අතන මෙතන

නිරෝධායනයේ සිටි පිරිසක් PCR පරීක්ෂණට පයින් ගිහින්

සූරියවැව කෝන්කැටිආර ප්‍රදේශයේ නිරෝධායනයට යොමු කර සිටි පවුල් 04ක කුඩා ළමයින් ඇතුළු සාමාජිකයින් 10 දෙනෙකු පමණ පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පයින්ම පැමිණ තිබේ.

මීට දින කිහිපයකට පෙර පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් සූරියවැව කෝන්කැටිආර, ධීවර ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු මියගිය අතර පී.සී.ආර්.පරීක්ෂණයකදී තහවුරු වී තිබුණේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ හේතුවෙන් ඔහුගේ පවුලේ දරුවන් තිදෙනා හා බිරිඳ ඇතුළු සිවු දෙනාද,රෝගියා රෝහලට රැගෙන ගිය පවුලේ පිරිසක් මෙන්ම රෝගියා බැලීමට ගිය කෝන්කැටිආර විහාරස්ථානයේ හිමි නමක්ද නිරෝධායනය කිරීමට සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබුණි.

මෙලෙස නිරෝධායනයට යොමු කර සිටි පිරිස පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීම සඳහා සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට 23 දා පැමිණෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්වා තිබේ. එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබා දී ඇත්තේ පුද්ගලික වාහනවලින් පමණක් පැමිණෙන ලෙසයි. කෙසේ වෙතත් පී.සී.ආර්.සඳහා පැමිණි පිරිස පැවසුවේ තමන්ට කියා පුද්ගලික වාහන කිසිවක් නොමැති නිසා ධීවර ගම්මානයේ සිට කිලෝමීටර් දෙක හමාරක පමණ දුරක් පයින්ම නගරයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි බවයි. එලෙස පී.සී.ආර්. සඳහා පැමිණි ඇතැම් පිරිස් ත්‍රිරෝද රථවල නැග යළි නිවසට ගිය බවද පැවසීය.

නුවන් ජයසේකර – මීගහජදුර