විශේෂාංග

නිට්ටෑවන් සොයා යන අතරේ අපට මගහැරුණු පුංචි මිනිස්සු

නිට්ටෑවන් සොයා යන අතරේ අපට මගහැරුණු පුංචි මිනිස්සු

පසුගිය මාර්තු 02 සෙනසුරාදා පෙරවරු නවයට ශ්‍රී ලංකාවේ පළමු ‘පුංචි මිනිස් හමුව’ මොරටුව, ගොරකානේ ඇක්වා පර්ල් රිසෝට් සංචාරක නිකේතනයේ දී පැවැත් විණි. ඒ සමාජසේවා අධ්‍යක්ෂ තිලක් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙනි.

සාමාන්‍යයෙන් අප මිනිසුන් හැඳින්වීමේ දී පොඩි, පුංචි ආදී විශේෂණ යොදනුයේ ඔවුන්ගේ ආර්ථික, සමාජ පසුබිම අනුව යමිනි. එහෙත් මෙදින රැස් වූ මිනිසුන් ‘පුංචි’ බවට පත්ව සිටියේ ශරීර ප්‍රමාණයෙන් මිස ආර්ථික, සමාජ මට්ටමින්, නැණනුවණින් හෝ ගුණදම් වලින් නොවේ.

ලක් ඉතිහාසයේ මෙලෙස මුල්වරට පුංචි මිනිසුන් එක්රැස් කරවා සමාජයීය එකමුතුවකට මුල පිරීමට කටයුතු යොදා තිබුණේ ද හදවතේත්, මොළයේත් මහමෙරක සවිබල ඇති සිරුරින් පුංචි ගැහැනියක විසිනි.

ඒ එම හෝටලයේම අධ්‍යක්ෂවරියක වන පනස් වියැති දර්ශනී නානායක්කාරය. සිරුරින් කුඩා වුවද, බිරිඳක සහ දෙදරු මවක වශයෙන් සාර්ථක දිවි පෙවෙතක් ගත කරන ඇය මෙම හෝටලයේ අධ්‍යක්ෂ පදවියට අමතරව ඇඟලුම් ආයතනයක හිමිකාරිනියද වන්නීය.

දර්ශනී නානායක්කාර පළමුවරට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිදු වූ හදකම්පා කරවන සිද්ධියක් සමගිනි. ඒ වන අලි ප්‍රහාරයකින් මියගිය තම පියාගේ දේහයට වැඳ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට ගිය අම්පාර, පන්නල්ගම විදුහලේ ‘විහංගි’ නම් සිසුවිය පිළිබඳ හද සසල කරවන පුවතත් සමගය. එම ඛේදනීය සිදුවීමත් සමග ඉගෙනුමට තිබූ එකම අත්වැල සිඳී ගිය විහංගීගේ මුළු පාසල් සමයේ අධ්‍යාපන වියදම් දැරීමට ඉදිරිපත් වූ දර්ශනී නානායක්කාර නම් ව්‍යවසායිකාව පිළිබඳ මාධ්‍ය මගින් තරමක ප්‍රසිද්ධියක් ලැබිණි. එහෙත් ඇය කුඩා සිරුරකට හිමිකම් කියන්නියක බව එවර කිසිවකුත් දැන සිටියේ නැත. එහෙත් මෙවර Little People association of Sri Lanka නම් වන ලංකාවේ ප්‍රථම උසින් අඩු හෙවත් පුංචි මිනිසුන්ගේ සංවිධානය ගොඩනැංවීමට පුරෝගාමී වූ නිසා මේ කුඩා ගැහැනියගේ යෝධ සවිය, බලය අප සමාජය හමුවේ කෙමෙන් දිග හැරෙන්නට පටන්ගෙන තිබේ.

කුඩා දර්ශනීගේ මෙම දැවැන්ත උත්සාහයට ආසන්නම හේතුව මේ දිනවල අප රට පුරා පැතිර යන නිට්ටෑවන් පිළිබඳ උන්මාදයයි. කොහේවත් සිටින මිනිසකු, දෙදෙනකු කී පදනම් විරහිත යමක් ජාතික වශයෙන් අවධානයට යොමු කෙරෙන මාධ්‍යයක ඉදිරිපත් කිරීමට තරම් ජනමාධ්‍යය අද බාල වීම ඔස්සේ හුදෙක් ජනශ්‍රැති මූලාශ්‍ර මත පදනම් වූ කුරු මිනිස් විශේෂයක් වන නිට්ටෑවුන් අප රට තුළ සැබැවින්ම වෙසෙතැයි යන ‘කෙබරය’ සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ.

එම මැටිමෝල් ප්‍රවෘත්ති කලාව අනුව කටයුතු කළ සමාජ ජාල ක්‍රියාකාරීන් සිදු කළේ තම ප්‍රසිද්ධ මාධ්‍ය සරම ඉවතලා අමුඩය පිටින් හැසිරෙන අතරේ තම විළිවැසෙන්නට තිබූ අමුඩ ලේස්නුවද ගලවා දමා උපන් ඇඳුමින්ම සමාජය හමුවේ පෙනී සිටීමය. මේ තත්ත්වය යටතේ ‘නිට්ටෑ උන්මාදය’ සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගිය අතර ඉන් මෙරට සමාජ ජාල වෙබ් අඩවි මගින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා උසින් අඩු පිරිස් බරපතළ නින්දා පරිභවයන්ට ලක් කෙරිණ. ඒ අනුව කඳ බඩ විසල් වුවත් හිස් කබල තුළ සැලකිය යුතු යමක් නැතැයි සහතිකවම කිව හැකි.

බොහෝ දෙනකුගේ ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවිවලින් කුඩා සිරුරුවලින් යුතු ජනතාවට බලවත් සේ අපහාස කෙරිණ. එමගින් ඔවුන්හට දන්වා සිටින ලද්දේ ‘නිට්ටෑවුන් සේ සලකා විවිධ පුද්ගලයන්ගේ පැහැර ගැනීම්වලට ලක්විය හැකි බැවින් උසින් අඩු ජනතාව ප්‍රවේශම් වන ලෙසය. ඒ ද අන්තිම නින්දිත බසකිනි. තමන් සේම සිරුරින් කුඩා ජනතාවට සිදුවන මෙම දරාගත නොහැකි නින්දා අපහාස හමුවේ කම්පා වූ දර්ශනී පළමුව කළේ එවැනි තත්ත්වයෙන් පසුවන්නවුන් ඒකරාශී කොට පොදු හඬක් නැංවීම අදිටන් කිරීමය.

කොළඹ බිෂොප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය වාණිජ අංශයෙන් උසස් පෙළ සමත්ව ඉන්පසුව කළමනාකරණ, ගණකාධිකාරී, සේම ඉංග්‍රීසි, ජර්මන්, යන පාඨමාලා ද හදාරා ඇත්තේ තම පියා සතු සංචාරක නිකේතනයේ කළමනාකරණ කටයුතු භාර ගනු පිණිසය. මේ වන විට ජර්මනිය, ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව, තායිලන්තය ආදී රටවලින් ද තම වෘත්තීය ජීවිතයට අවශ්‍ය අමතර පන්නරය ලබා ඇති දර්ශනී දක්ෂතම ව්‍යවසායිකාවකි. අද වන විට ද ඇගේ ව්‍යවසායකත්වය යටතේ එකසිය පනහකට ආසන්න පිරිසක් සේවය කරති. සිංහල භාෂාවෙන් කුරු, මිටි, වාමන ආදී වශයෙන් හැඳින්වෙන වෛද්‍යමය සහ ජානමය හේතූන් මත නියමිත ප්‍රමාණයට වඩා උසින් අඩු බව ඉංග්‍රීසියෙන් හැඳින්වෙනුයේ Dwarfism යනුවෙනි. මෙම තත්ත්වය නිර්වචනය කිරීම පිණිස ලොව විවිධ නිර්ණායක ඇතත් සාමාන්‍ය වශයෙන් ගත්විට අඩි හතරට වඩා උසින් අඩු පුද්ගලයන් මෙම වර්ගීකරණයට ලක් කළ හැක. ඇතැම් තැනක මෙම ප්‍රමාණය අඩි හතරහමාර දක්වාද වෙනස් වෙයි.

ශ්‍රී ලංකාවේ ජන සංගණනයන්වල දී ආබාධිත වූවන් පිළිබඳ මුල්වරට සලකා බලන ලද්දේ ඉකුත් 2001, 2011 ජන සංගණනයන්හිදී පමණි. එහෙත් උසින් අඩුබව හුදෙක් කායික ආබාධිත තත්ත්වයක් නොවන නිසා ශ්‍රී ලංකාවේ වෙසෙන මෙබඳු පුද්ගලයන් පිළිබඳ කිසිදු සංඛ්‍යාලේඛනයකට අයත් නොවේ. ඒ කෙසේ හෝ සාමාන්‍ය ජන සමාජයට වඩා විෂම ශරීර ප්‍රමාණයන්ගෙන් යුතුවීම නිසා මෙම ජනතාව එදිනෙදා ජීවිතයේ දී මුහුණ පාන ගැටලු අර්බුද සේම මානසික ගැටලු, චිත්ත පීඩාවන් සුළුපටු නැත. එමෙන්ම මොවුන් මෙම තත්ත්වයට පත් වීමට විද්‍යාත්මක හේතූන් කිසිත් නොදන්නා සේම දැන ගැනීමට වුවමනාවක් නොමැති වත්මන් ‘අන්ධ භූත’ සමාජය මොවුන් දෙස බලනුයේ ’අඟහරු ලොවින්’ පැමිණි පිරිසක් සේ සිතමිනි. කුරු, මිටි, වාමන (Dwartism) නමින් හැඳින්වෙන මෙම ශරීර ව්‍යුහය ඇති වීමට ප්‍රධානම හේතුව ශරීරයේ වර්ධක හෝමෝන හීනතාව (Growth Hovmone Deficiecy) බව මූලිකව අනාවරණය වී තිබේ. එසේ වර්ධක හෝමෝන හීනවිය හැකි හේතූන් දෙසීයක් පමණ පෙළගැස්විය හැකිය. නමුත් ඉන් ප්‍රධානතම හේතුව ලෙස සැලකෙනුයේ ශරීරයේ අස්ථීන් නිසි පරිදි වර්ධනය නොවීම මත හට ගන්නා එකොන්ඩ්‍රොප්ලේසියා (Achondroplasia) නම් රෝග තත්ත්වයයි. මෙම තත්ත්වයෙන් පසුවන්නවුන් පරීක්ෂණ මගින් මව්කුසේ කළල අවස්ථාවේදීම හඳුනාගත හැකි අතර උපන් මොහොතේ සිටම ශරීර ලක්ෂණ අනුව මොවුන් හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට පුළුවන.

ශරීරයේ වර්ධක හෝමෝන ඌනතාව මුල්කොටගත් ඇතැම් රෝග සඳහා කෘත්‍රිමව වර්ධක හෝමෝන ලබා දීමෙන් ශරීරයේ උස ප්‍රමාණය යම් ප්‍රමාණයකට වර්ධනය කළ හැක. නමුත් මෙම එකොන්ඩ්‍රොප්ලේසියා රෝගයේ දී එලෙස කෘත්‍රිමව හෝමෝන ලබාදිය නොහැක. නමුදු මේ සඳහා ශල්‍යකර්ම මගින් යම් පිටිවහලක් ලබාගත හැක. එහෙත් එමගින් වුවද සිරුරේ උස ප්‍රමාණය සෙන්ටිමීටර් දෙක තුනකට වඩා ඉහළ නංවා ගත නොහැක. තත්ත්වය එසේ වුවද, එම ශල්‍යකර්මය සිදු කිරීම සම්බන්ධ යම් යම් අවදානම් තත්ත්වයන් සහ ශල්‍යකර්මයෙන් අනතුරුව ගතකිරීමට සිදුවන වේදනාකාරී කාල පරිච්ඡේදය සහ පශ්චාත්ශල්‍ය සංකූලතා නිසා මෙම සැත්කම් කෙරෙහිද මෙවැනි බොහෝ දෙනෙක් යොමු නොවෙති. මෙම තත්ත්වයේ පසුවන වැඩි දෙනකුට සමාජයීය ගැටලු අර්බුද සහ එමගින් හටගන්නා චිත්ත පීඩා හැරුණුකොට වෙනයම් ආබාධිත තත්ත්වයන් නොමැති වීම මත සමාජ සේවා දෙපාර්තමේන්තුව වුව මෙතෙක් මොවුන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකොට නැත. තමන් සේම කුඩා සිරුරු හිමියන් පිළිබඳ මෙම ‘අවනඩුව’ සමාජ සේවා අධ්‍යක්ෂ තිලක් හෙට්ටිආරච්චි මහතාගේ අවධානයට යොමු කිරීමට දර්ශනී තීරණය කරනුයේ එවන් පසුබිමක් යටතේ ය.

‘‘මේක පොදුවේ ගත්තම ආබාධිත තත්ත්වයක් හැටියට සලකන්න බැහැ. දැන් මං ගැන කිව්වත් මගේ මහත්තයා අතුල රත්නවීර සාමාන්‍ය ශරීර ප්‍රමාණයේ කෙනෙක්. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒ පුතාලගෙන් එක් පුතෙක් මේ තත්ත්වයේ ඉන්නේ. නමුත් එයාට හොඳ ක්‍රීඩා කෞශල්‍යයක් තියෙනවා. නමුත් ඒවා වර්ධනය කරගන්න සුදුසු පසුබිමක් මේ රටේ නැහැ. අනික අපි වගේ අය මුහුණ දෙන සමාජමය අපහසුතා නිසා අපි වගේ අයට උදව් කරන්න ලෝකයේ හැම දියුණු රටකම අය සැදී පැහැදී ඉන්නවා. ‘‘ඒ හින්දා තමයි මම මේ ගැන සේරටම කලින් අපේ සමාජ සේවා අධ්‍යක්ෂතුමා දැනුවත් කළේ. ඒ වගේම එතුමා තමන්ගේ වෘත්තීය සීමාව තුළ කරන්න පුළුවන් හැම දෙයක්ම අපේ පිරිස වෙනුවෙන් කරන්න පොරොන්දු වුණා.’’ දර්ශනී කීවාය.

කෙසේ හෝ මෙම ‘පුංචි මිනිසුන්’ගේ එකමුතුව සඳහා එවැන්නවුන්ගේ නාම ලේඛන නොමැති වීම මත පළමුව ඒ පිළිබඳ ජාතික අවධානය යොමුකොට ඇත්තේ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ ප්‍රධාන පෙළේ පුවත්පත් තුනක දැන්වීම් පළ කිරීමෙනි. එම දැන්වීම් අනුව පනස්පස් දෙනකු විමසුම් කරනු ලදුව පසුගිය මාර්තු දෙවැනිදා පුංචි මිනිසුන්ගේ සමාරම්භක සමුළුවට සහභාගි වී ඇත්තේ ඉන් හරි අඩකටත් අඩු පිරිසකි. එනම් විසිහතර දෙනෙකි. එම පිරිස් අතරේ වතු පාලකයකු, ගණකාධිකාරවරයකු, පරිගණක ඉංජිනේරුවරයකු, රජයේ ගුරුවරයකු ඇතුළු තවත් විවිධ වාත්තීන්ට අයත් පිරිස් සිටි බව දර්ශනී කීවාය. එමෙන්ම එහි මංගල සැසියට පැමිණි සියලු දෙනාට ඉතා විශිෂ්ට ආගන්තුක සත්කාරද ඇය සිදුකොට තිබේ. එහෙත් බොහොදෙනකුට මෙම සමුළුවට සහභාගීවීමට නොහැකි වූයේ ප්‍රවාහන පහසුකම් පිළිබඳ ගැටලුව හේතුවෙනි. එයටද වැඩිපුරම බලපෑවේ ඔවුන්ගේ උස අඩුකමය.

‘‘අපේ මේ උත්සාහය මොන තරම් අසීරු අමාරුද කිව්වොත් අපි පිහිටුවා ගත්තු Little people Association of Sri Lanka කියන මේ සංවිධානයට තවම හරිහැටි සිංහල නමක්වත් යොදා ගන්න බැරි වුණා.
දැන් ඒ ගැන සමාජ සේවා අධ්‍යක්ෂතුමන් ඇතුළු විවිධ පිරිස් එක්ක කතා කරලයි තියෙන්නේ. කොහොමත් අපි ළඟදීම අපි වගේ අය දැනට ගොඩනගා ගෙන තියෙන විදේශ සහ ජාත්‍යන්තර සංවිධාන එක්ක එකතු වෙන්න කටයුතු කරනවා.

ඒ තුළින් අපි වගේ අයගේ මානසික පෞරුෂය වගේම සමාජ ආර්ථික සුබසාධන මට්ටම ඉහළ තලයකට ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඔවුන් ජාත්‍යන්තරයට යන්න හදද්දි කඳ බඩ තියෙන හුඟ දෙනෙක් ඔය වගේ අයට උසුළු විසුළු කරලා පහත් සතුටක් ලබන අතරේ තව සෑහෙන කාලයක් යනකම් කැලෑ පඳුරුවලට පොලුවලින් ගහ ගහ නිට්ටෑවෝ සොයනු ඇත.

‘‘අපේ ශරීර පුංචි වුණාට අපේ මූණු, මොළ, හදවත් එහෙම සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රමාණයේම තමයි.’
ඇය සිනාසී කීවාය.

තිලක් සේනාසිංහ