කතුවැකි

නිලධාරින් කර අල්ලන්නේ රසායන පෝර ගෝනියට

‘‘කාබනික පොහොර අවශ්‍ය ජනාධිපතිට විතරද’’ යන හිසින් යුතුව අප මෙම තීරය ඔස්සේ ප්‍රශ්න කර සිටියේ පසුගිය ඔක්තෝබර් මස 18 දාය. එහිදී අප පෙන්වා දුන්නේ රජයේ පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ දේශපාලකයන් පමණක් නොව නිලධාරින් ද එතරම් උනන්දුවක් නොදක්වන බවය. මේ නිසා රජයේ පොහොර ප්‍රතිපත්තිය අංජබජල් වී ඇති ආකාරය එහිදී අප කරුණු සහිතව පෙන්වා දී ඇත. අප මතු කළ මෙම කාරණය දැන් ඉතා පැහැදිලිව රට හමුවේ තහවුරු වී තිබේ.

මෙම සතිය ආරම්භ වූයේ රසායනික පොහොර තහනම් කිරීමේ රජයේ තීන්දුව රිවස් වූ බව කියන කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රකාශයකිනි. එහෙත් එම පුවතේ උණුසුම මැකෙන්නටත් ප්‍රථම කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළේ රසායනික පොහොර තහනමේ වෙනසක් නොමැති බවය. යළිත් වරක් අමාත්‍යාංශ ලේකම්වරයා රසායනික පොහොර ගැන කතා කළහොත් ඔහුව එළවා දමන බව ජනාධිපතිවරයා සඳුදා (22 වැනිදා) පෙරවරුවේ පැවැති ලේකම්වරයාද සහභාගි වී සිටි කෘෂිකර්ම අමාත්‍යාංශ මැති ඇමැති නිලධාරින්ගේ සාකච්ඡාවේදී කියා සිටියේය. මෙම සාකච්ඡාවට එක්ව සිටි රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගමේ හා ලංකා පොහොර සමාගමේ සභාපතිවරුන්, පොහොර සම්බන්ධ දත්ත වාර්තා නොදැන සිටීම නිසා ඔවුන්ව සාකච්ඡාවෙන් ඉවත් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය. කෙසේ වෙතත් එළවළු වගාවන් සඳහා පමණක් රසායනික ​පොහොර ආනයනයට අවසර දීමට අවසානයේ තීරණය වී තිබේ.

මේ අතර ග්ලයිපොසෙට් ඇතුළු තවත් කෘමි හා වල් නාශක කිහිපයක් සඳහා පැවැති තහනම ඉවත් කරමින් සඳුදා සවස පළිබෝධ නාශක රෙජිස්ටාර් ජෙනරාල්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය යළි අවලංගු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. රජයේ ප්‍රතිපත්තියට පටහැනිව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම නිසා පළිබෝධ නාශක රෙජිස්ටාර් ජෙනරාල්වරයා තනතුරෙන් ඉවත් කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ. එහෙත් තමන් එම ගැසට් නිවේදනය නිකුත් කළේ පළිබෝධ නාශක තාක්ෂණ උපදේශක කමිටුවේ නිර්දේශ අනුව බව කියන පළිබෝධ නාශක රෙජිස්ටාර් ජෙනරාල්වරයා කියන්නේ තමන්ව තනතුරෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයාට නොහැකි බවය.

මේ සියල්ලෙන් පෙනී යන්නේ කුමක්ද? රජයේ පොහොර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ආණ්ඩුව හා ආණ්ඩුවේ නිලධාරින් අතරම ඒකමිතියක් නොමැති බවය. ඇමැතිවරයා එකක් කියන විට නිලධාරීහු තවත් එකක් කියති. ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ එකකි, නිලධාරින් කරන්නේ තවත් එකකි. එවැනි තත්ත්වයකදී ආණ්ඩුවේ පොහොර ප්‍රතිපත්තිය නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවීම ගැන පුදුම වන්නේ කෙසේද?

අප කල්පනා කරන ආකාරයට නම් රසායනික පොහොර තහනම වැරදි අවස්ථාවක ගනු හරි තීරණයකි. එසේම එය වැරදි පිරිසක් සමග සාර්ථකව කරගැනීමට උත්සාහ දැරූ කාර්යයකි. ඒ ගැන අප මීට පෙරද කරුණු දක්වා තිබේ. ආණ්ඩුවේ තීරණයක් ගැන කාට වුවත් විවේචනාත්මක අදහසක් දැරිය හැකි නමුත් ආණ්ඩුවේ නිලධාරින්ට එවැනි නිදහසක් ඇත්තේ නැත. අනෙක් අතට ආණ්ඩුවේ නිලධාරින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති අමුවෙන්ම, පොතට අනුව ක්‍රියාත්මක කරනවා මිස ඒවා විවේචනය කරනවා හෝ ඊට වෙනස් ආකාරයකින් කටයුතු කරනවාද අප දැක නැත. එසේ වුවත් පුදුමයට කාරණය වන්නේ පොහොර ප්‍රතිපත්තියේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරින් ඊට වෙනස් ආකාරයකට කටයුතු කිරීමය.

රජයේ පොහොර ප්‍රතිපත්තිය හඳුන්වා දුන් දා සිටම කෘෂිකර්මයට සම්බන්ධ නිලධාරින් එය සාර්ථක කරගත හැකි ආකාරය දකිනවාට වඩා දැක්කේ එය අසාර්ථක වන බවය. මේ නිසා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ප්‍රචලිත කරන්නට, ඒ ගැන ගොවීන් පමණක් නොව තමන්ගේම පහළ නිලධාරින් හෝ දැනුවත් කරන්නටවත් ඔවුන් කටයුතු කරන බවක් අප දුටුවේ නැත.

කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ ගම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරියා වන්නේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරය. රටේ ග්‍රාම සේවා වසම් 14,000 ට එක් අයකු බැගින් මෙම නිලධාරීහු 14,000 ක් සේවයේ යොදවා සිටිති. මේ අයගේ ප්‍රධානම රාජකාරිය වන්නේ රජයෙන් ගොවීන්ට නොමිලයේ ලබාදුන් පොහොර බෙදා දීමය. එහෙත් කාබනික පොහොර භාවිතයේ වැදගත්කම හා කාබනික පොහොර නිෂ්පාදනය ගැන මේ දක්වා මෙම නිලධාරින්ව හෝ නිසි ලෙස දැනුවත් කර ඇතැයි කිව හැකිද?

නිලධාරින් නිසි ආකාරයෙන් ගොවීන් දැනුවත් කිරීමට පියවර නොගැනීම රටපුරා ගොවි උද්ඝෝෂණ පැටව් ගැසීමට ප්‍රධාන හේතුවක් බව ජනාධිපතිවරයා පසුගිය සඳුදා පැවැති සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ. එහිදී ජනාධිපතිවරයා තවත් වැදගත් කාරණයක් ඉස්මතු කර ඇත. කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් ඉහළ නිලධාරින් කෘෂි සමාගම්වල අධ්‍යක්ෂවරුන් ලෙසද කටයුතු කරන බවය.

ජනාධිපතිවරයා කියන මේ කාරණය කෘෂි ක්ෂේත්‍රයේදී පමණක් නොව බොහෝ අංශවලදී දැකගත හැකි දෙයකි. ඇතැම් රජයේ නිලධාරින් කටයුතු කරන්නේ රජය හෝ ජනතාව වෙනුවෙන් නොව සමාගම් වෙනුවෙනි. රජයේ සේවයේ සිටියදී හැංගි හැංගී වෙස් බඳින මෙවැනි අය විශ්‍රාම ගිය පසු කෙලින්ම දේශීය හෝ සමාගම්වල ඉහළම නිලතලවලට හිමිකම් කියති.

ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරින් සම්බන්ධයෙන් කරන ප්‍රකාශවලින් පෙනී යන්නේ ඔහු මෙම කාරණය ගැන මනා වැටහීමකින් යුතුව සිටින බවය. එසේ නම් කාබනික පොහොර වැඩසටහන අසාර්ථක වීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින්ට පමණක් ඇඟිල්ල දිගු කළ නොහැකි බවද කිව යුතුය.

පොහොර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සිදුව ඇති පළමු වරද නම් එම ප්‍රතිපත්තිය විශ්වාස කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින නිලධාරින් කණ්ඩායමක් තෝරා නොගැනීමය. එවැනි තෝරා ගැනීමක් නොකළත්, වගකීම භාරදුන් නිලධාරින් කණ්ඩායමට මෙම රාජකාරියේ ඇති වැදගත්කම පිළිබඳ විශ්වාසයක් ඇති කරවූ බවක් පෙනෙන්නටද නැත. වැදගත්ම කාරණය වන්නේ මෙම නිලධාරින් අතර සිටින කළු බැටළුවන් හඳුනාගෙන තිබියදී ඔවුන් ඉවත් කිරීමට කටයුතු නොකිරීමය. සමාගම්වලින් වැටුප් ලබමින් සිටින නිලධාරින් සිටින බව දන්නේ නම් වහාම ඔවුන්ට එරෙහිව පියවර නොගෙන ප්‍රශ්නය ඔඩු දිවූ පසු නිදහසට කාරණයක් ලෙස ඔවුන්ට චෝදනා කිරීමෙන් ඇති පළක් තිබේද?

මේ අවස්ථාවේදී ගොවීන්ට අවශ්‍ය වන්නේ වැරැද්ද කුමක්ද, ඊට වගකිව යුත්තේ කවුද යන්න දැන ගැනීමට නොව තමන්ගේ වගාවන් කර ගැනීමට අවශ්‍ය පොහොර ලැබෙන්නේද, ඒ කවදාද යන්න දැන ගැනීමට පමණය.