කතුවැකි

නිදහස යනු දිනෙන් දින තහවුරු කරගත යුත්තකි නිදහස් අරගලය පෙරටම

අපේ රට බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී වසර 72 ගෙවෙන්නේ අදටය. පසුගිය එජාප ආණ්ඩුවේ 70 වන නිදහස් උළෙල මහ ඉහළින් සැමරුවේ බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සාමාජිකයෙක් වන එඩ්වඩ් කුමරු ද ලංකාවට කැන්දගනිමින්ය. යටත් විජිතයෙන් මිදීම සමරන්නට රට යටත් කළ අයවම ගෙන්වා ගැනීම එජාපයේ දේශපාලනයට අනුව කදිමට ගැළපෙන ක්‍රියාවක්ය. මීට පෙර 2002 කාලයේ පැමිණි එජාප ආණ්ඩුව පෘතුගීසින් මෙරටට පැමිණීමෙන් වසර 500ක් ගතවීම උත්සවාකාරයෙන් සමරන්නට සූදානම් වූ ආකාරය සමහර අයට තවමත් මතකය. අපි පසුගිය වසර 72 පුරාම කර ඇත්තේ මේ වගේ වැඩමය. මේ අය කරන්නේ ‘යටත්වීමෙන් නිදහස් වී වසර 72 ගතවූ පසුත් අපිව යටත් කළ ස්වාමියා අත්හරින්නට බැරි රෝගයකින් පෙළෙන්නන් යැයි’ ලෝකයට පෙන්වීමට දැයි මා දන්නේ නැත. සමහරුන් කියන්නේ බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමෙන් අපි 1948 කර ගත්තේ වැරුද්දක් බවය.

මෙවර මගේ සටහනින් ලියන්නේ නිදහසින් පසු කාලයේ අපේ රටේ දේශපාලනය ගැනය. බ්‍රිතාන්‍යයන්ගේ පාලනයෙන් පසුව අපි තනියම රට පාලනය කර අද ඇවිත් තියෙන තත්ත්වය කුමක්දැයි කියන කාරණය ගැන යම් නිරීක්ෂණයක් කිරීමය. මේක හරියට සමාන වන්නේ කොම්පැනියක් විදේශීය අධ්‍යක්ෂ මණ්ඩලයක් පාලනය කරගෙන ගොස් අපේ රටේ අධ්‍යක්ෂවරුන්ට භාරදි අපේ පාලනයක් යටතේ වසර 72 ගතවූවා පසුව කොම්පැනියේ තත්ත්වය නිරීක්ෂණය කිරීම වැනි කාරණයකටය. බැලූ බැල්මටම පේන්නේ ලාබ ලබමින් තිබූ කොම්පැනියක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කිරීමෙන් පසු කොම්පැනියම නැත්තටම නැතිවී ගිය සේයාවක්ය. ලාබ ලැබීම නැවතුනා පමණක් නොව පාඩු ලැබීමේ සීමාවත් පැන ගොස් ණය ගැනීමේ සිමාවත් නැතිවන තැනට වසර 72 ක් අපේ පාලනය යටතේ කොම්පැනිය පත් වී ඇත. දැනටත් අධ්‍යක්ෂවරුන් ලෙසින් මන්ත්‍රීවරුන් 225 වසර 6 වරක් රටේ ප්‍රතිපත්ති හා නීති සදන්නටත් නිසි උපක්‍රමික තීන්දූ තීරණ ගැනීම පිණිස පත්වෙන අතර ඒ අය වැඩි වශයෙන් උනන්දූ වන්නේ තම තමන්ගේ ලාබ ප්‍රයෝජන ලබාගැනීම ගැන මිස කොම්පැනියේ අනාගතය (රටේ අනාගතය) ගැන නොවේ.

නිදහසින් වසර 72 පසුව රටට මෙහෙම වූයේ ඇයි සහ අපි කළ යුත්තේ කුමක්ද යනු අපි මේ මොහොතේ ඇසිය යුතුම ප්‍රශ්නය විය යුතු වන්නේ ඒ කාරණා සියල්ලම නිසාය.

මගේ අදහසේ හැටියට අපි මුලින්ම තේරුම් ගත යුතු කාරණයක් වන්නේ ලැබුණු දේශපාලන නිදහසත් සමග අපේ රටේ නිසි ආකාරයෙන් ගොඩ නගන්නේ කෙසේ දැයි මෙරට සිංහල සමාජයේ සිදූවූ සාකච්ජාව ප්‍රධාන දාර්ශනික ධාරාවන් තුනක් මත පදනම් වූ බවය. මේ දාර්ශනික පදනම් තුන මා නම් කරන්නේ එක් පැත්තකින් වෙළෙඳපොළ ආර්ථිකය පදනම් වූ ධනේශ්වර අර්ථ ක්‍රමයෙන්ද දෙවනුව එම ධනේශ්වර සාමාජ ආර්ථික ක්‍රමයට ප්‍රතිපක්ෂ ව්‍යාපෘතිය ලෙසින් මතුවූ මාක්ස්වාදී දේශපාලනයද තුන්වෙනුව යටත්විජිත පාලනයට එරෙහිව නැගී සිටි ස්වදේශිකවාදී දේශපාලනයද ලෙසින් වූ ස්ථාවරයන් තුනක් අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙහි බරපතළ අයුරින් බපපානු ලැබූ බවය. හැමෝටම තේරුම් ගැනීමට පහසුවන පරිදි කිවහොත් මේ දාර්ශනික ස්ථාවර තුන මේ රටේ සාකච්ජා වන්නේ පිළිවෙළින් ඇඩම් ස්මිත් කාල්මාක්ස් සහ අනගාරික ධර්මපාල යන චින්තකයන්ගේ මතවාද හා යැයි සරලව කීමේ වැරුද්දක් ද නැත. නිදහසින් පසු මේ රටේ දේශපාලනය සංවිධානය කළ මුරගල් තුන වන්නේ මේ තුන්දෙනාගේ දාර්ශනික ධාරාවන් තුනය. එජාපය හැමදාම සිටියේ වෙළෙඳපොළ ධනවාදය පැත්තේය. ඇඩම් ස්මිත්ගේ පැත්තේය. සාම්ප්‍රදායික වාමාංශය හා ජවිපෙ වැනි පක්ෂ ආරම්භ වූයේම මාක්ස්වාදය පැත්තෙන්ය. කාල් මාක්ස්ගේ පැත්තේය. ශ්‍රීලනිපය හා ජාතිකමය වූ පක්ෂ මතු වුණේ ස්වදේශිකවාදයේ පැත්තෙන්ය. ඒ කියන්නේ ධර්මපාලගේ පැත්තෙන්ය. මේ බෙදීම තනිකරම නිශ්චිත හා ‘හරි හතරැස්’ දෙයක් නොවූවත් පසුගිය වසර 72 මේ රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලනය සංවිධානය වූයේම මේ චින්තන ත්‍රිකෝණයේ සීමාව ඇතුළේය. දැන් මේ සීමාවන් ඇතුළත නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය පැත්තෙන් අපි සිටින්නේ එහාට යන්නත් බැරි මෙහාට එන්නත් බැරි බරපතළ අවුලක පැටලිලාය. එක කාණ්ඩයක් හදන්නේ රාජ්‍ය හකුලූවා වෙළෙඳපොළ පමණක් තියා ගන්නටය. අනෙක් කාණ්ඩය හදන්නේ වෙළෙඳපොළ නිර්ධන පන්තිය අතට ගෙන ඒ අයගේ පන්ති ආඥාදායකත්වයක් හරහා රට පාලනය කරන්නටය. මේ දෙකටම නැති අය හදන්නේ සුබසාධනයට ප්‍රමුකත්වය දීමට එක් පැත්තකිනුත් යටත්විජතය පටන් ගත් කාලයේ තත්ත්වයට යළිත් ගමන් කිරීම තව පැත්තකිනුත් එල්ල කරගත් පාලනයකටය. 1948 සිට 1977 වෙනකල්ම පැවතුනේ මේ වගේ විසම කෝණී ත්‍රිකෝණයක් ආකාරයේ දේශපාලන හුවමාරුවක් බව පැහැදිලි කාරණයක්ය. එක්කෝ අපි නැවතුනේ ඇඩම් ස්මිත් ළඟය. නැත්නම් කාල්මාක්ස් ළඟය. එහෙමත් නැත්නම් ධර්මපාල ළඟය.

1977 පසුව මේ රට ගමන් කරන්නේ 1948 සිට පැමිණි ගමනට සම්පූර්ණයෙන්ම වාගේ වෙනස් ආකාරයකටය. එතෙක් කාලයක් පැවති සුබසාධනය පදනම් වූ දේශපාලනය තනිකරම වෙළෙඳපොළ මත පදනම් වූ තත්ත්වයකට වෙනස් වූයේ 1977 හඳුන්වා දුන් විවෘත වෙළෙඳපොළ ආර්ථිකයත් සමගය. එතැන් සිට මේ දක්වාම පැමිණි හැම ආණ්ඩුවක් වාගේ කලේ ලෝක බැංකුව හා අන්තර් ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතන මගින් ඒ ඒ ව්‍යාපෘති පෙන්වමින් ණය ආධාර ලබා ගැනීමය. මේ අය විදේශ සංචිතවල මුදල් පෙන්වූයේ මූලික වශයෙන්ම ලැබෙන ණය හා ආධාර එකතු කරමින් මිස ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් හෝ සේවා ආර්ථිකයක් හරහා ලබා ගන්නා විදේශ මූල්‍ය වටිනාකම් මගින් නොවේ. ආර්ථිකය පිළිබඳව දන්නා සමහරුන් කියන්නේ මේ වන විට රටක් වශයෙන් අපට ලබා ගත හැකි උපරිම අගය දක්වා අපි ණය අරන් ඉවර බවය. පසුගිය එජාප රජය කියූ ආකාරයකට ඒ අයගේ උත්සහාය වූයේ ණයට අරන් හැදූ ‘සංවර්ධන ව්‍යාපෘති’ විකුණා ණය ගෙවීමටය.

නිදහසින් පසු කාලයේ රටේ බල දේශපාලන ක්ෂේත්‍රයේ තියෙන පැටලිලි සහගතභාවය මේ ආර්ථික අර්බුදවලට දෙවෙනි වන්නේ නැත. යටත් විජතයෙන් පසු අපි හදන රාජ්‍යය කුමක්ද කියා වසර 72 පසුවවත් අපිට තවමත් පැහැදිලි අදහසක් හෝ අයුරක් නැත. සමහරුන් කියන්නේ 1815 සුද්දන්ට රට භාර දෙන විට තිබුණ රාජ්‍යය යළිත් වරක් තැනිය යුතු යැයි කියාය. තවත් සමහරුන් කියන්නේ රාජ්‍යයෙන් ආගම හෝ සංස්කෘතීන් අයින් කරමින් තනිකරම ලෝකායතවාදී හා අනාගමික රාජ්‍යයක් හැදිය යුතු බවය. මේ දෙකටම එහාට ගිය සමහරුන් කියන්නේ වෙළෙඳපොළට ඉඩ දී රාජ්‍යය දිය වෙන පරිදි වැඩ කළ යුතු බවය.

දේශපාලනයේ ඇති මේ අවුල් සහගත තත්ත්වය විසින් නිදහසින් පසුව අපි ගත කළ වසර 72 පුරා බිලිගත් ජීවිත ගණන අතිවිශාලය. ලේ බිදක්වත් නොසොල්වා ලබා ගත්තා යැයි කියන නිදහස රකින්නට කියා ඊට පසුව පැමිණි හැම වසර විස්සකටම වරක් දහස් ගණනකගේ ලේ සොලවන්නට රාජ්‍යයට සිදූවී තිබෙන්නේ මේ නිසාය. 1971 සහ 1989 දකුණේ තරුණයන් ගැසූ කරලි මර්දනය කළේ අසූ දහසක් පමණ තරුණයන් මරා දමලාය. 1983 සිට 2009 දක්වා උතුරේ කැරල්ල නිසා මරණයට පත්වූ සංඛ්‍යාව තවම කවුරුවත් දන්නේ නැති ගාණය. මේ ගැටලුවලට විසඳුම් සොයන්නට කියා මේ වන විට ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථා තුනක් අත්හදා බලා ඇති අතර සම්මත කරගන්නට නොහැකිවූ ව්‍යවස්ථා කෙටුම්පත් ගණන ඊටත් වඩා වැඩිය. ව්‍යවස්ථා සංශෝධනය හා අලුතින් ව්‍යවස්ථා හැදීම මේ වන විට අපේ රටේ හැමදාම කරන දෛනික කාර්යයක් බවට පත්ව ඇතිවා පමණක් නොව මෑත භාගයේ සිටි හැම ආණ්ඩුවකටම වාගේ කැබිනට් මණ්ඩලය හදද්දී ව්‍යවස්ථාව හදන එකටත් අමාත්‍යංශයක් වෙන් කරන්නට සිදූවී තිබෙන්නේ මුලු ක්‍රමයම හාස්‍යයට ලක් කරමින්ය. ව්‍යවස්ථාව හදන්න හැම ආණ්ඩුවෙන්ම ඇමැතිවරයෙක් පත් කරන රටක් ලෝකයේ කිසිදූ දියුණු හෝ නොදියුණු රටවල් අතර තිබෙනවා යැයි මා සිතන්නේ නැත. ඒ අතින් නම් අපි ඉන්නේ අද්විතීය තැනකය. ඒ අතින් නම් වෙනත් කිසිම රටකට අපිව දෙවෙනි කරන්නට හැකියාවක් නැති ගාණය.

මා තේරුම් ගන්නා ආකාරයට අපි අද පැමිණ සිටින්නේ නිදහසින් පසු මෙරට දේශපාලනයේ බරපතළම අවධි ලක්ෂ්‍යයටය. ඒ කියන්නේ අපි අද පැමිණ සිටින්නේ නිදහසින් පසු අත්හදා බැලිය හැකි සියලුම ආකාරයේ ක්‍රම අත්හදා බලමින් යා හැකි උපරිම දුර ගොස් ඉදිරියට යන්නට නොහැකි බිත්තිය හැප්පෙන තැනකය. මෙතැනින් එහාට යන්න නම් අපේ දේශපාලනයේ භාවිතයේ වෙනසක් වගේම දේශපාලන චින්තනයේම වෙනසක් අවශ්‍ය වන තැනකට අපි පැමිණ තිබෙනවා යැයි කීමේ වරදක් ඇත්තේ නැත. ප්‍රශ්නය තියෙන්නේ හොඳ ව්‍යවස්ථාවක් නැති කමේ නොව දේශපාලනයට අලුතින් සිතීමක් නැති කම තුළය. සාම්ප්‍රදයික පක්ෂ කීපයම හිරවී සිටින්නේ එක්කෝ ඉතාමත් පැරණි චින්තනයන් තුළය. එසේත් නැතිනම් මේ කපේ තමන්ගේ අදහස් වෙනස් කරන්නට අකැමැති වියපත් දේශපාලකයින් කණ්ඩායමක් සමගය. මන්ත්‍රීවරුන්ගෙන් භායගකටවත් හරි හමන් අධ්‍යාපනයක් හෝ හික්මීමක් නැති බව අපි හැමෝම දන්නා කාරණයක්ය. මේ තත්ත්වයෙන් රට අලුත් තැනකට ගෙනයාමේ හැකියාවක් මෙවර මහ මැතිවරණයේදීවත් උරගා බැලීම ඉතාමත් වැදගත් කාරණයක්ය.

අපිට අවශ්‍යව ඇත්තේ ආකෘතියට පිටින් සිතන නායකයන් සිටින නව තාක්ෂණික ඥානය හිමි පන්තියක් විසින් රාජ්‍ය පාලනයේ වගකීම ගත යුතු කාලයක බව මගේ අදහසය. පසුගිය ජනාධිපතිවරණයෙන් අපි සිදු කළ තේරීම වූයේ ඒ ආකාරයේ ජනාධිපතිවරයෙක් පත් කිරීමය. අපේ රටේ නිදහස දිනා ගැනීමේ නව අරගලයක් ඒ ජනාධිපතිවරණයත් සමගින් ආරම්භ වූ බව සමහරුන්ගේ අදහසය. ඒ අරගලයේ තවත් එක් අධියරක් එළඹෙන මහ මැතිවරණයත් සමගින් නිර්මාණය වෙන බව මගේ කල්පනාවය. ඒ නව තත්ත්වය නිසි ආකාරයෙන් කළමනාකරණය කරගන්නට රටක් ලෙසින් අපට හැකියාවක් තිබේ දැයි කල්පනා කිරීම මේ නිදහස් දිනයේ ඉතාමත් වැදගත් කාරණයක්ය.