විශේෂාංග

නවක සිසුවෝ ද මනුෂ්‍යයෝය

2018 අගෝස්තු 10 වැනි දින නවකවදය වැළැක්වීමේ පනත නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පාර්ලිමේන්තුවට ගෙන ආවාය. ඇය එම යෝජනාව ගෙන ආවේ නවකවදයෙන් පීඩා විඳින සිසුවියන් පිරිසකගේ ලිපියක් සභාගත කරමිනි. ඒ ලිපියේ කොටසකි මේ…

‘‘සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන් වන අපි තව ටික දිනකින් මැරිලා යයි. නවකයින්ට ජ්‍යෙෂ්ඨ සිසුන් දෙන වද හිංසා ඉවසන්න බැහැ. දේශකයොත් සමහර වෙලාවට දේශනවලට එන්නෙ නැහැ. ඒ නිසා සතියේ දින පහේ උදේ 7.30 ඉඳලා හවස 6 විතර වෙනකල් නවකයින් හතර වන මහලේ 10 කාමරයේත්, දෙවන මහලේ පළමු වන කාමරයේත් වධකාගාරවල හිර වී ඉන්නවා. අපට එක විනාඩියක්වත් නිකං ඉන්න දෙන්නේ නෑ. අනලා අනලා මිරිකලා දෙන බත් ටිකත් කටට දාගන්නකොට ම ආපහු එළියට දාන්න කියනවා. සමහරදාට දවසම බඩගින්නේ. බෝඩිමට ගිහින්වත් බත් ටිකක් උයාගන්න බැරි තරමට ඇඟ අත පය රිදෙනවා. ශාරීරික අභ්‍යාස හරිම අමානුෂික යි.’’

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ගෙන ආ ‘නවකවද විරෝධී පනත’ ක්‍රියාත්මක කිරීමේ යෝජනාව ස්ථිර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ආශුබෝධ මාරසිංහද නවකවදය සම්බන්ධයෙන් සිය අදහස පළකළේය.

‘‘විශ්වවිද්‍යාලවල තරුණයින් දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ කරගැනීමට එහෙමත් නැත්නම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සහෝදරත්වය වර්ධනයට ‘නවකවදය’ අවශ්‍යයි කියලා මතයක් තියෙනවා. නමුත් ඒක මිථ්‍යාවක්. නවක වදය ලබාදෙන ශිෂ්‍යයින් ගැන අප අධ්‍යයනය කර තිබෙනවා. බේබදු තාත්තාගෙන්, පවුලෙන්, එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලයෙන් හෝ සමාජයෙන් පීඩාවට පත් වූ ශිෂ්‍යයින් තමයි නවකවදය දෙන්න ප්‍රධාන වශයෙන් පෙලඹෙන්නෙ. ඒ නිසා ඔවුන්ට දඬුවම් දීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔවුන් පුනරුත්ථාපනය කරන වැඩපිළිවෙළකුත් අවශ්‍යයි…’’

කෙසේ වෙතත් මෙම අදහස පිළිබඳ අදහස් දක්වන පුද්ගලයින් මෙම කාරණයට එකඟ නැත. මන් ද යත් නවකවදය වැළැක්වීමේ පනත තුළ තිබෙන ඇතැම් වාක්‍ය පුළුල් අර්ථකථන සහිත ඒවා වීම නිසාය. සාමාන්‍ය විහිළුවක්’ පවා ‘නවකවදයක්’ ලෙස අර්ථකථනය කිරීමේ හැකියාවක් මෙම පනත සතු බව ඔවුන්ගේ අදහසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ යෝජනාව පිළිබඳව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ එවකට සිටි කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසුවේ නවකවදය වැළැක්වීමේ නීතිය ගෙන එනු ලබන්නේ ශිෂ්‍යය මර්දනය සඳහා බවයි. මේ අනුව බලාත්මක කිරීමට සැරසුණු ‘නවකවද විරෝධී පනත’ට රට වටෙන්ම ශිෂ්‍ය විරෝධතා එල්ල විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1998 දී මෙන්ම 2018 දී ද එම පනත බලාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැත.

1998දී සම්මත වී ඇති නවකවද පනත බලාත්මක වූයේ නම්, නවකවදය දෙන අයකුට වන්දි ගෙවීමක් සමාන වසර 02 සිට 10 දක්වා වූ සිරදඬුවමක් නියම විය හැක.

නැවත වතාවක් නවකවදය පිළිබඳ මාතෘකාව ඉදිරියට ආවේ පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලයේ ශනිල්ක දිල්ශාන් විජේසිංහ සිසුවාගේ මරණයත් සමගය. උසුලාගත නොහැකි නවකවදය නිසා මේ සිසුවා සිය දිවි හානි කරගන්නේ සිය ගෙවත්තේ ගසක එල්ලී ගෙල වැලලාගෙනය. නවකවද විරෝධී පනතට විරුද්ධ වූ කිසිවෙක් මීට පෙර සිදුවූ සිද්ධීන්වලට සේම මේ ඛේදවාචකයට වගකියන්නේ නැත. සියල්ලෝම ඊට කරහරිමින් සිටී.

නවකවදය ලබා දෙන සිසුන්ගේ ඇත්ත අභිලාෂයන් මොනවාද? ඔවුන් නවකවදය ලෙස කරන්නට කියන්නේ මොනවාද? ඊට නවකවදය ට මුහුණ දුන් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමුවන වසර සිසුවියක් තමා මුහුණ දුන් අත්දැකීමක් අරුණට පැවසුවාය.

‘‘ ගෑනු ළමයෙක් හැරිලවත් නොබලන විදියෙ මූණු තියෙන කොල්ලො ටිකක් තමයි අපිව රැග් කළේ. ඒගොල්ලො පුදුම සතුටක් විඳින්නෙ, අපිට කුණුහරුප උගන්නලා. ප්‍රසිද්ධියෙ උන් ව බදාගන්න කියනවා. ආදරේ ප්‍රකාශ කරවා ගන්නවා. උන් ව පාරකදි මූණට මුණගැහුණත් ඔළුව නමලා ආචාර කරන්න කියනවා. රැග්එක නං දැන් ඉවරයි… ඒත් තවමත් අපි උන්ගෙ නෝට්ස් ලියනවා… උන් අපේ කෑම කනවා… ගෙදරින් එවන සල්ලිත් උදුරගන්නවා… උන්ගෙ ඉංග්‍රීසි බැරි කමේ හීනමානය, කුල හීනමානය, ලස්සන නැති කම, දුප්පත්කමේ පීඩාව කියන ඔක්කොටම පළිදරන්නෙ අපෙන්… පිරිමි හොස්ටල්වලත් අන්තිම නරක විදියට රැග් එක තියෙනවා… අපේ බැච් එකේ අලුත් කොල්ලො කියන විදියට ෆයිනල් ඉයර් කොල්ලො ඇවිල්ලා උන්ව හෙලුවෙන් පෝලිං ගස්සල නොයෙකුත් වද දෙනවලු…’’

මේ කාරණා දෙස බලනවිට නවකවදය යනු මානසික ව්‍යාධියක අතුරු ප්‍රතිඵලයක්දැයි සැකයක් මතුවේ. මනෝ වෛද්‍ය විශේෂඥයකු වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ආරම්භක අධ්‍යක්ෂක, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය අංශයේ අංශ ප්‍රධානී වෛද්‍ය ජයන් මෙන්ඩිස් මහතා අරුණට නවකවදය ලබා දෙන්නන් ගැන පැවසුවේ මෙවැන්නකි.
‘‘එක පාරක් නවකවදයට ගොදුරු වෙච්ච අය ම තමයි ඊළඟ පාර නවකවදය ක්‍රියාත්මක කරන්නෙ. නවකවදය දෙන ළමයින් නොයෙකුත් විදියේ ශාරීරික කරදරවලට, ලිංගික කරදරවලට මුහුණ දීපු අය. පවුල් ජීවිතයේ ප්‍රශ්න, දෙමාපියන්ගේ ප්‍රශ්නත් නවකදය දෙන අයට බලපාලා තිබෙනවා. එවැනි අය තමයි නවකවදය දෙන ළමයි විදියට හඳුනාගෙන තිබෙන්නෙ. ඒ වගේම දරිද්‍රතාවයෙන් පෙළෙන ළමයි සහ එයින් පෙළුණු ළමයි අතර නවකවදය දෙන ගතිය වැඩියි. ඊටත් වඩා තව කෙනෙක්ගේ දියුණුවක් දකින්න අකමැති අය තමයි නවකවදය දෙනු ලබන්නේ. හිත යට තිබෙන ඉරිසියාවත් ක්‍රෝධයත් වෙනත් විදියකින් පෙන්නුම් කිරීමක් තමයි නවක වධය කියන්නෙ. ඇත්තෙන්ම මේක මානසික ප්‍රශ්නයක්. පොඩි දේවල්වලින් මේක නවත්වලා දාන්න අමාරුයි. මොකද මේක නවත්වන්න වෙන්නෙ සමාජයේ දියුණුවත් එක්ක. ’’

ගීතයක් ගයන්නට කීම වැනි සාමාන්‍ය රැග් එකකට සමාව දිය හැක. නමුත් එය පවා බලහත්කාරයකි. එහෙත් මේ ආකාරයේ ලිංගික බලහත්කාරකම් කිරීමේ පටන් බරපතළ ශාරීරික හිංසන දක්වා නවකවදයන් ට කිසිසේත්ම සමාව දිය නොහැක. විශ්ව විද්‍යාල ජීවිතය පමණක් නොව ජීවිතයත් එපා වන තරමට ඒ නවකවද හිංසනයන් කෘෘර ය. ම්ලේච්ඡය.

නවකවදය නිසා ජීවිතය අහිමි වූ පළමු සිසුවා ලෙස වාර්තා වන්නේ 1993 වසරේදී මියගිය රුහුණු විශ්වවිද්‍යාලයේ චමින්ද පුංචි හේවා සිසුවාය. එදා මෙදා තුර සිසුන් 14 දෙනකුට නවකවදය නිසා ජීවිතය අහිමිව ඇත. තවත් දහස් ගණනකට සරසවිය අහිමිව ඇත. මේ කිසිවක් නොවුණත් අමානුෂික නවකවදය නිසා මානසික පීඩාවට ලක්වූ පිරිස කොතරම්දැයි අප කිසිවකු දන්නේ නැත.

එනිසා තවදුරටත් නවකවදය මේ රටේ තිබිය යුතු නැත. එය කොයි පැත්තෙන් බැලුවත් අශිෂ්ඨ, පසුගාමී ක්‍රමවේදයකි. ඊටත් වඩා නවකවදය නිසා රටට අහිමි වෙමින් තිබෙන වටිනා ජීවිත ගැන අප නැවත වතාවක් සිතා බැලිය යුතුය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍යයෝ බහුතරයක් නවකවදය වැළැක්වීමේ පනත බලාත්මක වෙනවාට විරුද්ධය. එහෙත් නවකවදය අහෝසි කිරීමට ඔවුන් එකඟය.

එසේ නම් කළ යුත්තේ කුමක්ද? නීතිමය තත්ත්වයන් පිළිනොගන්නේ නම් එකඟතාවයන් මගින් හෝ නවකවදය වහාම නතර කළ යුතුය. වගකිව යුත්තෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සමග ඒ ගැන කඩිනම් සාකච්ඡාවක් කරගත යුතුව ඇත. මන්දයත් තවදුරටත් නවකවදය ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම තුළ සිදුවන්නේ අපේ රටේ අනාගත උගතුන් බුද්ධිමතුන් රටට අහිමි වීමයි. ඊටත් වඩා බරපතළ තත්ත්වය වන්නේ ඔවුන් තම ජීවිතවලින් වන්දි ගෙවීම යි. එය නවත්වාලීම සඳහා නවකවදය මේ මොහොතේ පටන් නතර විය යුතුය!
——————————————————————————————————————–
අපි නීතිවලට එකඟ නෑ

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර
මොරටුව විශ්වවිද්‍යාලයේ ඇතිවුණු සිද්ධිය ගැන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දරන්නෙ මොන වගේ අදහසක්ද ?
මොරටුව විශ්වවිද්‍යාලය සහ එන් ඩී.ටී. ආයතනය එක්ක අපි තාම සබඳතාවයක් ගොඩ නගාගෙන නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේ සිදුවීම සම්බන්ධයෙන් සහ මේ විශ්වවිද්‍යාලයේ නවකවදය පරාජයට පත් කරන්න. මොකද අපි නවකවදයට විරුද්ධයි. අපි එය නැවැත්වීම සඳහා විශාල මැදිහත්වීමක් කරනවා.

මොනවද අන්තරේ නවකවදය වැළැක්වීම වෙනුවෙන් කරලා තියෙන්නෙ ?

ගිය අවුරුද්දෙ අවසාන කාලෙදි අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු විද්වතුන් අන්තරේ සම්බන්ධ වෙලා ප්‍රසිද්ධ සංවාද වටයක් ගෙනිච්චා නවකවදය අහෝසි කරන්න. එවැනි ක්‍රියාමාර්ග ඉදිරියට තවත් වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
හැබැයි ඔහොම කියන අන්තරේ ම 1998 දි සහ 2018 දි ලංකාවට නවකවදය අහිමි කරන්න තිබුණු අවස්ථා දෙකම අහිමි කළානේද?

අපේ සටන් පාඨය ඒ අවස්ථා දෙකේදීම තිබුණේ වදක පනතත් එපා නවක වධයත් එපා කියලා. ඒ කියන්නෙ අපි නීතිවලටත් විරුද්ධයි, නවකවදයටත් විරුද්ධයි. මරණ දඬුවම ගෙනාවා කියලා ප්‍රශ්න නැති වෙන්නෙ නැහැනෙ. ඒ නිසා නීතිවලට අපි විරුද්ධයි. හැබැයි නවකවදය කියන්නෙ සංස්කෘතික පසුගාමීත්වයක්. ඒක නැති කරන්න ඕනෙ. ඒකයි අපි ඉන්න මතය.
ඉතින් නීතියක් වුණාම ඒකෙ පිළිගැනීම වැඩියිනෙ ?

අපි නීතිවලට එකඟ නෑ.

නවකවදය හේතුවෙන් මේ දක්වා සිය දිවි හානි කර ගත් විශ්වවිද්‍යාල සිසු සිසුවින්ගේ විස්තර…

01. 1975 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ඉගෙනුම ලැබූ 22 හැවිරිදි ‘රූපා රත්නශීලී’ නමැති ශිෂ්‍යාව ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් සිදු වූ නවකවදය දරාගත නොහැකිව රාමනාදන් ශාලාවේ නේවාසිකාගාරයේ දෙවැනි මහලින් බිමට පැන්නාය… ඒ වන විට ඇගේ යෝනි මාර්ගයට ඉටිපන්දමක් ඇතුළුකොට තිබිණ… නේවාසිකාගාරයෙන් බිමට පැනීම නිසා ආබාධිත තත්ත්වයට පත්වූ ඇය සිය ජීවිතයේ ඉතිරි කාලය ගත කළේ ‘රෝද පුටුවක්’ මත ය. රූපා සිය පාදයන්ට ඇති වූ ආබාධ නිසා හටගත් සිත් තැවුල් හා කරදර නිසා 1997 දී සිය දිවි හානි කර ගත්තාය.

02. 1993 දී නවකවදයට ගොදුරු වීම හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ‘චමින්ද පුංචිහේවා’ නමැති සිසුවා මරණයට පත් විය…

03. එම වසරේදීම අඟුණකොලපැලැස්ස කෘෂි පාසැලෙහි සිදු කෙරුණු නවකවද සිද්ධියක් හේතුවෙන් ‘ප්‍රසංග නිරෝෂණ’ නමැති සිසුවා මරණයට පත් විය…

1997 වසරේදී නවකවදය හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් තුන් දෙනෙක් සිය දිවි හානි කර ගනු ලැබූහ.

04. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකු වූ 21 හැවිරිදි ‘එස්. වරප්‍රකාශ්’, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දුන් දරුණු නවක වදය අතරතුර වකුගඩු අක්‍රීය වීමෙන් මරණයට පත්විය…

05. රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියක, නවකවදය හේතුවෙන් සිය දිවි නසා ගන්නා ලදී…

06. නවකවදයේ දි දැඩි වෙහෙසකර ව්‍යායාම කිරීමට සහ අධිමාත්‍ර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වීම නිසා ඇතිවූ වකුගඩු අක්‍රීය වීමක් හේතුවෙන් අම්පාර හාඩි තාක්ෂණික ආයතනයෙහි පළමු වසරේ සිසුවෙකු වූ ‘කැලුම් තුෂාර විජේතුංග’ මරණයට පත්විය…

07. 1998 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවෙක් නවකවදය අතරතුර සිදුවූ බරපතළ කායික හිංසනයෙන් මරණයට පත් විය…

08. 2002 වසරේදී නවකවදයට එරෙහි ව්‍යාපාරයකට මුල පිරූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ, සමන්ත විතානගේ නමැති ශිෂ්‍යයා රැස්වීමක් අතරතුරදී ඝාතනයට ලක් විය…

09. 2015 පෙබරවාරි මාසයේදී සබරගමුව විශ්වවිද්‍යාලයේ හිමාලි චතුරිකා සිසුවිය සිය දිවි හානි කර ගත්තාය. ඇය අවසන් ලෙස ලියා තිබූ කෙටි ලිපියෙහි සඳහන්ව තිබුණේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කිසිවෙකුටත් තම අවමඟුලට සහභාගි වීමට ඉඩ නොතබන ලෙසයි.

10. 2011 වර්ෂයේදී රුහුණු විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක් තුළ දී නවකවදයට ගොදුරුවූ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිසුවියක්, ‘අංශ භාග’රෝගයට පත්විය…

11. 2016 වසරේදී නවකවද සිදුවීමක් අතර සිදු වූ ලිංගික හිංසනයකට අදාළව අධිකරණය ඉදිරියේ විභාග වුණු නඩුවක සාක්ෂිකරුවෙකු වූ ද, නවකවදය හේතුවෙන් විශ්වවිද්‍යාලය හැරගොස් රැකියාවක් හැටියට‘ලොරියකට බඩු පටවමින්’ සිටියාවූ ද, අඟුණකොලපැලැස්සේ-ආචාරිගම සිසුවෙකු වූ ඩී.කේ. නිශාන්ත පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය තුළ ම සියදිවි නසාගත්තේය.

12. මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනයක් වන දියගම තාක්ෂණික ආයතනයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ ශනිල්ක දිල්ශාන් සිසුවා නවකවදය ඉවසාගත නොහැකිව 2019 අප්‍රේල් 01 වැනි දා සිය දිවි හානි කර ගත්තේය.

සුරේකා සමරසේන