විශේෂාංග

නැව්වල ඇවිළුනු ගිනි නිවන ටග්

පැනමාවට අයත් එම්.ටී. නිව් ඩයමන්ඩ් තෙල් නෞකාව ගින්නකට හසුවූයේ නැගෙනහිර වෙරළේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් තිස් අටකට දුරිනි.එම ගින්න පාලනය කිරීම සඳහා ටග් යාත්‍රා යොදාගත් අතර එම යාත්‍රා නිෂ්පාදන සමාගම වන කලම්බු ඩොක්යාර්ඩ් සමාගමෙන් එම යාත්‍රාවල ඇති විශේෂත්වය ගැන අප තොරතුරු විමසා බැලුවෙමු.

මෙම ලිපිය සැකසෙන්නේ ඒ ඇසුරෙනි.

මුහුදේ යන යාත්‍රාවක් කී විට අපේ රටේ ඇත්තන්ගේ හිතේ මැවෙන්නේ එක්කෝ රොමෑන්තික් ටයිටැනික්‍ නැවය. යුද කාමියෙකුට නම් ඒ යුද නැවකි. සේද මාවත ආසන්නයේ සිටින අයෙකුට නම් තෙල් නැව්, කන්ටේනර් නැව්, මගී නැව්ය. බහුදින ධීවර යාත්‍රා, ඩිංගි බෝට්ටු හැරුණුකොට අපි සබ්මැරින් ගැනද අසා ඇත්තෙමු. ඒ මොනවා වුණත් අපිට ටග් යාත්‍රා හුරු නැත. ටග් යාත්‍රා ගැන කතාව පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් තිස් අටක් ඔබ්බෙන් ගමන් කළ ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාව ගිනි ගත්තායින් පසුය. මහ මුහුදේ ගරිල්ලා මුහුදු සටන් කළ ලෝකේ සිටින ජාතීන් දෙකෙන් එක් ජාතියක් වූ අපේ ඇත්තන්ට තෙල් නැවක් ගිනි ගැනීම අප්ප මුත්තා කාලේවත් අත්දැක නැති දෙයකි. තෙල් ගින්නකට අපිට ඇති එකම අත්දැකීම නම් ඔරුගොඩවත්ත තෙල් ගබඩා සංකීර්ණයට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඇතිවූ ගින්නය.

එදා එසේ ගිනි ගත්තේ මහ පොළොව මත පිහිටි තෙල් ගබඩා සංකීර්ණයකි. මේ පාර ගිනිගෙන ඇත්තේ මහ මුහුදේ පාවෙන තෙල් ගබඩාවකි. සාමාන්‍යයෙන් අපි ගින්නක් නිවන්නට පාවිච්චි කරන්නේ වතුරය. එහෙත් හතර වටේට වතුර තිබුණත් තෙල් ගලායන තෙල් නැවක ගිනි නිවන්නට වතුර ගසන්නට බැරිය. ඒ තෙල් ජලයේ පාවෙන නිසාය.

ඉහත කී ඩයමන්ඩ් නෞකාවේ එංජින් කාමරයේන් ආරම්භ වූ ගින්න පැතිරී යද් දී එතෙක් මෙතෙක් ලොව මුහුණ දුන් දැවැන්තම සමුද්‍ර දූෂණයක් වෙන්නට ඉඩ තිබිණි. එසේ වන්නට ඉඩනොතබා එය මැඩ පවත්වන්නට පැය අසූවකට ආසන්න මෙහෙයුමකින් පසු අපේ ආරක්ෂක අංශ ඇතුළු පිරිසට හැකි විය.

“තෙල්” කොහොමත් වහා ගිනි ඇවිලෙන සුළුය. තෙල් ගෙන යන නැවත් එසේමය. එය ඉහළ අවදානමකි. නැවක තෙල් තිබුණත් නැතත් අන්තර්ජාතික නීතියට අනුව ලොකු කුඩා හැම නැවකටම ගින්නක් ඇතිවීමේ ඉඩකඩ අවම ව පවත්වාගෙන යන්නට, ගින්නක් ඇති උවහොත් ඒ ගින්න නිවා ගැනීමට අවශ්‍ය කරන සියලුම දේ පවත්වාගෙන යෑම අනිවාර්යෙන් කළ යුත්තකි.

“නැවක ගිනි නිවන්න ක්‍රම දෙකක් තියනවා. එකක් නැවේ ගින්න නැව ඇතුළෙම නිවා ගන්න එක. අනෙක නැවේ ගින්න නැවට පිටතින් පැමිණ නිවා දැමීම.

නැවක් ගිනි ගනිද්දී ඒ ගින්න නිවා දමන්න ඒ නැව ඇතුළේ විවිධ උපකරණ තියනවා. ඒ දේවල් ප්‍රයෝජනයට අරගෙන ඒ ගින්න නිවාගන්න පිටතින් උදවු ගන්න ඕන. ඒ විදියට නැවක ඇති වෙන ගින්නක් නිවන්න ප්‍රයෝජනයට ගන්නා එක් යාත්‍රා වර්ගයක් තමයි ‘ටග් යාත්‍රා.’ කියන්නේ.’’ එසේ කීවේ කලම්බු ඩොක්යාඩ් සමාගමේ විධායක නිලධාරී ඩී.වී. අබේසිංහය.

ටග් යාත්‍රාවක් යනු බහු කාර්යය යාත්‍රාවකි. එනම් ‘ගිනි නිවීම’ මේ යාත්‍රාවලට තියෙන හැකියාවන්ගෙන් එකක් පමණි. ටග් යාත්‍රා ගත් විට එහි වර්ග දෙකක් ඇත. එක යාත්‍රා වර්ගයක් ගනුදෙනු කරන්නේ නැව් සමගය. නැව්වලට බඩු ගෙනයන්නට. වරායක් තුළ හෝ වෙනත් තැනක නැවක් එහා මෙහා තල්ලු කරන්න මෙම ටග් යාත්‍රාවලට හැකියාවක් ඇත. මෙම ටග් යාත්‍රාවක් හා නැවක් අලියයි හෙන්ඩුවක් වැනිය. දැවැන්ත අලියෙක් හෙන්ඩුවකින් පාලනය කරන්නේ යම් සේද, ටග් යාත්‍රාවකින් නැවක් එහා මෙහා කර හැකිය.

අනෙක් ටග් යාත්‍රා වර්ගය නම් සැපයුම් යාත්‍රාය. තෙල් නිධි ආශ්‍රිතව නැංගූරම් ගෙනයාම, සැපයුම් ගෙනයාම ආදී කටයුතු සඳහා මෙම ටග් යාත්‍රා යොදා ගන්නේය. මේ හැම ටග් යාත්‍රාවකටම ගිනි නිවීමේ හැකියාව අනිවාර්යෙන්ම ඇත. තෙල් නිධි වැනි තැන් ඉතා ඉක්මනින් ගිනි ඇවිළෙන සුළු ස්ථානවල ඇති ටග් යාත්‍රාවල ගිනි නිවීමේ හැකියාව ඉහළින්ම ඇත.

FiFi 0,1,2,3 යනුවෙන් හඳුන්වන ටග් යාත්ත්‍රාවකට ගිනි නිවීමේ හැකියාව වර්ග කළ හැකිය.

FiFi ‘0’ ටග් එකකට පැයකට ජලය කියුබ්ක් මීටර් 2400ක ජල ප්‍රමාණයක් පොම්ප කළ හැකිය. FiFI’1′ ටග් යාත්‍රාවකට වතුර විදින ජෙට් තුනක් තිබේ. ඒවායින් පැයකට කියුබික් මීටර් දෙදහස් හාරසීයකට වැඩියෙන් මීටර් එකසිය විස්සක දුරට (මීටර් හතලිස් පහක් වේගයකින්) විදින්න හැකියාව ඇත. මෙහි දී නැව්වල තත්ත්වය මනින සමාගම් ඇත. මේ සමාගම් අතරින් එක් සමාගමක් නිර්නායක අනුව FiFi’2′ වර්ගයේ යාත්‍රාවක මෝටර් දෙකකි. ඒ සමාගමේම නිර්නායක අනුව පැයක් ඇතුළත ඝන මීටර් හත්දාස් දෙසීයක ජලය මීටර් එකසිය දහයක උසට සහ මීටර් එකසිය අසූවක දුරට ජලය විදින්න හැකියාව තිබිය යුතුය.

FiFi’3′ ටග් යාත්‍රාවකට මෝටර් තුනක් තිබේ. ඉන් පැයකට ජල කියුබික් මීටර් නමදාස් හයසීයක් මීටර් එකසිය දහයක උසට මීටර් එකසිය අසූවක දුරට ජලය විදින්නට හැකියාව තිබිය යුතුය.

තෙල් නැවක ගිනි නිවීමට වතුර යොදා ගන්නේ තෙල් ගිනි නිවන්නට නොව එම ප්‍රදේශයේ උෂ්ණත්වය පාලනය කර එම පෙදෙස සිසිල්ව තබා ගැනීමටය.

“ගිනි නිවීම සඳහාම භාවිතා කරන්න අපි මාලදිවයිනට යාත්‍රා හැදුවා. ඒ රට දූපත් සමූහයක්. යම් ආකාරයකින් ගින්නක් ඇති වුණොත් ඒ අයට ඒ දූපතට ගිනි නිවන රථයක් යවනවාට වඩා මේ ගිනි නිවන යාත්‍රාවක් යවන එක ලේසියි. අබේසිංහ කීය.

ගිනි ගන්නා නැවක ගින්න නිවන්න මුහුදෙන් මෙන්ම අහසින්ද උදව් ගන්නට හැකිය. ඒ වැඩේට අපේ ගුවන් හමුදාව ද අතගැසුවේය. ගුවන් හමුදාවේ MI17 වර්ගයේ හෙලිකොප්ටර් යානා යොදාගෙන නැවට ඉහළින් ජල ගැලුම් ලක්ෂ ගනණක් පතිත කළෝය. එමෙන්ම බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා යොදාගෙන “ඩ්‍රයි කෙමිකල් පවුඩර්” ගුවනින් ඉසිනු ලැබීය. ඒ ලංකාවේ ප්‍රථම වතාවටය.

එය ගින්න සාර්ථකව පාලනය වීමට බෙහෙවින් පිටිවහලක් විය. ඒ කෙමිකල් පවුඩර් එක ගිනි ගන්නා නැව් බඳේ පෘෂ්ඨයට උරා ගත් විට ගින්නකට අවශ්‍ය කරන ඔක්සිජන් නැති වී යයි. ගින්න නිවී යන්නේ එවිටය.

ගිනිගන්නා නැවක ගින්න නිවා දමන්නට පිටතින් කළ හැකි දේ එසේ තියෙද් දී විශේෂයෙන්ම තෙල් නැවක් ගිනි ගෙන දැවී ගොස් බොරතෙල් මුහුදට එකතු වීම වැනි දැවැන්ත අනතුරුවලට ලක්වීමේ අවධානම අඩු කරන්නට නැව් නිෂ්පාදනයේදී ගන්නා ක්‍රියා මාර්ග ගැන පැහැදිලි කළේ කලම්බු ඩොක්යාඩ් සමාගමේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ගයානාත් රත්නායකය.

“නැවක් හදද්දී ඒ නැව ගින්නකින් ආරක්ෂා කර ගන්න විවිධ ක්‍රියා මාර්ග ගන්නවා. නැවේ සෑම කොටසකම ගිනි නිවන්න අවශ්‍ය කරන අපට එදිනෙදා ජීවිතයේ දකින්නට ලැබෙන සිලින්ඩරවල තිබෙන කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවන, හැම තැනම තියලා තියෙන්නේ. යම් කිසි තැනට කුඩා ගින්නක් හෝ දුමක් ඇති වූ විට ඒ ගැන දැනුම් දෙන්න පූර්ව අනතුරු ඇඟවීම්, ආරක්ෂණ පද්ධතියක් තියනවා. මේ ආරක්ෂණ පද්ධතිය ඉතාමත් සුළු දුමකට පවා සංවේදී වෙනවා. විශේෂයෙන් ජපන් ජාතිකයන්ට නිර්මාණය කරන නැවක දුම් පානය කිරීම වෙනුවෙන්ම විශේෂ ස්ථාන නිර්මාණය කරලා තියනවා.

ඒ වගේම නැව් හදන්නේ කොටස් වශයෙන්. ඒ කියන්නේ නැවේ බඳ කොටස් විශාල ප්‍රමාණයකට වෙන් කරලා කෑල්ලෙන් කෑල්ල හදලා තමයි ඒක එක තැනකදී එකලස් කරන්නේ. ඒ හැම කොටසම වෙන වෙනම සීල් තියලා තියෙන්නේ. අපි හිතමු එංජින් කාමරයේ යම් ගිනි ගැනීමක් වුණා කියලා. මුලින්ම කරන්නේ නැවේ කාර්ය මණ්ඩලය එතැනින් ඉවත් වෙලා. ඒ කොටස සීල් තියන එක. ඊට පස්සේ උපකරණ යොදාගෙන ඒ ගින්න නිවන්න උත්සහ කරනවා. ඒක ඒ වෙනකොට සීල් තියලා තියෙන්නේ. එවිට ගින්නක් පැතිරීම පාලනය වෙනවා. ඒ ගැනද ගිනිගත් නැවේ පිටතින් ඇති තට්ටුව ගැන ද ඉංජිනේරු ගයාෂාන් පැහැදිලි කළේය.

මේ ගිනි ගත්ත නැව ඩබල් හල් නැවක්. ‘‘සරලවම කියනවා නම් ඩබල් හල් නැවක පිටතින් පේන බඳ කොටසට ඇතුළතිනුත් තවත් තට්ටුවක් ගහලා තියෙන්නේ. මේ හේතුවෙන් නැවක් ඇතුළතින් වගේම පිටතිනුත් ආරක්ෂා වෙනවා. අපි හිතමු නැව ගල් පරයක හැප්පිලා යම් කිසි අනතුරකට පත් වුණා කියලා. එතකොට ඒකෙන් හානි වෙන්නේ අර පිටත බඳට විතරයි. මම කළින් කිව්වේ නැවක් හදන්නේ කොටස්වලට වෙන් කරලා සීල් තියලා කියලා. මේ හේතුව නිසා නැවේ තෙල් කාන්දු වීමක් වුණොත් පිටතට යන්නේ ඒ කොටසේ තියෙන තෙල් විතරයි. නැව ඇතුළෙන් යම් හානි වීමක් වුණත් එහෙමම තමයි.”

තවද තෙල් ටැංකිවලට සම්පූර්ණයෙන්ම තෙල් පුරවන්නේ නැත. එසේ ඉතිරිවන හිස් අවකාශය පුරවන්න්නේ ගිනි නොගන්නා නිශ්ක්‍රීය වායු යොදාගෙනය. තෙල් නැවක් පමණක් නොව වෙන ඕනෑම නැවකට ගිනි නොගන්නවා යැයි සහතික දෙන්නට නොහැකිය. ඒත් සමුදුරේ නීතිය උත්සහ කරන්නේ සෑම විටකම නැවක් ආරක්ෂිතව තබා ගැනීමට කළ හැකි සියලුම දේ කරන්නය. ඒ නිසා නැවක නිෂ්පාදනයේ සිට සියලු කටයුතු නිරීක්ෂණය කරන්නට ගුණාත්මක බව තක්සේරු කරන්නට තුන්වන පාර්ශ්වයක් සිටින්නේය. ඔවුන් නැවේ සියලු කටයුතු සොයා බලා තමන්ගේ තත්ත්ව සහතිකය නිකුත් කරන්නේය. මේ තත්ත්ව සහතිකය ලබා ගන්නට මෙන්ම නැවක් ලියාපදිංචි කරන්නට බොහෝදේ කරන්ට අවශ්‍යය. ඒත් නාවික ක්ෂේත්‍රයේ ඇත්තන් පවසන්නේ මේ වැඩේ පැනමාවේ ලියාපදිංචි කර ගැනීම පහසු බවය. මේ සිද්දියට මුහුණ දුන් නිව් ඩයමන්ඩ් නෞකාවද ලියා පදිංචි කර ඇත්තේ පැනමාවේ බැවිනි.

මධුෂානි කොඩිතුවක්කු