විශේෂාංග

නව මානව හිමිකම් කොමසාරිස්වරිය සහ අපේ අනාගතය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ධුරයට මිචයිලා බචලේ පත්වීම නිසා අනාගතයේදී ශ‍්‍රී ලංකාවට සාධාරණයක් වනු ඇතැයි මතයක් ඇතැමුන් තුළ හටගෙන තිබේ. බචලේ ඇමරිකන් හිතැති චිලී ආඥාදායක පිනචෝගේ හමුදාවල වධහිංසාවලට ලක් වූ තැනැත්තියකි. පිනචෝ විසින් බලයෙන් පහ කරන ලද ඇලන්ඬේට හිතැති, ගුවන් හමුදා ජනරාල්වරයකු වූ ඇගේ පියා මිය ගියේ පිනචෝගේ සිරකඳවුරකය. ඇගේ මවද පිනචෝගේ හමුදාවල හිංසනයට ලක්වූවාය. බචලේ වාමාංශික දේශපාලන අදහස් දරන්නියක වශයෙන්ද ප‍්‍රසිද්ධය. ඇය නිසා ශ‍්‍රී ලංකාවට යහපතක් වනු ඇතැයි ඇතැමුන් බලාපොරොත්තු වන්නේ ඇගේ එම දේශපාලන පසුබිම සලකමිනි. ඔවුන් සිතන පරිදි ශ‍්‍රී ලංකාවට සාධාරණයක් කිරීමට බචලේට හැකියාවක් තිබේද?

සවුදි අරාබිය උපතේ සිටම බි‍්‍රතාන්‍යය හා ඇමරිකාව යන රටවල් දෙකේ හොඳම මිතුරෙකු ලෙස කටයුතු කරන රටකි. මක්කම ශුද්ධ නගරය පිහිටා ඇති නිසා එය ඉස්ලාම් ලෝකයටම වැදගත් භූමි කලාපයකි. සවුදියේ රාජ්‍යාගම සුන්නි ඉස්ලාම් ආගම බැවින්, එය ලොව සියලූ සුන්නි ආගමිකයින්ගේම ආගමික මූලස්ථානයයි. සවුදිය ලෝක දේශපාලනයට වැදගත් වන එක් කරුණක් වන්නේ සුන්නි මුස්ලිම් අදහන්නන් වෙසෙන ඕනෑම රටකට බලපෑම් කිරීමට ඇති ඊට බලයයි. මෙයින් සවුදියේ ශක්තිය මිස එය වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන බවක් අදහස් නොවේ.

සවුදි අරාබිය තම රටේ ප‍්‍රශ්නවලට වෙනත් රටක් අත පෙවීම නොරුස්සන බව පෙන්වන සිද්ධියක් පසුගියදා සිදු විය. කාන්තා අයිතිවාසිකම් දිනාගැනීම උදෙසා වෙහෙසෙන සමාරා බදාරි නමැති සුප‍්‍රසිද්ධ කාන්තාව අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් කැනඩාව කළ ප‍්‍රකාශයට විරෝධය දැක්වූ සවුදි රාජ්‍යය එහි කැනේඩියානු තානාපතිවරයාට පැය විසිහතරක් ඇතුළත රටින් පිටවෙන්නැයි නියෝග කළාය. එයින් නොනැවතී සවුදියේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසූ බවට චෝදනා නගමින් කැනඩාවට විරුද්ධව තවත් පියවර කිහිපයක්ම ගත්තාය. සවුදිය සිය අභිමානය උදෙසා කටයුතු කළ ආකාරය සලකන විට කැනඩාව ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිල්ලක් නොව අත් දෙකම ඔබාගෙන කකුල් දෙක අස්සේ ගහගෙන සිටින රටකි.

රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට ඇඟිලි ගැසීමක් සිදුවූ බව වැටහුණු විට කෝප වන හා ඊට ප‍්‍රතික‍්‍රියා දක්වන රාජ්‍ය නායකයින් ආසියාවට අඩුවක් නැත. පිලිපීනයේ ජනාධිපති ඩුටාරේට් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පමුණුවන්නට තීරණය කළ විට, ඔහු මානව හිමිකම් කඩන්නකු යැයි එජා මානව හිමිකම් කොමසාරිස් සයිඞ් අල් හුසෙන් කුමරු චෝදනා කළේය. ඩුටාරේට්, ’වෛශ්‍යාවගේ පුතා’ යයි අල් හුසේන් අමතමින් ලූණු ඇඹුල් ඇති පිළිතුරක් දුනි. මානව හිමිකම් ගැන සොයන්නට පිලිපීනයට එන්නට ඇසුවේ නම් ඔහුට ලැබෙන්නේ මීට සැර කණ පැලෙන පිළිතුරක් බවට සැකයක් නැත. ශ‍්‍රී ලංකාව බොහෝ ගරුසරු ඇතිව හුසේන් පිළිගත්තාය. ලංකාව කෙරෙහි ඔහු දැක්වූ ප‍්‍රතිචාරය නිවටයා දැක එළුවා රැවුල දික්කිරීමට සමානය.

ඩුටාරේට්ගෙන් කතෝලික රටක වෙසෙන කතෝලික ජනාධිපතිවරයෙකි. එහෙත් පිලිපීනයේ මානව හිමිකම් කඩවෙතැයි පාප්තුමාට කී විට ඩුටාරේට් ඊට පිළිතුරු දුන්නේය. ඉන් පසුව බිෂොප්වරු පිරිසක්ම පිලිපීනයේ මානව හිමිකම් කඩවීමක් සිදු නොවන බව කියා සිටියහ. ඩුටාරේට් මෙන් වාචිකව විරුද්ධත්වය ප‍්‍රකාශ නොකළ නමුදු ඉන්දියාව හෝ චීනය කිසිම අවස්ථාවක මානව හිමිකම් සංවිධානයන්ට සිය රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලිගැසීමට ඉඩ දී නැත. උතුරු කොරියානු නායකයා ඉදිරියේ එජා මානව හිමිකම් කොමිසම අසරණ විය.

කිසියම් රටක පවත්වන ජනාධිපතිවරණයකදි හෝ මහ මැතිවරණයකදී එම රටේ දේශපාලන නායකයින් මොන සංවිධාන පිහිටුවාගෙන සිටියත් ඔවුන්ට නොදැනී සුන්නි ජන මතය වෙනස් කිරීමේ හැකියාවක් සවුදියට තිබේ. සවුදිය විදේශ රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන නමුදු, ලෝකයේ බලය පවත්වාගෙන යාමට උත්සාහ දරන රටවල රෙජිම් චේන්ජ් ක‍්‍රියාවලියේ බලවතුන්ට සවුදිය සතු බලයෙන් ප‍්‍රයෝජණ ගැනීමට පුළුවන. සවුදිය සන්නද්ධ කිරීමට හා ආරක්ෂා කිරීමට ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල් කටයුතු කිරීම එවැනි අනුමානයකට අවසර සපයයි. බෞද්ධ සංවිධානවලට දෝෂාරෝපණ එල්ලවූ නමුදු පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව මුස්ලිම් ඡන්ද භාවිතා වූයේ මෙවැනි උපායකිනි. එය හෙළිවීම වළක්වාගෙන සිටීම පවා උපායකි.

ඇමරිකාව ප‍්‍රධාන බටහිර බලවතුන් සවුදිය සමග ඇති දැඩි සබඳතාව හේතුවෙන් ඊශ‍්‍රායලය සමග මිත‍්‍රත්වයෙන් කටයුතු කිරීමට සවුදිය අරාබිය පෙළඹුණි. මේ නිසා ඊශ‍්‍රායලයේ කැමැත්ත ඇතිව සවුදි අරාබියේ යුද ශක්තිය ඉහළ නැංවීමට ඇමරිකාව සමත් විය. සවුදිය, බිලියන ගණන් වටිනා නවීන යුද අවි සහ ප‍්‍රහාරක යානා ඇමරිකාව බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශය යන රටවලින් මිලයට ගත් අතර සවුදි හමුදාව පුහුණු කිරීමටත් මෙම රටවල් සම්බන්ධ වේ. මැදපෙරදිග දිළිඳුම රට වශයෙන් සැලකෙන්නේ යේමනයයි. ඊට පහර දෙන සවුදිය, මිත‍්‍ර රටවලින් ලබාගත් ඩ්‍රෝන යානා පවා ඒ සඳහා යොදාගනී. පසුගිය සතියේ සවුදි ඩ්‍රෝන යානාවලින් යේමනයට දැමූ බෝම්බයකට පාසල් බස් රථයක් හසුවී සිසුන් විශාල පිරිසක් මිය යෑම ලොවම දන්නා සිද්ධියකි. පසුගිය කාලයේ එජා මානව හිමිකම් කොමිසම ලෝක ප‍්‍රශ්න දෙස එක ඇසක් වසා බැලූ බැවින් බලවතුන් සිදු කළ මානව හිමිකම් කඩකිරීමේ මෙවැනි සිද්ධින් රාශියක් යටපත් විය.
මේ නිසා එජා මානව කොමසාරිස් මිචයිලා බචලේ පත්වීමෙන් ශ‍්‍රී ලංකාවට සාධාරණයක් වේයැයි සිතීම ලොකු මුළාවකි. ඇයට අවංකව වැඩ කිරීමට ශක්තිය ඇතැයි හුසේන් කුමරු කළ ප‍්‍රකාශය කයිවාරුවකි. චිලි රටේ ජනාධිපතිවරණ දෙකකින් දෙවරක් බලය ලබාගත් ඈ කාන්තා අයිතීන්, නිදහස හා බලය වෙනුවෙන් කැපවී කටයුතු කරන්නියක වශයෙන් ප‍්‍රසිද්ධය. ඇය චිලියේ බලයට පත් පළමු ජනාධිපතිවරියයි. ලෝකයේ ලොකුම තඹ නිෂ්පාදකයා වන චීනයේ සමාජ අසාධාරණය දුරලන බවට ඇය දුන් මැතිවරණ පොරොන්දුව ඉටු කිරීමට ඇය අපොහොසත් වූවාය. ඇගේ දුව හා බෑණා පවා රාජ්‍ය දේපොළ මංකොල්ලකෑ බවට චෝදනා එල්ල විය. එහෙයින් ඇය මේ තනතුරට පත් වන්නේ කටකලියාවක් වැටුණු අශ්වයකු මෙනි.

සාධාරණව කටයුතතු කිරීමේ සැබෑම උනන්දුවක් ඇයට ඇතැයි උපකල්පනය කළද, කොමිසම තුළ ඇයගේ ක‍්‍රියාකාරිත්වයට කොමිසමේ විශේෂඥයින්, උපදේශකයින් හා කාර්යාල සපයන වාර්තා ප‍්‍රධාන වේ. මේ කිසිදු පාර්ශ්වයකින් ශ‍්‍රී ලංකාවේ හමුදාවට යුක්තියක් ඉටු වනු ඇතැයි බලාපාරොත්තු විය නොහැකිය. ඔවුන්ගෙන් නිවැරදි අදහසක් ගැනීමට නම් සිංහල බෞද්ධ නොවන කතෝලික ඉස්ලාම් ආගමික නායකයින්ගෙන් ද ශ‍්‍රී ලංකා හමුදාව කළ මානුෂික මෙහෙවර ගැන අදහස් ප‍්‍රකාශ විය යුතුය. එවැන්නක් සිදු නොවන රටක දේශපානඥයින් දොඩවන ආගමික සමගියද ව්‍යාජයක් පමණි.

ඬේවිඞ් ඇන්තනී