brand logo

නිදහස් සතියේ උපන් දරුවන්ට මහජන බැංකුවෙන් තිළිණ

06 February 2021

ශ්‍රී ලංකාවේ 73 වැනි ජාතික නිදහස් දිනය සමරමින් මෙවරද මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී රජයේ නිරෝධායන නීති රීතිවලට අනුකූලව නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්විණි. මෙහිදී ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කරන ලදී. එමෙන්ම සෑම වසරකම නිදහස් දිනයට සමගාමීව මහජන බැංකුව ක්‍රියාත්මක කරනු ලබන නිදහසේ උපත වැඩසටහන මෙවරද ක්‍රියාවට නැංවිණි. මේ යටතේ පෙබරවාරි 01 වැනි දින සිට 07 වැනි දින දක්වා සතිය තුළ මෙරට උපත ලබන සෑම බිලිඳෙකු වෙනුවෙන්ම රු 2000/=ක් වටිනා ඉසුරු උදාන තිළිණ පතක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත. සැබෑ නිදහසක් දරුවන් හට උරුම කරදීම සඳහා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් තුළ කිසියම් ඉලක්කගත අරමුණක් ඇති කිරීම තේමා කරගනිමින් මහජන බැංකුව මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය. ළඟම පිහිටි මහජන බැංකුවට දරුවාගේ උපත තහවුරු කරන ලියකියවිලි සහ මෙම තිළිණ පත ඉදිරිපත් කර දරුවා වෙනුවෙන් ඉසුරු උදාන ගිණුමක් විවෘත කරවාගෙන මුදල් තැන්පත් කරමින් ඉදිරියට පවත්වාගෙන යා හැකිය. මෙම වැඩපිළිවෙළ ආරම්භ කරමින් පෙබරවාරි 04 දින උදෑසන මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි කේ. බී රාජපක්ෂ මහතා විසින් බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා වෙත සහ බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේදී එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය මහත්මිය වෙත සංකේතාත්මකව ඉසුරු උදාන තෑගි තිළිණ පත් හා ත්‍යාගයන් පිරිනමන ලදී.
 

More News..