අතන මෙතන

නිවසේ අයිතිය වෙනුවෙන් අක්කා නංගි ඝාතනය කරයි

වැල්ලවාය නයිගල් ආර ප්‍රදේශයේ වයස අවුරුදු 23ක තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ එම තරුණියගේ සහෝදරියක් සහ ඇගේ ස්වාමි පුරුෂයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඌව කුඩාඔය පොලීසය පැවසුවේ ඊයේ (28) පස්වරුවේ දී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

මෙම තරුණිය පසුගිය පස් වනදා නිවසෙන් අතුරුදන් වී ඇති බවට ඌව කුඩාඔය පොලිසියට තොරතුරක් ලැබී තිබිණ.

ඒ ඔස්සේ සිදු කල විමර්ශන සහ මියගිය මෙම තරුණියගේ පෙම්වතාගේ උපක්‍රමශීලී භාවය නිසා අද (29) දින මෙම අපරාධය පිළිබඳව තොරතුරු අනාවරණය විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සහෝදරිය සහ ඇගේ ස්වාමි පුරුෂයා විසින් ඝාතනය වූ තරුණිය රැකියාවට යාම සදහා මාර්ගයේ ගමන් කරමින් සිටින අතර තුර ඒ මාර්ගය අසල ඇති කෑලෑවකට රැගෙන ගොස් පොල්ලකින් පහර දී මරා දමා ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

එම ඝාතනය සිදු කල ස්ථානය සැකකරුවන් විසින් පොලිසියට පවසා ඇති අතර පසුව පොලිසිය එම ස්ථානයට ගොස් සොයා බැලීමේ අස්ථි කොටස්,හිස් කබල,ඇදුම් සහ බෑගයක්ද සොයාගෙන තිබේ.

දැනට අනාවරණය වන තොරතුරු අනුව මෙම මියගිය තරුණිය ජීවත් වූ නිවස ලබා ගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බව කුඩාඔය පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු විසි අටක් වන තැනැත්තියක වන අතර ඇගේ ස්වාමි පුරුෂයා බවට පැවසෙන පුද්ගලයා වයස අවුරුදු දහ අටක පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මොනරාගල කොඨ්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත දීපාල් විජේසේකර මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත ඌව කුඩාඔය පොලිසිය ස්ථානාධිපති ප්‍ර.පො.ප ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

ජයන්ත වීරසේකර – වැල්ලවාය