විශේෂාංග

නීතියේ රැකවරණය යටතේ සිටියදීත් අපායට ටිකට් ගත් පාතාල කෙරුමෝ

මරණ භය වූ කලී අප කාහටත් දැනෙන මහත් භයංකර දෙයකි. එහෙත් අප සිතන්නේ පාතාලයේ කෙරුම්කාරයන්ට නම් මරණ භය දැනෙන්නේ නැතැයි කියාය. අප කවුරුත් ඔවුන් හඳුනාගෙන සිටින්නේ අනුන්ට මරණ භය ඇතිකරන පිරිසක් වශයෙනි. එහෙත් ඇත්ත කතාව නම් පාතාලයේ නායකකම් කරන ‘‘ගෝඩ් ෆාදර්ලා’’ මෙන්ම, ඔවුන්ගේ කුලී හේවායන්ද නිරන්තරවම භය භීතියෙන් පසුවන්නන් බවය. ගිනි අවි හෝ උල් ආයුධ යහමින් භාවිත කළද පාතාලයේ උදවිය තමන්ගේ හෙවණැල්ලටත් අවි මානන තරම් භයෙන් ජීවත් වන්නෝය.

පාතාලයේ කෙරුම්කාරයන් එක් පැත්තකින් පොලිසි හෝ හමුදා ආදී ආරක්ෂක අංශවලට බයය. තවත් පැත්තකින් තමන්ගේ ප්‍රතිවාදී කල්ලිවලට බයය. තවත් පැත්තකින් තමන්ගේම කල්ලියේ ගෝඩ්ෆාදර්ටද බයය. ගෝලබාලයන් කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳුණහොත් ගෝඩ් ෆාදර්ලාද විශ්වාස නැත. පාතාලයේ උදවිය තමන්ගේ හෙවණැල්ලටත් බය පිරිසක් බව මුලින් කීවේ මේ කාරණා හේතුවෙනි. කවුරුන්, කොතැනක හෝ කුමන වේලාවක හෝ ගිනි බිඳිතියි කියා ඔවුහු බියෙන් කල් ගෙවති.
අප මේ කියන්නට යන්නේ පොලිස් ආරක්ෂක හෝ බන්ධනාගාර ආරක්ෂාව නැතිනම් මේ දෙකම තිබියදී පවා බන්ධනාගාරය තුළ, බන්ධනාගාර බසයක් තුළ හෝ උසාවියක දී හෝ ප්‍රතිවිරුද්ධ පාතාලයන් අතින් මැරුම් කෑ වෙඩි කෑ පාතාලෙ අයියලා ගැනය. සාමාන්‍යයෙන් පාතාලේ ගෝඩ් ෆාදර්ලා සහ ඔවුන්ගේ ගෝලබාලයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ මීගුලක සිටින මීයන් පරිද්දෙන්ය. ඔවුන් එසේ සැඟව සිටින්නේ භීතිය නිසාය.

ප්‍රතිවාදී පාතාල කල්ලිකරුවන් කල් මරමින් සිටින්නේ සැඟවී සිටින ‘‘මීයන්’’ ගුලෙන් එළියට එනතුරුය. ඔවුන් එළියට එන තැන, වේලාව, දවස, තවත් පාර්ශ්වයකට දැන ගැනීම තරමක් අසීරුය. එය හරියටම දැනගත හැකි වන්නේ ඔවුන් බන්ධනාගාරගත වූ විටය. ඒ, ඔවුන් උසාවි යන එන දවස, වෙලාව, තැන, බන්ධනාගාර බස් රථය ගමන් ගන්නා මාර්ගය ආදිය ගැන තොරතුරු විරුද්ධ පාර්ශ්වයට ටක්කෙටම ලැබෙන නිසාය. එය ඔවුන්ට ඇරියස් කවර් කරගන්නට’ ලැබෙන අවස්ථාවකි.
උසාවි භූමියේදී වුව තම විරුද්ධවාදියාව ඝාතනය කිරීමට වුව පාතාල කෙරුම්කාරයන් පසුබට නොවෙති.

උසාවි භූමියේ පොලිස් නිලධාරින් බොහෝමයක් සිටියද ඔවුන් එකිනෙකා හඳුනන්නේ නැත. පොලිස් නිල ඇඳුමෙන් සැරසුණ අයෙක් ගැන කිසිවෙක් සැක කරන්නේද නැත. උසාවි භූමියේ ගැවසෙන සිවිල් වැසියෙක් ගැන වුව විශේෂ අවධානයකට ලක් වන්නේ ඔහු හෝ ඇය සැකකටයුතු ලෙසින් හැසුරුණොත් පමණි. එකී මෙකී නොකී බොහෝමයක් හේතු තම ගොදුර උසාවි භූමියේදී දඩයම් කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙන්නේය. ඇතැම් පාතාලයන් පොලිස් වෙස්ගෙන තම ඉලක්ක ජය ගන්නටද එති!

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බන්ධනාගාරයේදී ඝාතනයට ලක්වන්නේ නොයෙල් අමරසිංහ නොහොත් රාජගිරියේ පැටීය. රාජගිරියේ පැටී, චින්තක අමරසිංහගේත්, ධම්මික අමරසිංහගේත් මාමාය. රාජගිරියේ පැටීගේ ප්‍රතිවාදියා වූයේ එකල ලංකාව සොලවාගෙන සිටි පාතාලයේ ගෝඩ්ෆාදර් යැයි ප්‍රකට සොත්ති උපාලිය. ඔහුට එවකට පැවති යූඑන්පී ආණ්ඩුවේ දේශපාලන රැකවරණ ඉහළින්ම ලැබුණේය.

සොත්ති උපාලිට, චින්තක අමරසිංහලාගේ පවුල සමග ආරවුලක් තිබිණි. එබැවින් ඔවුන් දඩයම් කරන්නට සොත්ති උපාලි සැලසුම් කළේය. අමරසිංහලාගේ රාජධානිය වූයේ රාජගිරියේ ඔබේසේකරපුරය.

දිනක් සොත්ති උපාලි ඇතුළු පාතාල කල්ලිය රාජගිරියේ ඔබේසේකරපුර ආක්‍රමණය කළහ. නොයෙල්ගේ අමරසිංහගේ බාල සොයුරියක වූ ඊවා අමරසිංහ ඔවුන්ට හසු විය. ඔවුහු ඇය දූෂණය කර මහා මාර්ගය දිගේ නිරුවතින් ඇදගෙන ගොස් පහන් කණුවක ගැට ගැසූහ. නොයෙල්ගේ ඥාතීන් කීප දෙනෙක්ම ඝාතනය කළෝය. නොයෙල් ආරක්ෂාව පතා වැලිකඩ පොලිසියට භාර විය.

එහෙත් ලේ සුවඳට ඉව අල්ලන සොත්ති උපාලි, නොයෙල් මරා දැමීම කොටියාගොඩ නිහාල්ට භාර දුන්නේය. භාරගත් කොන්ත්‍රාත්තුව ඉටු කරන්නට ඔහු කැමැත්තෙන්ම නඩුවක් දමාගෙන වැලිකඩ ගියේය.

එදා බන්ධනාගාර නිලධාරින්ගේ ඇස් වසා බත් පාර්සලයක් තුළ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් හිර ගෙදරට ආවේය. කොටියාගොඩ නිහාල් ඒ ආයුධයෙන් රාජගිරියේ පැටී හෙවත් නොයෙල් අමරසිංහවද ඝාතනය කළේය. එය පාතාල කල්ලිවලට මහත් කම්පනයක් ගෙනා සිද්ධියක් විය.

චින්තක අමරසිංහගේ පාතාල ජීවිතය වැඩෙන්නේ මේ සියල්ල දෙස බලාගෙනය. ආසියාවේ ළාබාලම පාතාල නායකයෙක් ලෙස ඔහු වාර්තා පොත් අතරට එක් වූයේ යන්තම් අවුරුදු විසිඑක සම්පූර්ණ වෙද්දීය.

චින්තක අමරසිංහ තමන්ගේ තාත්තා, මාමා, නැන්දා මැරූ පළිය තමාගෙන් ගන්නා බව සොත්ති උපාලි දැන සිටියේය. ඔහු මීගමුව අධිකරණයේදී චින්තක අමරසිංහ මරා දැමීමේ කොන්ත්‍රාත්තුව කඩුවෙල ප්‍රදේශයේ සිටි චමින්ද නමැත්තෙක්ට භාර දුන්නේය.

චමින්ද මීගමු අධිකරණයේදී චින්තක අමරසිංහට වෙඩි තැබීය. චින්තක අමරසිංහගේ ආරක්ෂාවට සිටි බන්ධනාගාර නිලධාරින් චමින්දට වෙඩි තබා උසාවිය තුළදීම ඝාතනය කළේ ය. චින්තක අමරසිංහගේ ජීවිතය එදා අනූනවයෙන් බේරුණේය.

ජීවිතය බේරාගත් චින්තක අමරසිංහට අපායට ටිකට් දෙන්නේ, කලකට පෙර ඔහුගේම මිතුරෙක් වූ කළු අජිත්ය. එයින් කුපිත වූ ධම්මික අමරසිංහ කළු අජිත්ව මරා දමමින් තම වැඩිමල් සොහොයුරා මරා දැමීමේ ලේ පළිය ගත්තේය.

ධම්මික අමරසිංහ කුකුල් කේන්තිකාරයෙකි. 1990 ත් 2004ත් අතර කාලයේ සිදු වූ ඝාතන 50 කට හා බැංකු මංකොල්ලකෑම් 17 කට ඔහු අවශ්‍ය වී තිබුණේය. මේ අතර බැද්දගාන සංජීවත්, තම තාත්තා, මාමා, නැන්දා ඇතුළු පිරිසක් මරා දැමූ චෝදනාවක් සොත්ති උපාලිට එල්ල වී තිබිණි.

2004 වසරේ ජනවාරි 09 වැනිදා උන්හිටි ගමන් කොළඹ අලුත්කඩේ උසාවිය දෙදරුම් කෑවේය. එදින ධම්මික අමරසිංහ අලුත්කඩේ මහෙස්ත්‍රාත් උසාවියේ කාමර අංක හයේ විභාග වූ නඩුවකට පෙනී සිටියේය. එතැනට පැමිණි නාඳුනන තුවක්කුකරුවෙක් හෙවත් කුලී ඝාතකයෙක් උසාවිය තුළදීම ධම්මික අමරසිංහට මෙසේ වෙඩි තබා ඝාතනය කළේ ය.
තමන් ධම්මික අමරසිංහ ලවා කරගත් අපරාධ හෙළිවෙතැයි බියෙන් දේශපාලකයන් කුලී ඝාතකයකු ලවා ඔහු ඝාතනය කරන්නට ඇතැයි කටකතා පැතිරිණි.

අමරසිංහලාගේ කතාව එසේ ලියැවෙද්දී සොත්ති උපාලිට කණකොකා හඬමින් තිබිණි. ඒ 1994 වසරේ සිදු වූ ආණ්ඩු මාරුවත් සමගිනි. එතැන් සිට උදාවූයේ වූයේ සාත්ති උපාලිගේ ‘රජකම් කළත් කළකම් පලදෙන’ සමයයි. ඔහු පවුගෙවන්නට පටන් ගත්තේ තමන් කළ මැරකම්වලට උසාවිවල බඩ ගාන්නට පටන් ගනිමිනි.

උසාවි අහවර වී පැමිණි උපාලි පිටුපස ඒ වන විට වාහන දෙකක් ලුහුබඳිමින් තිබුණේය. එහි සිට පාතාලයෝ බෝකුන්දර ප්‍රදේශයේ දී සොත්ති උපාලිට වෙඩි තැබූහ. වෙඩි වැදී පණ අදින උපාලිව වාහනයකට දවා ගත් පාතාලයෝ වාහනය තුළදී ඔහුට නැවතත් වෙඩි තැබූහ. ඉන්පසුව බෝකුන්දර සිට කිලෝ මීටර් හතරක් පමණ ඈතට ගෙන ගොස් මහ පාරට ඇද දමා පලා ගියෝය. ලෙයට ලෙයින් පළිගන්නට එය කළේ ධම්මික අමරසිංහ බවට සැක කෙරේ.

ඇඹිලිපිටියට නුදුරු සූරියවැව විසූ රත්නවීර සහෝදරයන්ද 2004-2005 කාලයේ දකුණු ලක හොල්ලාගෙන සිටි පාතාල කල්ලියකි. යුද හමුදා විශේෂ බළකායෙන් පලාගිය සෙබළුන් පිරිසක් යොදා ගනිමින් ඔවුහු දකුණු පළාතේ මිනීමැරුම් මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීම් කරගෙන ගියහ. ඔවුන් නිසා මුළු සූරියවැවම තැතිගෙන සිටියහ. ඔවුන්ගේ ප්‍රතිවාදියා වූයේ ‘වම්බොට්ටා’ය.

මේ අතර, ප්‍රාදේශීය දේශපාලනඥයකු වූ ‘චණ්ඩි මල්ලී’ කොළඹ දී ඝාතනය විය. ඒ ගැන සැක කෙරුණේ රත්නවීරලා ය. පසුව රත්නවීර කල්ලියේ නායකයා වූ සුනිල් රත්නවීර ඇතුළු පිරිසක් බන්ධනාගාර බසයක් තුළ වෙඩි තබා ඝාතනය කෙරිණි. ඒ ඝාතන බැර වූයේ වම්බොට්ටාටය.

හර්ෂ යසස් හෙවත් ‘කඹුරුපිටියේ හර්ෂ’, මාකඳුරේ මධුෂ්ගෙ ප්‍රාණ සම මිත්‍රයෙක් විය. දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිව සිටි ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනයට චෝදනාව එල්ල වූයේ හර්ෂටය. හර්ෂ යසස්ට, සමයංව හම්බ වෙන්නේ අපරාධකාරයන්ගේ විශ්වවිද්‍යාලය යැයි සැලකෙන බන්ධනාගාරයේදීය.

ඒ 2015 සැප්තැම්බර් 23 වැනිදාය. සමයංව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කඩුවෙල උසාවියේ පැවති නඩුවකට සුපුරුදු පරිදි රැගෙන ආවේය. ඒ මොහොතේ බන්ධනාගාර නිලධාරින් හා සමයං උසාවියේ තරප්පු පෙළ නගිමින් සිටියේය. ඒ අතර එතනට පැමිණියේ අත වෙළුම්පටිවලින් බැඳගත් අමුත්තෙකි. ඔහු කිසිවෙක්ට කිසිවක් සිතන්නටවත් ඉඩ නොතියා වෙළුම්පටි තුළ සඟවාගෙන සිටි මිලි මීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් සමයංට වෙඩි තබා ඇසිපිය හෙළන සැනින් පලා ගියේය. ඉන් සමයංගේ ජීවිතය විනාශ නොකළ ද එක් අතක් තුවාල විය.

එය මාකඳුරේ මධුෂ් සමයං ඝාතනය කිරීමට ගත් උත්සාහයකි. සමයං තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙද්දී හර්ෂ ඇප ලබා නිදහස් විය.

හර්ෂ යසස්ගේ පණ නසන්නට සමයං ගැසූ ගැටය ටක්කෙටම හරි ගියේය. හර්ෂ යසස් රාජගිරියේ ඔබේසේකරපුර මාවතේ නිවසක ආහාර ගනිමින් සිටියදී ‘‘ෆුල් ෆේස්’’ හෙල්මට් පැලඳි යතුරුපැදිකරුවෙක් පැමිණ ඔහුට වෙඩි තබා ඝාතනය කළේ ය.

තම මිතුරාගේ ලේ පළිය ගැනීමට මධුෂ් ගැසූ එක සැලැස්මක් ව්‍යර්ථ වන්නේ 2010 මැයි 10 මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය, අංගොඩ, පෙතියාගොඩ ගල් වැඩපොළක පිටුපස සඟවා තිබූ යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල හතරක් අත්අඩංගුවට ගැනීම ඔස්සේය. මධුෂ්ගේ සැලසුම වූයේ හමුදා සාමාජිකයන්ගේ වෙස් ගෙන සමයං මරා දැමීමය.

එහෙත් මධුෂ් උත්සාහය අත්හලේ නැත. ඔහු තම ගොදුර දඩයම් කිරීමට 2016 පෙබරවාරි 17 වැනිදා තෝරා ගත්තේය. ඒ එදා කඩුවෙල උසාවියේ සමයං ඇතුළු තවත් සැකකරුවන් පස් දෙනෙක් අතුරුගිරිය අරංගලදී බාල්දි ප්‍රියන්ත හා ලඩියා ඝාතනය කිරීමේ නඩුවකට සමයංව උසාවි කැඳවා තිබුණ නිසාය.

බන්ධනාගාර ආරක්ෂාව යටතේ සමයං ඇතුළු සැකකරුවන් පිරිස කඩුවෙල අධිකරණය වෙත බන්ධනාගාර බස් රථයකින් ගෙන යමින් සිටියේය. ඒ බස් රථය පිටුපස තවත් බන්ධනාගාර බස් රථයක් පැමිණෙමින් තිබුණ අතර වාහන දෙකේම බන්ධනාගාර නිලධාරින් 11 දෙනෙක් සිටියහ. ඉන් හත් දෙනෙක්ම සිටියේ ගිනි අවිවලින් සන්නද්ධවය.

බන්ධනාගාර බස් රථ ඒ වන විට ධාවනය වෙමින් තිබුණේ කළුතර ජාවත්ත හරියේය. ඒවාට ඉදිරියෙන් කැබ් රියක් ධාවනය වෙමින් තිබුණ අතර, පාරේ වාහන ඕනෑ තරම් ධාවනය වන නිසා කිසිවෙක් ඒ ගැන සැක කළේ නැත. එහෙත් කළුතර උතුර ජාවත්ත පාරේ එතනමඩල ප්‍රදේශයේ ඇති වංගුව ළඟදී ඉස්සරහින් පාර අවහිර කරමින් කැබ් රථය නැවැත්වීය. කඩිමුඩියෙන් ඉන් බැසගත් පොලිස් නිල ඇඳුමට සමාන නිල ඇඳුම් හැඳි පිරිස දුටු බන්ධනාගාර නිලධාරින් හිතුවේ පොලිසිය බස් රථය නවත්වන්නට ඇතැයි කියාය.

ඒත් ඒ සමගම සිදු වූයේ කිසිවකුත් නොසිතූ දෙයකි. සමයං ලා පැමිණ බස්රියට පිටුපසින් ආරක්ෂාවට පැමිණි බස්රියට වෙඩි වරුසාවක් එල්ල විය. ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට බන්ධනාගාර නියාමක එස්. සන්තිගම් මහතා පටන් ගනිද්දීම විරුද්ධ පාර්ශ්වයෙන් ආ වෙඩි උණ්ඩයක් ඔහුට වැදුණේය. බන්ධනාගාර ජේලර් එස්. ආර්. විජේරත්න ඊළඟ වෙඩි උණ්ඩයට ගොදුරු විය.

පොලිස් උප පරීක්ෂකවරයකුගේ නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගත් වෙඩික්කරුවෙක් මුලින්ම බන්ධනාගාර බස්රියට ගොඩ විය. ඒ වන විටත් රියැදුරු වෙඩි නොවදින සේ ගුලිවී සිටි අතර සැකකරුවෝ සැඟවෙන්නට උත්සාහ කළෝය.

‘‘සමයං… සමයං…’’ යැයි ඔහු ගුගුරන්නට වෙද්දී සමයං හිස එසවීය. ඒ සමගම වෙඩික්කරුවෝ සමයන්ට වෙඩි තැබීය. මරු විකලෙන් සිටි සමයංව බස් රියේ පඩිපෙළ ළඟට ඇදගෙන ආ වෙඩික්කරුවා, යළිත් ඔහුට වෙඩි තබා මරා දැමීය. පාතාලයෝ එහි සිටි ඉතිරි සැකකරුවන්ටද වෙඩි තැබූහ.

එකම නඩුවකට, එකම විත්ති කූඩුවකට නගින්නට සිටි විත්තිකරුවෝ පස් දෙනාම එකම තැන එකම දවසකදී එකම වේලාවකදී මධුෂ්ගේ කල්ලියෙන් මැරුම් කෑහ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට චෝදනා එල්ල වී සිටින ප්‍රධාන සැකකරුවෙක් වූ දෙමටගොඩ චමින්ද නොහොත් චමින්ද ජයනාත් 2006 මාර්තු දෙවැනි දින කොළඹ මහාධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා බන්ධනාගාර බස් රථයෙන් යමින් සිටියේය. බස් රථය ඒ වන විට ධාවනය වෙමින් තිබුණේ මාලිගාවත්ත ප්‍රදේශයේය. දෙමටගොඩ චමින්ද වාඩිවී සිටියේ බස් රථයේ කවුලුව අසලය.  යතුරු පැදියක පිටුපස සිටි නාඳුනන තුවක්කරුවෙක් බස් රථය හරස්කර චමින්දට වෙඩි තැබුවේය. දෙමටගොඩ චමින්දගේ හිසත් පපුවත් පසාරු කරමින් වෙඩි උණ්ඩ දෙකක් ඇතුළු වුවද ඔහුට ජීවත් වීමට අවස්ථාව හිමිවිය. වෙඩික්කරුවෝ පලා ගියහ.

පාතාලය ඉව අල්ලන්නේ ලේවලටය. ඔවුන් ලෙයට ලෙය කොහේදී හෝ ඉල්ලා ගන්නේය. උදුරා ගත්තේය. පාතාලයේ කතාව ඉවර වුණු දාට උසාවි භූමියේ, බන්ධනාගාර බස් රථවල හෝ බන්ධනාගාරයෙන් ලේ හැලුණු කතා අපට අසන්නට නොලැබෙනු ඇත.

මධුෂාණි කොඩිතුවක්කු