අතන මෙතන

නිලධාරියාට පහරදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස උද්ඝෝෂණයක්

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරි යෙදී සිටි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම නිසා  අද (20) වන දින හික්කඩුව මංසන්ධියේ දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කෙරිණි.

ක්‍රිස්ටි විජය කුමාර මහතා රාජකාරියේ යෙදී සිටියදී අකුරල, ගොඩගම ප්‍රදේශයේ දී හොටෙල් හිමිකරුවකු ඇතුළු කණ්ඩායමක් විසින් අමානුෂික ලෙස පහරදීමෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා පසුගිය දාහත් වැනිදා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

නේවාසික ප්‍රතිකාර ගනිමින් දින හතරක් ඉක්ම ගොස් ඇතත් මීටියාගොඩ පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබිය දී පහර දුන් පුද්ගලයන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් 300 කට වැඩි පිරිසක් මෙම උද්ඝෝෂණයට එක් වී සිටියහ.

ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය සේවක එකමුතුවේ සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමය, රැකියාලාභී උපාධිධාරී සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාණදුර ශාඛාවේ ලේකම් චන්දන සූරියආරච්චි, ගාල්ල වෙරළ සංරක්ෂණ සංගමයේ ප්‍රධාන ලේකම්නිශාන්ත පෙරේරා , වෙරළ සංරක්ෂණ ආරක්ෂක පරීක්ෂක උදාන කුසුම්සිරි යන මහත්වරුද මේ පිළිබඳව අදහස් දැක්විය.

උද්ඝෝෂණකරුවන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය හික්කඩුව නගරයේදී අවහිර කරමින් උද්ඝෝෂණය නිරත වූ අතර, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී ඒල්.ඒ.එස්. සමරසිංහ මහතා උද්ඝෝෂණකරුවන් ට සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවට පොරොන්දු වීමෙන් පසු පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් විසිර ගියහ.

වෙරළ සංරක්ෂණ නිලධාරියාට පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගනු, පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු යන නාම පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණකරුවන් උද්ඝෝෂණයේ නිරත වූ අතර. පසුගිය දාහත් වැනි අකුරල, ගොඩගම ප්‍රදේශයේ වෙරළේ අනවසර ඉදිකිරීමක් පරීක්ෂාකිරීමට වෙරළ සංරක්ෂණ නිලධාරියා ගොස් සිටි අවස්ථාවේ පුද්ගලයන් කිහිපදෙනෙකු අමානුෂික ලෙස පහර දී තිබුණි.

 

ඊ.ඩබ්. ගුණපාල