Uncategorized

නිවසේ රැඳී සිටින ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වීමට සෙලින්කෝ ලයිෆ් බහුවිධ නාළිකා විවෘත කරයි

කොවිඩ් -19 සමග සටන් කරන කාලයේ මතුව ඇති සීමාවන් මගහරවා ගැනීමට රක්ෂණ වාරික ගෙවීමේ විකල්ප සහ හිමිකම් ගෙවීමේ පහසුකම් හඳුන්වා දෙයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පැතිර යෑම වළක්වමින් තමන්, තමන්ගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රජාව ආරක්ෂා කිරීමට නිවස්වල රැඳී සිටින සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා සමාගම විසින් බහුවිධ අන්තර්ජාල ගෙවීම් සේවා සහ සන්නිවේදන විකල්ප මෙන්ම රක්ෂණ හිමිකම් ගෙවීම සඳහා පහසුකම් සැලසීමට කටයුතු කර තිබේ.

මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා සඳහන් කරන්නේ වර්තමාන ඇඳිරි නීති කාල සීමාව තුළ සහ ස්වයං නිරෝධායනයට ලක්වී සිටින කාල සීමාව තුළ රක්ෂණ ඔප්පුවල වාරික ගෙවීම් අතපසුවීම වැළැක්වීම සඳහා සමාගම විසින් අන්තර්ජාලය පදනම් කරගත්, ජංගම දුරකථනය පදනම් කරගත් සහ ඇප් පහසුකම් පදනම් කරගත් ගෙවීමේ විකල්ප සක්‍රීය කර තිබෙන බවයි. මීට අමතරව, ගනුදෙනුකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය සහ සමාජ මාධ්‍ය පිටු මේ වන විට සක්‍රීය කර තිබෙන බවද සමාගම සඳහන් කරයි.

‘මෙම කාල සීමාව ගනුදෙනුකරුවන්ට සහ සමාගම් වලට ඉතාමත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. මෙම අර්බුදයේදී අඩුම හානියක් ඇතිවන අන්දමට සියලුම කොටස්කරුවන්ගේ අපේක්ෂා ඉටුකරමින් තවදුරටත් පැවතීම සඳහා තාක්ෂණය මගින් ලබාදී තිබෙන අවස්ථාවන් උපරිමයෙන් භාවිත කළ යුතුයි.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘අපි විසින් අරගෙන තිබෙන පියවරවලට අනුව රක්ෂණ ඔප්පුහිමියන්ට ආරක්ෂාකාරීව තම නිවෙස්වල රැඳී සිටින අතරම තමන්ගේ රක්ෂණ වාරික නිසි වේලාවට ගෙවීමේ අවස්ථාව හිමි වෙනවා.’

සමාගම විසින් රක්ෂණ වාරික මුදල් ගෙවීම සඳහා ලබාදී තිබෙන විකල්ප අතර සමාගමේ වෙබ් අඩවිය හරහා ලබාදී තිබෙන ‘Easy Pay’ විකල්පය කැපී පෙනෙන අතර මෙයට ඉතාමත් පහසුවෙන් පිවිසී පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිවේ. මෙහිදී, කරදරයකින් තොරව රක්ෂණ වාරික මුදල් ගෙවීම සඳහා අවශ්‍ය වන්නේ රක්ෂණ ඔප්පුවේ අංකයයි.