙන්නට දැනුම් තේරුමක් ඇති එකම පොලිස් නිලධාරියකු හෝ නෙළුව පොලිසියේ නොසිටීම නම් පුදුමයටම කාරණයකි.

නෙළුව පොලිසියේ කෙරුවාව ගැන තේරුම් ගත හැකි තවත් කාරණයක් මෙම සිදුවීම තුළින් මතුව තිබේ. සාමාන්‍යයෙන් පොලිස් සිර මැදිරියක් තුළ හෝ බන්ධනාගාරයක සිටින සැකකරුවකුගේ ප්‍රකාශ වීඩියෝ කරන්නට අවසරයක් නැත. එහෙත් පොලිස් ස්ථානය තුළ බාලවයස්කාර දැරියකට අතවර කරන්නට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයාගේ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ දර්ශන රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශය වූයේ කෙසේද? ඔහුගේ ප්‍රකාශයක් වීඩියෝ කිරීම මාධ්‍යවේදියාගේ දස්කමක් ලෙස සැලකිය හැකි නමුත් ඔහු ඒ දස්කම කරන තෙක් පොලිසියේ වගකිවයුත්තන් සිටියේ කොහිද?

මේ ආකාරයට පොලිස් ස්ථාන තුළ වීඩියෝගත කරන සිදුවීම් නෙළුවේ පමණක් නොව බොහෝ පොලිස් ස්ථානවලදී දැකගත හැකි කාරණයකි. මේ ආකාරයට පාදුක්ක පොලිසිය තුළ පටිගත කළ වීඩියෝ දර්ශන කිහිපයක් ද සමාජ මාධ්‍ය තුළ මෙන්ම ප්‍රධාන ධාරාවේ විද්‍යුත් මාධ්‍යවල ද ඊයේත් විකාශය විය.

පොලිස් නිලධාරින් සිදුකරන වැරදි සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියා කරන බව පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබේ. අප කල්පනා කරන ආකාරයට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නැත. අනෙක් අතට නීතිය ‘දැඩිව’ ක්‍රියාත්මක කරනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නද පැහැදිලි නැත. කළ යුතුව ඇත්තේ නීතිය හරියට ක්‍රියාත්මක කිරීමය.

නීතිය හරියට ක්‍රියාත්මක කිරීම යනු වැරැද්දක් කළ අයට නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් නොවන බව ද සරත් වීරසේකර අමාත්‍යවරයාට මතක් කර දිය යුතුය. පොලිසිය අතින් නීතිය උල්ලංඝණය වීම සිවිල් වැසියන් අතින් ඒ වරද සිදුවීමට වඩා බරපතළ කාරණයකි. ඒ ඔවුන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින පිරිසක් නිසාය. මේ නිසා ප්‍රථමයෙන් සිදු කළ යුත්තේ නීතියට අනුව වැඩ කරන්නේ කෙසේද යන්න පොලිසියට ඉගැන්වීමය.

නෙළුව පොලිසියේදී සිදුව ඇති පළමු වැරැද්ද බාලවයස්කාර පැමිණිලිකාරියක අතවරයකට ලක්වීම නොව පොලිසිය නීතියට අනුව කටයුතු නොකිරීමය. නීතියට අනුව කටයුතු කළේ නම්, කාන්තා පොලිස් නිලධාරිනියක නොමැතිව අතවරයක් සම්බන්ධ පැමිණිල්ලක් භාර ගැනීම සිදුවන්නේ නැත. ලිංගික අපචාර වින්දිතයන් පොලිස් ස්ථානවලදී මෙන්ම අධිකරණමය ක්‍රියාමාර්ගය තුළ දී ද යළි යළිත් පීඩාවට අවමානයට, අපේක්ෂා භංගත්වයට පත්වන්නේ නීතියේ ප්‍රශ්නයක් නිසා නොව ඒවා ක්‍රියාත්මක කරන අයගේ අවබෝධය, දැනුමේ ආකල්පවල ප්‍රශ්නයක් නිසාය.

මේ නිසා වැරදිකරුවන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නට පෙර මේ තත්ත්වය වෙනස් කරන්නට කළ හැක්කේ කුමක්දැයි කල්පනා කරන ලෙස අප සරත් වීරසේකර අමාත්‍යවරයාට යෝජනා කරමු.

කෙසේ වෙතත් අමාත්‍යවරයාට හිතන තරම් පහසුවෙන් පොලිසියේ සිටින නොසන්ඩාලයන්, හොරුන්, තක්කඩියන් ගැන පියවර ගන්නට හැකි වේදැයි සැක සහිතය. පොලිසිය ක්‍රියාත්මක වන්නේ පොලිසිය විසින් නොව දේශපාලනය විසින් නිසාය. දැන් යළිත් වරක් පොලිස් ස්ථානාධිපතිවරුන් නිර්දේශ කරන්නේ ආසන සංවිධායකවරුන් විසිනි.

එක මකුණෙක් කෑ විට සියලු මකුණන් මැරීම සාමාන්‍ය සිරිත නමුත් පොලිසියේ සියලු දෙනා නරුමයන් යැයි අප කියන්නේ නැත. නෙළුව පොලිසිය තුළදී තමන්ගේම වෘත්තීය සගයකු බාලවයස්කාර දැරියකට අතවර කරන්නට උත්සාහ කරන විට ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි සිටි තවත් පොලිස් නිලධාරියෙකි. ඔහුට අපගේ ආචාරය. එම නීතිගරුක, විනයගරුක පොලිස් නිලධාරියා නොසිටින්නට නෙළුව පොලිසියේදී අතවර හිරිහැරවලට ලක් වූ මව හා දියණිය මෙම සිදුවීමේ විත්තිකරුවන් බවට පත්වීමටද ඉඩ තිබිණ.