කතුවැකි

නීතිය නොදත් ජාතිය වෙළාගත් භීතිය

පසුගිය දිනවල තරුණියකගේ ගෙල කපා කවන්ධය බෑගයක දමා කොළඹ කොටුවේ වේල්ල වීදියට ගෙනත් දැමූ පුවත අතිශය ආන්දෝලනාත්මක විය. ඒ ගෙල සිඳි අනියම් පෙම්වත් පොලිස් නිලධාරියාද තමා ඝාතනය කළ බව සඳහන්කර ගෙල වැලලාගෙන මිය ගියේය. මිනී මැරුම කළ බවද ලියා තබා මිනීමරුවාද මිය ගියෙන් කවුරුත් සිතුවේ සිද්ධිය එතැනින් හමාරය කියාය. එහෙත් ඒ සිදුවීමෙන් පසු දින ගණනාවක් තිස්සේ කැලණි ගඟ දිගේ බෝට්ටු යොදාගෙන ආරක්ෂක අංශ මළ තරුණියගේ හිස සොයන්නට විය. සේරම කතාව සම්පූර්ණ නම්, හිස සොයන්නේ කුමකටද යන සැකයට උත්තරයක් සොයා ගන්නට, පැහැදිලි කරගන්න විදියක් හුදී ජනයාට තිබුණේ නැත. නීතියේ හැටියට මිනියක් සම්පූර්ණ වන්නේ මිය යන මොහොතේ ඔහුගේ සිරුරේ තිබූ සියලු කොටස් තිබුණොත් පමණය. එය මළ මිනියක් ලෙස පිළිගෙන ඒ නඩුව අවසාන කළ හැක්කේ හිස කොටසත් සොයාගෙන එය හඳුනාගතහොත් පමණය. එසේ සොයා නොගෙන පසු කාලීනව එය සොයා ගතහොත් එය තවත් නඩුවක් වන්නේය.

කලාතුරකින් යෙදෙන මෙබඳු කුතුහලනාත්මක දේ සංසිඳුවා ගැනීමට පමණක් නොව ජීවිතයේ අත්‍යවශ්‍ය බෙහෝ දෑට අදාළ නීති රීති ගැන සමාජයේ තිබෙන අවබෝධය අඩුය.

නීතිය නොදැනීමෙන් සමාජයට වෙන්නේ කුමක්ද?

නීතිය නොදැනීමෙන් අහිමිව යන්නේ තමන්ගේ අයිතිවාසිකම්ය.

මීට දශක පහකට පමණ පෙර මෙරට රෝගීන් තමන්ගේ අයිතිවාසිකම් ගැන දැන සිටියේ නැත. රජයේ රෝහලට යන රෝගියා තමන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා කෙරෙහි දැක්වූයේ අප්‍රමාණ භය පක්ෂපාතී ගෞරවරයකි. වැලඳී තිබෙන රෝගයත්, එයට කරන ප්‍රතිකාරයත් ගැන තොරතුරු විමසීම රෝගියාගේ අයිතියක් බව එදා බහුතරයක් දැන සිටියේ නැත. එපමණක් නොව තමන්ට නියම කරන බෙහෙත වෙළෙඳ නාමයෙන් නොව ඖෂධ නාමයෙන් නියම කරන ලෙස වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නට අයිතියක් තිබෙන බව ජනතාව දැන සිටියේ නැත. අයිතිය පැන නගින්නේ නීතියෙනි. නීතිය ගැන නොදැනුම නිසාම එදා වෛද්‍යවරු වෙළෙඳ නාමයෙන් බෙහෙත් නියම කිරීම ආදී ආධිපත්‍යයක් දරාගෙන උන්හ. ඒ නිසාම සබුද්ධික ඖෂධ ව්‍යාපාරයටද ප්‍රගතිශීලී වෛද්‍යවරුන්ටද, රජයටද, ලෙඩාට තියෙන නීතියේ අයිතිය ගැන දැනුවත් කරන්නට සිද්ධ විය. අද වෛද්‍යවරයා වෙත යන්නේ නීතිය ගැන වැටහීමක් තිබෙන රෝගියෙකි.

පොලිසිය තිබෙන්නේ නීතිය සහ සාමය ආරක්ෂා කරන්නටය. එහෙත් නීතිය ගැන ජනතාව නොදැන සිටීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව පිහිටු වූ දා සිට ජනතාවට තැලෙන්නට සිදුවිය. මීට දශක කිහිපයකට පෙර තාත්තා හොරකම් කළා නම් තාත්තා ගෙනත් දෙන තුරු පුතාව පොලිස් කූඩුවේ ලැග්ගවීම සොරු ඇල්ලීමේ පහසු ක්‍රමයක් ලෙස පොලිසිය යොදා ගත්හ. නිර්දෝෂී තැනැත්තකු අපරාධකරුවකු වෙනුවට පොලිසියට ගෙන යාම අපරාධයක් බව සමාජය තේරුම් ගත්තේ 80 දශකයේය.

එමතු නොව යමකු අත්අඩංගුවට ගන්නේ නම් ඒ අත්අඩංගුවට ගැනීමට පෙරාතුව තමන්ට එරෙහිව තිබෙන චෝදනාව පැහැදිලි කර දිය යුතුය යන නීතිය ගැන ජනතාව අවබෝධයෙන් කටයුතු කරන්නේ මෑතක සිටය. ඊට පෙර සිදුවූයේ ‘ඇඳුමක් දාගෙන වරෙන් යන්න පොලිසියට’ කියා පොලිසියෙන් කුදලාගෙන යාමය. මේ සියලු දේ අයුක්තීන් සිදුවීමට එක් හේතුවක් වූයේ ජනතාව නීතිය ගැන නොදන්නා නිසාය. නීතිය ගැන ජනතාව නොදන්නා තරමට පොලිසිය මතු නොව රෝහලද හැසිරෙන්නේ මර්දනකාරී ආයතන ලෙසය. එපමණක් නොව ජන ජීවිතයට අදාළ ඇතැම් නීතිරීති මහජනතාවගෙන් සැඟව තිබේ.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියාට, සාම නිලධාරියකු ලෙස කටයුතු කිරීමට වුවමනා පොලිස් බලයෙන් කොටසක් තිබේ. ඔහුට තම වසමේ අපරාධ මැඬ පැවැත්වීමට, කසිප්පුකරුවන් අල්ලාදීමට බලය තිබේ. නමුත් ග්‍රාම නිලධාරියගෙන් ඒවා ක්‍රියාත්මක කරවා ගන්නට ජනතාව නොයති.

කෑම දෙන සෑම ආපනශාලාවකම වැසිකිළියක් තිබිය යුතුය. නමුත් බත් පාරිභෝගිකයෝ ඒ බව නොදනිති. මේ නිසාම මේ සේවා ආයතනවලින් සපයා ගන්නට ජනතාව නොදනිති.

මහ පාරේ වාහන නතර කිරීම තහනම් කිරීමේ බලය ඇත්තේ නාගරික කොමසාරිස්ටය. එහෙත් අපේ රටේ පාරේ තිබෙන බෝඩ්වල ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ අණ පරිදි එය තහනම් බවය. මෙබඳු පුවරු අසල වාහන නවතා දඩකොළ ගෙවා යන්නේ ජනතාවට නීතිය ගැන වැටහීමක් නැති නිසාය.

මේ රටේ හොඳටම නීතිය දන්නේ නීතිඥයන් ඇතුළු අධිකරණ හා පොලිස් සේවාවය. ඊළඟට හොඳටම නීතිය දන්නේ මහජනතාව නොව අපරාධකාරයෝය. අධිකරණයෙන් සිර දඬුවම් විධින වෙලේසුදා තමන්ට අපහාස කළ බවට පත්තරවලට එන්තරවාසී එවන්නේ එහෙයිනි. මේ රටේ රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වී දැන් වසර දෙසීයකට වැඩිය. ඒ නිසා ඕනෑම දෙයකට වුවමනා නීති දැන් තිබේ.

මෙබඳු තත්ත්වයක් යටතේ නීති පැනවීමට වඩා, තිබෙන නීති ක්‍රියාවට නැගීම උතුම්ය. සිද්ධ විය යුත්තේ නීතියට අනුව ක්‍රියා කිරීමය. ඒ සඳහා ජනතා දැනුවත් විය යුතුය. මේ මොහොත වන විට නීතිය පාසල්වල විෂයක් ලෙස ඉගැන්වීමට තීන්දු කර තිබේ. එය ඉතා සාධනීය පියවරකි. බාල කාලයේම නීතිය ගැන සේම ඒ අනුව ජීවත්වීම ගැනද ඉගැන්විය යුතුය.