විශේෂාංග

නිතර නිතර සිවුරු අරින හාමුදුරුවරු

තමන් රඟපෑ භික්ෂු චරිතය ගැන කතා කරන්නට මුලින්ම එක් වූයේ ප්‍රවීණ රංගවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ය. ඔහු ලාංකේය රංගන ක්ෂේත්‍රයේ නිරූපිත බෞද්ධ භික්ෂු චරිතයන්හි ප්‍රතිමූර්තියක් බඳුය. සතිස් සිනමාවේ මෙන්ම පුංචි තිරයේද භික්ෂු චරිතයට පණ පෙවූ විශිෂ්ටයෙකි.

‘‘මුලින්ම මම භික්ෂු චරිතයක් රඟපෑවේ ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයේ. ඒක නිෂ්පාදනය කළේ සිලෝන් තියටර්ස් සමාගම. එවකට හිටපු උත්තර මන්ත්‍රී රෙජී පෙරේරා තමයි ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. තිර නාටකය හෙන්රි ජයසේනගේ. ටෝනි රණසිංහ, අනුලා කරුණාතිලක, ජෝ අබේවික්‍රම, මානෙල් ජයසේන සහ මම එහි ප්‍රධාන චරිත නිරූපණය කළා. මුලින්ම මම ප්‍රධාන චරිතයක් රඟපෑවේ ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයේ. ඒක භික්ෂු චරිතයක් වීම විශේෂත්වයක්.

ඊළඟට මම හාමුදුරු කෙනකුගේ චරිතය රඟපෑවේ ‘හරිමග’ චිත්‍රපටයේ. සී. එම්. දාස් කියන දමිළ අධ්‍යක්ෂවරයා තමයි ඒක අධ්‍යක්ෂණය කළේ. මේ චිත්‍රපටයේ ගාමිණී, මාලිනී හැර එවකට හිටපු ජනප්‍රිය ප්‍රසිද්ධ නළුනළියෝ හතළිස් දෙනෙක් රඟපෑවා. ඒකත් විශේෂත්වයක්. මගේ චරිතයටත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා.

බෙනට් රත්නායකගේ ‘ඉරහඳ යට’ චිත්‍රපටයෙත් මම රඟපෑවේ හාමුදුරු චරිතයක්. ජාත්‍යන්තර චිත්‍රපටයකත් මට භික්ෂු චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි ඔස්ට්‍රේලියාවේ චැනල් -9 ඔස්සේ විකාශය වූ Hostages චිත්‍රපටය. ඒකේ මම රඟපෑවේ කාම්බෝජ භික්ෂුවක් හැටියට.

‘‘ගාමිණී ෆොන්සේකා ‘කොටි වලිගය’ චිත්‍රපටය හැදුවේ සිංහල, දෙමළ කෝලාහලය මුල් කරගෙන නේ. ඒකෙ මම රඟපෑවේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ චරිතය. හරියටම තත්පර අනූවයි මගේ චරිතය තිබුණේ. ඒ දර්ශනය තාම මට මතකයි. කන්දඋඩ විහාරේ මකර තොරණ ළඟ හාමුදුරුවෝ හිටගෙන ඉන්නවා. සිංහල තරුණයෝ පහර දීලා, දෙමළ තරුණයෙක් වැටිලා ඉන්නවා. හාමුදුරුවො දකින්නේ එතකොට.

‘ඒයි ඔය අහිංසකයා අරගෙන වරෙන්’ කියලා හාමුදුරුවෝ එතැන හිටපු ගැමියෙකුට කියනවා. ඔහු ඒ දෙමළ තරුණයා කර තබාගෙන හාමුදුරුවෝ අසලින්ම විහාර මළුවට යනවා. ටික වෙලාවකින් අර මැර සිංහල තරුණයෝ දෙන්නෙක් ඇවිත් හාමුදුරුවන්ගෙන් අහනවා ‘මෙතැනින් දෙමළෙක් දිව්වද’ කියලා. හාමුදුරුවෝ කියනවා ‘දිව්වෙ නෑ’ කියලා. ඇයි කරේ නේ ආවේ. හාමුදුරුවො බොරු කිව්වෙ නෑනේ.

1987 ‘සරසවිය’ සම්මාන උළෙලේදී මට ඒ රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ කුසලතා සම්මානයක් හිමිවුණා. මම දන්න තරමින් තත්පර කීපයක රංගනයකට ලෝකයේ කිසිම නළුවෙකුට ඒ වගේ සම්මානයක් ලැබිලා නෑ.

එතකොට ‘පළිඟු මැණිකේ’ තමයි මම මුලින්ම හාමුදුරු කෙනකුගේ චරිතය රඟපෑ ටෙලි නාට්‍යය. සෝමවීර සේනානායක තිර නාටකය ලියූ ‘පළිඟු මැණිකේ’ අධ්‍යක්ෂණය කළේ ධම්ම ජාගොඩ. ගමේ පන්සලේ පණ්ඩිත හාමුදුරුවන්ගේ චරිතය කළේ මම. විවෘත ආර්ථිකයේ අනිසි බලපෑම් නිසා විනාශ මුඛයට යන ගම ඉන් මුදවා ගන්නට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ලොකු හාමුදුරුවෝ. ඉතාම ආදර්ශවත් චරිතයක් එය.

චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සෙනෙහෙලතා මැණිකේ’ ටෙලි නාට්‍යයේ මම වෙද හාමුදුරුනමක් විදිහටයි රඟපෑවේ. එතකොට ‘නිසල විල්තෙර’ ටෙලි නාට්‍යයේ භාවනානුයෝගීව ජීවත්වන සිල්වත් හාමුදුරුනමක් විදිහටයි මම ප්‍රේක්ෂකයෝ අතරට ආවේ. මේ ටෙලි නාට්‍යය රූගත කළේ කුරුණෑගල ප්‍රදේශයේ සුන්දර ගැමි පරිසරයක. ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ඒ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළේ මම.

සමරවීර විජයසිංහගේ සම්මානනීය නවකතාවක් ඇසුරින් සුදත් රෝහණ නිර්මාණය කළ ‘ස්වයංජාත’ ටෙලි නාට්‍යයේත් මම පණ්ඩිත හාමුදුරුවන්ගේ චරිතය රඟපෑවා. පරිණත ඥානයක් තියෙන, දැක්මක් තියෙන, ධර්මයෙන් තම අණසක ගමේ පතුරුවාගෙන සිටි උන්වහන්සේගේ චරිතයත් මට සුවිශේෂයි.
චරිත් අබේසිංහගේ ‘ගැමුණු මහරජ’ ටෙලි නාට්‍යයේ මම රඟපෑවේ පුසුල්පිටියේ හාමුදුරුවන්ගේ චරිතය. ඒක ඇත්තම චරිතයක්නේ. විමලරත්න අධිකාරිගේ ‘පාරමීදම්’, අනුර වරාගොඩගේ ‘පාරිශුද්ධ චීවරය’ වගේ ඒකාංගික ටෙලි නාට්‍යවලත් මම රඟපෑවා. චිත්‍රපට, ටෙලි නාට්‍ය දොළහක විතර මම හාමුදුරු චරිත රඟපා තිබෙනවා.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ රඟ පෑ එවන් චරිත හරහා අප ඉදිරියේ ජීවමාන වූයේ භික්ෂුවකගේ බාහිර හැඩරුව, සහ හැසිරීම් රටාවන් පමණක්ම නොවේ. බෞද්ධ භික්ෂුවක සතු මහා ආධ්‍යාත්මික ගුණ වගාවන්ද එකී චරිතය ඔස්සේ පිළිබිඹු වූයේය. එය එසේ වූයේ හුදෙක් රංග ප්‍රතිභාව නිසා පමණක්ම නොවන බව ඔහු පවසයි.

මම මෙතෙක් ඇඳලා තියෙන ලස්සනම, සුන්දරම, සිත්ගන්නාසුලුම ඇඳුම තමයි සිවුර. ඒක මම මේ අතිශයෝක්තියෙන් කියන කතාවක් නෙවෙයි. පන්සලක මහණ නොවුණට මේ විදිහට හරි සිවුරක් පොරවගන්න මට ලැබෙන්නේ සංසාර පුරුද්දක් නිසා වෙන්නට ඇති. සිවුර ඇඟට දාගත්තම හිතට දැනෙන්නේ නිරාමිස සුවයක්. මෙච්චර පාරිශුද්ධ චීවරයක් ඇඳගෙන බුද්ධ පුත්‍රයන් ලෙස පෙනී සිටිමින් නොයෙක් අශීලාචාර වැඩ කරන චීවරධාරීන් දැක්කම මට පුදුමත් හිතෙනවා. ඇත්තටම ඒ අය සැබෑ බුද්ධ පුත්‍රයන් නෙවෙයි, හුදෙක් චීවරධාරීන් පමණයි.

‘‘මම කොහොමත් පන්සිල් පද පහ රකින කෙනෙක්. අපේ තාත්තාගේ ආභාසයෙන් පුංචි කාලේ ඉඳලම මම හැදුණේ, වැඩුණේ පන්සල ආශ්‍රිතව. මට ‘අ’ යන්න ‘ආ’ යන්න ඉගැන්නුවේ එවකට පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපතිව වැඩ විසූ කිරිවත්තුඩුවේ ශ්‍රී පඤ්ඤාසාර ලොකු හාමුදුරුවෝ. ඒ වගේම පෑලියගොඩ පිරිවෙනේ සියලුම නායක හාමුදුරුවරු මම ඇසුරු කර තිබෙනවා. උන්වහන්සේලාගේ ජීවන රටාව, ඇවතුම් පැවතුම් මට හොඳින් හඳුනාගන්න ලැබුණා. ඒ ආභාසයක් මගේ රංගන කාර්යයට යම් පිටිවහලක් වෙන්නට ඇති.

චරිත නිරූපණයේදී සැලකිල්ලට ගත යුතු කාරණා තියෙනවා. චරිතයට ගැළපෙන්න ඉඳගන්න ඕනෑ. චරිතෙට ගැළපෙන්න නැගිටින්න ඕනෑ. චරිතෙට ගැළපෙන්න ඇවිදින්න ඕනෑ. චරිතෙට ගැළපෙන්න කතා කරන්න ඕනෑ. ඕක තමයි රහස. දැන් කොණ්ඩෙ වවාගෙන හාමුදුරු චරිතයක් රඟපාන්න බැහැනේ. ඒ නිසා හිස මුඩු කරන්න ඕනෑ. සිවුර එහෙන්, මෙහෙන් වැරහැලි අඳිනවා වගේ අඳින්න බෑනේ. ඒක දෑතින් ලස්සනට පොරවන්න ඕනෑ. එතකොට බොහොම ශාන්ත විදියට තථාගතයන් වහන්සේ දෙසූ ගැඹුරු දර්ශනය ශ්‍රාවකයාට වටහා දෙන්න ඕනෑ. ඒකයි වෙන්න ඕනෑ.

ඒක නිසා මම අතිශය සතුටට පත්වෙනවා ඒ භික්ෂු චරිත රඟපාන්න ලැබීම ගැන. මේ රටේ මට වඩා දක්ෂ, ජනප්‍රිය නළුවෝ ඉන්නවා. හැබැයි මම ලබන ගරුත්වය ලබන්නේ නැහැ ඔය එක්කෙනෙක්වත්, භික්ෂු චරිත රඟපෑ නළුවන්ගෙන් මිනිස්සුන්ට මුලින්ම මතක් වෙන්නේ මාව.

ජයලත් මනෝරත්න මෙරට වේදිකාව, සිනමාව හා පුංචි තිරය සිය විශිෂ්ට රංග පෞරුෂයෙන් එකලු කළ රංගවේදියකු බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එකී මාධ්‍යයන් ත්‍රිත්වයේම සිය රංග ප්‍රතිභාව විවිධත්වයෙන් ඉදිරිපත් කළ මනෝ සුවිසල් ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගත් නළුවෙකි. සිය රංගන දිවියේ පනස් විය සපුරණ ඔහු මෙතෙක් රඟපා තිබෙන්නේ එකම එක භික්ෂු චරිතයක් පමණි. එහෙත් ඒ චරිතය හරහා ඔහු ලාංකේය සිනමා ප්‍රේක්ෂකාගාරයට නවමු අත්දැකීමක් රැගෙන එන්නට සමත් වූවා සේම ඒ එක් චරිතයෙන් මිනිසුන්ගේ හිත්වල රැඳෙන්නට තරම් දක්ෂයකු වූයේය.

‘‘සූරිය අරණ’ චිත්‍රපටයේ තමයි මම රඟපාපු එකම භික්ෂු චරිතය ඇතුළත් වුණේ. සෝමරත්න දිසානායක මට පිටපත දීලා ඒ චරිතය ගැන පැහැදිලි කළාම මට ආසා හිතුණා ඒ චරිතය රඟපාන්න. පිටපත කියනකොට මගේ හිතේ මැවුණා යම් කිසි රූපයක්. අපි දකින සාම්ප්‍රදායික භික්ෂුව හිස මුඩු කරපු, බොහෝම උපශාන්ත බවකින් යුතු අයනේ. දැන් මේ ‘සූරිය අරණේ’ හාමුදුරුවෝ එහෙම කෙනෙක් නෙවෙයි. ගමෙන් ඈත, වනගතව බවුන් වඩමින් ඉන්න බොහෝම සීලවන්ත හාමුදුරු නමක් වුණත් උන්වහන්සේ අයුක්තිය, අසාධාරණය නොඉවසන හිමිනමක්.

මේ කතාවේ මූලික තේමාව වන්නේ යහපත සහ අයහපත, ධර්මය සහ අධර්මය, ඊළඟට හොඳ සහ නරක, එතකොට යක්ෂයා සහ මිනිසා. ඔය වගේ විවිධ පැතිකඩවලින් අපට මේ ගැටුම දිහා බලන්න පුළුවන්. එතකොට මේ හාමුදුරුවෝ සහ දඩයක්කාරයා අතර ගැටුම තුළින් තමයි මේ ධර්මතාවන් පිළිබිඹු කෙරෙන්නේ.

මේ වනවාසී හාමුදුරුවෝ බණදහම් වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමුත් දන්නවා. දරදඬු ගතිගුණ තියෙන යකඩයෙක් වගේ හාමුදුරු නමක්. මේ පිටපත කියවනකොටම මගේ මනසට ආවේ දිඹුලාගල හාමුදුරුවෝ. නමුත් ඒ චරිතය අනුකරණය කරන්න අපට බැහැ. ඒ වුණත් මට රඟපාන්න තියෙන්නේ ඒ වගේ යකඩ චරිතයක් කියන අදහස මට ආවා.

‘‘සූරිය අරණ’’ චිත්‍රපටය රූගත කළේ දඹානේ මාවරගල කැලයේ සහ මීමුරේ ගම්මානය ආශ්‍රිත කැලෑවේ. ඒ පරිසරයට ගියාම මගේ චරිතය තවත් පණ ගැහිලා ආවා. පන්සලකට ගියා නම් ඕක වෙන්නේ නෑනේ. මේ හාමුදුරුවෝ තවත් පුංචි හිමිනමක් එක්ක ගම්මානෙට පිඬු සිඟා වැඩලා තමන්ගේ පාඩුවේ ගල්ගුහාවක ජීවත්වන කෙනෙක්. එතකොට මෙහි ප්‍රතිවිරුද්ධ චරිතය සතුන් මරාගෙන, ඒවා විකුණගෙන සටකපටකම් කරමින් තමන්ගේ දිවි ගැටගහගන්න දඩයක්කාරයායි. මේක මට පේන්නේ නිකං චරිත දෙකක් විදියට නෙවෙයි. ලෝකයේ පැති දෙකක්. ඒක නිකං ‘‘යුද්ධය හා සාමය’’ හැටියට අපට අර්ථකථනය කරන්නත් පුළුවන්.

ඇත්තටම මේක මම රඟපෑ තවත් එක් චරිතයක් පමණයි. රංගන ශිල්පියා චරිතය ඉස්මතු කරදෙනකොට හොඳද, නරකද, අඩුද, වැඩිද කියලා තීරණය කරන්නේ අධ්‍යක්ෂවරයා. මොකද සිනමාව කියන්නේ අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යයනේ. ඉතින් සෝමරත්න දිසානායක ඔහුට අවශ්‍ය චරිතය හෙමින් සීරුවේ මගෙන් ඉස්මතු කරගන්නට ඇති.

සමහරු කියනවා මට ඩොක්ටර් කෙනෙකුගේ, එහෙම නැතිනම් නර්ස් කෙනෙකුගේ චරිතය රඟපාන්න ආසයි කියලා. එහෙම කියන්නේ ඒ බාහිර ස්වරූපයට තියෙන ආසාව නිසා. ඒත් අපි හොයා ගන්න ඕනෑ චරිතයේ අභ්‍යන්තරයනේ. අවසන් වශයෙන් බලපුවම අපි ඔක්කොම මිනිස්සු. මොන චරිතයක් රඟපෑවත් ඒ චරිතයට අදාළ සුවිශේෂී ලක්ෂණ තමයි අපේ රංගනය හරහා ඉස්මතු වෙන්න ඕනෑ.

සිවුරක් දාගත්තු පළියටම හාමුදුරු චරිතය රඟපාන්න පුළුවන් කියලා හිතුවොත් ඒක මුළාවක්. බිම බලාගෙන උපශාන්ත ගමනින් ඇවිද්දා කියලත් ඒ විදිහේ චරිතයක් සාර්ථක වෙන්නේ නැහැ. මම හිතන්නේ අධ්‍යක්ෂවරයා තමයි ඒ චරිතය මතු කරලා ගන්න ඕනෑ. දැන් සෝමේ අධ්‍යක්ෂවරයෙක් වගේම නළුවෙක්නේ. එතකොට අවශ්‍ය දේ ඔහුට වඩාත් හොඳින් දැනෙනවා. මුල් දවස් දෙක තුනේ තිගැස්මක්, පසුබෑමක්, පොඩි ලැජ්ජාවක් ඊට පස්සේ බයක් මට දැනුණා මේ චරිතය රඟපාද්දි. ඇයි මෙහෙම චරිතයක් මීට කලින් රඟපාලා නෑනේ.

ඒත් මම දැක්කා සෝමේ ඉතා සියුම් ලෙස මාව හසුරුවනවා. ඒක සිදුවුණේ ඉතාම සුහදශීලීව. ඔහු සෑහීමකට පත්වුණේ නැත්නම් ‘අපි තව පොඩ්ඩක් මෙහෙම කරමුද’ කියලා යෝජනා ගේනවා. ඊට පස්සේ හොඳට අතපය විසි කරලා රඟපාන්න මට පුළුවන් වුණා. හැමෝම කිව්වේ ඒ චරිතයට මම උපරිම සාධාරණයක් ඉටු කළා කියලයි. එය මගේ රංගන ජීවිතයේ සුවිශේෂී චරිත නිරූපණයක් බව අද මට හැඟෙනවා.

වර්තමානයේ කොයි කාගේත් අවධානයට, කතාබහට ලක්වූ ජනප්‍රියතම භික්ෂු චරිතය අප නෙත් මානයට සමීප වන්නේ ටීවී දෙරණ නාළිකාව ඔස්සේය. ඒ ‘සිඳු’ ටෙලි නාට්‍යයේ ලොකු හාමුදුරුවන්ය. එකී චරිතයට ජීවය දෙන්නේ ප්‍රවීණ නළු ඩබ්ලිව්. ජයසිරිය. පුංචි තිරයේ මෙන්ම සිනමාවේද ඔහු රඟපෑ භික්ෂු චරිත කිහිපයකි.

බාල, තරුණ, මහලු මේ හැමෝගෙන්ම මට හොඳ ප්‍රතිචාර ලැබුණ, ලැබෙන චරිතයක් සිඳු හි ලොකු හාමුදුරුවෝ. විශේෂයෙන්ම ‘සෝරත’ පොඩි හාමුදුරුවන්ගේ වයසේ ළමයින්ගෙන් තමයි බේරෙන්න බැරි. එයාලා මාව දැක්කම ඇවිත් දණ ගහලා වඳිනවා. වැඩිහිටියොත් එහෙමයි. ඒ විතරක් නම් මදෑ, සමහර හාමුදුරුවරුත් මට වඳිනවානේ.’’

ලොකු හාමුදුරුවන්ගේ චරිතය හරහා ජයසිරිට ලැබුණු ජන ප්‍රසාදය පිළිබඳ තවත් අටුවාටීකා අවශ්‍ය නැත. ඔහු මුලින්ම රඟපෑ හාමුදුරු චරිතය මතකයේ නැතත් ඉන්පසු රඟපෑ චරිත ගැන කතා කළේය.
‘‘මට ඒක නම් මතක නැහැ. ඒත් මට මතකයි අවුරුදු පහළොවකට ඉස්සර ඉන්දික උඩුගම්පළ කළා ඒකාංගික ටෙලි නාට්‍ය දොළහක්. ඒකෙ එක නාට්‍යයක එකක මම රඟපෑවා. ‘අවනඩුවක සටහන්’ කියලා ඒක නම් කරලා තිබුණේ. ඒත් අවාසනාවකට ඒ ටෙලි නාට්‍ය මාලාව තවම විකාශය කරගන්න බැරිවුණා.

ඊට පස්සේ මම අශෝක හඳගමගේ ‘මේ මගේ සඳයි’ ටෙලි නාට්‍යයේ හාමුදුරු චරිතයක් රඟපෑවා. ‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන’ ටෙලි නාට්‍යයෙත් මම රඟපෑවේ භික්ෂුවක් හැටියට. ඒ වගේම රියර් අද්මිරාල් සරත් වීරසේකර අධ්‍යක්ෂණය කළ ‘ගාමණී’ චිත්‍රපටයේ හාමුදුරු චරිතෙ කළා.
හාමුදුරු චරිත රඟපානකොට, එහෙම නැත්නම් සිවුර ඇඟට දාගත්තම මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ කියලා සමහරු මගෙන් අහනවා.

මේ බොරු කතන්දර කියන්න ඕනෑ නෑ. නළුවෙක් හැටියට ඉතින් දෙන කොස්ටියුම් එක ඇඳගෙන රඟපානවා. සිවුරෙයි කියලා අමුතු වෙනසක් මට දැනුණේ නෑ. ඕකට හොඳම කතාව කියලා තියෙන්නෙත් හඳගම. ‘‘හැම ඇඳුමක් යටින්ම නිරුවතින් එකෙක් ඇවිදිනවා’’ කියලයි හඳයා කිව්වේ. ඉතින් සිවුරෙයි කියලා වෙනසක් නැහැ.

බොහොම කැපවෙලා පේ වෙලා තමයි මේ වගේ චරිත රඟපාන්න ඕනෑ කියලා සමහරු කියනවානේ. මගෙ ඒ මොකුත් නෑ. මට හාමුදුරු චරිතයකට කතා කළාම මම යනවා. කොණ්ඩෙ කොටට කැපුවා, රැවුල කපනව නම් කැපුවා. නැතිනම් තියෙන විදිහට තිබ්බා. අඳනෙයි, සිවුරයි ඇඳගෙන රඟපෑවා. සිවුර දාගත්තම බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවෙනවයි, අරකයි, මේකයි කියලා කියන්නේ මෝඩ කතා. මට නම් එහෙම මොකවත් නෑ. රස්නෙ දවස්වලට නම් සිවුර ගලවලා පැත්තකට දාන්න හිතෙනවා. ඇයි රෙද්දක් පොරවගෙන වගෙයිනේ.

ඒ කොහොම වුණත් ‘සිඳු’ ලොකු හාමුදුරුවන්ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මම සතුටු වෙනවා.
මම රඟපාපු අකැමැතිම හාමුදුරු චරිතය තමයි ‘ගාමණී’ චිත්‍රපටයේ චරිතය. ඒ දෙබස්වල තිබුණේ ජාතිවාදී අදහස්. ‘නැගෙනහිර වෙරළින් ඇසෙන’ සහ ‘මේ මගේ සඳයි’ හාමුදුරු චරිතවලට මම කැමතියි. ඒ වෙනස්ම විදිහේ හාමුදුරුවරු දෙනමක්.’’

රංගනය කලාවකි. ඒ ද ඒ කලාවට කැපවූවෙකුට මිස ඒ චරිතයට සාර්ථකව අනුගත වන්නට බැරිය. මේ හාමුදුරු චරිත රඟපෑවෝද කී සැණින් කාගේත් මතකයට එන්නේ ඔවුන්ගේ කලාවට වූ එකී කැපවීම සහ සාර්ථක අනුගත වීම නිසාය.

අසංක දේවමිත්‍ර පෙරේරා