කතුවැකි

නරියාට, සිංහයා පසුපස යැවීමට ගොනුන් අවශ්‍ය වී තිබේ!

කොරෝනා වසංගතය නිසා මේ කාලයේ මහ මැතිවරණයක් වුවමනා නැති බව අප කාගේත් හැඟීමය. එම හැඟීම අප තුළ උත්පාද වූයේ කොරෝනා වසංගතයේ භයංකාරත්වය නිසාම නොවේ. එම හැඟීම ජනතාව තුළ තහවුරු කළේ ලංකාවේ භූ දේශපාලන යථාර්ථය විසිනි.

කොරෝනා රෝගය වැලඳුණ මුල්ම රෝගියා වාර්තා වූ දා සිට සතියක් ගිය තැන මුහුණු පොතේ සංසරණය වූ පෝස්ටුවක මෙසේ තිබිණි.

‘පාර්ලිමේන්තුවත් ඒකට යවන බූරුවො 225ත් එපා. ගෝඨයි සෙන්පතිවරු පස්දෙනයි ඉඳල මේ රට පාලනය කළා නම් ඇති’’.

එය ප්‍රජාතන්ත්‍රවාදී රටකට කිසිසේත් නොගැළපෙන දෙයක් වුවත් ජනතාව එසේ සිතීමට පටන් ගත්තේ එතෙක් පැවැති පාර්ලිමේන්තුවත් නායකයාත් අසාර්ථක හා දුර්වල වූවන් නිසාය.

ඉතාලියේ, ස්පාඤ්ඤයේ සමූහ මිනී වළවල් හෑරෙන විට ඇමෙරිකාවේ නිවුයොර්ක් හි මළමිනී පෝලිමේ වැළලෙන විට ලංකා පුරවැසියන් කාටත් කියවුණේ ගෝඨා නොසිටියා නම් අපේ වළටත් පස් වැටී අවසානය කියාය. එම නිසාය ජනතාව අද පාර්ලිමේන්තුවත් ඡන්දයවත් එපාය කියන්නේ.

එහෙත් යම් ලෙසකින් ඉතාලිය, ස්පාඤ්ඤය හෝ ඇමෙරිකාවේ බඳු තත්ත්වයකින් අපේ රට පාලනය වූයේ නම් ජනතාව කෙසේ කියනු ඇද්ද? එසේ වූවා නම් කියන දේ තේරුම් ගැනීමට, ආණ්ඩුවේ දුර්වල හා අකාර්යක්ෂම බව නිසා එල්ලවූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ජනතාව කියූ දේ අනුව පුළුවන. පාස්කු ප්‍රහාරය එල්ල වූ දාම ජනතාව කීවේ ජාතික ආරක්ෂාව සැපයිය නොහැකි ආණ්ඩුව මකබෑවී පුළුවන් කෙනකුට ඉක්මනින් රට භාරදීපල්ලා කියාය.

අදත් එබඳු දුර්වල පාර්ලිමේන්තුවක් සහිත පාලනයක් තිබුණ නම්, ජනතාව පාස්කු ප්‍රහාරයේදී කී දෙයම පුනරුච්චාරණය කරනු ඇත. ආණ්ඩුව ඉක්මනින් මකබෑවී පුළුවන් කෙනකුට භාර දීපල්ලා. ඒ අනුව එබඳු දෙයක් ක්‍රියාත්මක කර ගැනීමට මහ ඡන්දයක් ඕනෑ බව කොරෝනා මිනී වළ මත්තෙහිදීත් ජනතාව කියනු ඇත. දැන් මහ ඡන්දයක් එපාය කියන්නේ ගෝඨාගේ මේ සාර්ථකත්වය නිසාය.

එහෙත් මේ සාර්ථකත්වයෙන් ඇති වූ ජනතා මතයෙන් ප්‍රයෝජන ගත්තේ ගෝඨා නොව වෙනත් පිරිසකි. මේ කොරෝනා වසංගතය මධ්‍යයේ මහ මැතිවරණයක් කැඳවීම අනවශ්‍ය බව කියමින් ගෝඨාගේ සාර්ථකත්වය නිසා මතු වූ ජනතා මතයෙන්ද පලක් ගැනීමට මේ දේශපාලන හිවල් කපටිකම ඉදිරියට ඇවිත් සිටී. මේ මතය දරන ජනතාවට වන්නේද හිවලාගේ කීම අසා සිංහයා හා සටනට ගිය ගොනාට වූ දෙයමය.

මහ මැතිවරණයක් කල් දැමීමෙන් සිදුවන්නේ කුමක්ද? රාජ්‍ය නායකයාට ව්‍යවස්ථා අර්බුදයකට මුහුණ දී විසිර වූ පාර්ලිමේන්තුව යළි කැඳවීමය.

ජනතාව මේ පාර්ලිමේන්තුවත් එහි නායකයනුත් ප්‍රතික්ෂේප කළේ 2018 පැවැති පළාත් පාලන ඡන්දයේදීය. ඉන්පසු 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 69ක් ගෝඨාට ලබා දෙමින් ජනතාව ප්‍රකාශ කළේ තිබූ ආණ්ඩුවට අප්‍රසාදයය. මේ ජනතා විරෝධය පළවුණේ මහ මැතිවරණවලදී නොවූවත් ඒ මැතිවරණවල ප්‍රකාශ කෙරුණේ එම පාර්ලිමේන්තුවේ අසාර්ථක හා ජනතා විරෝධී ස්වභාවයය.

එබඳු පාර්ලිමේන්තුවක් යළි කැඳවීම ජනතා ප්‍රාර්ථනය නම් නොවේ. මහ මැතිවරණය කල් දමන්නට, කල් දමන්නට ජනතාව ජනාධිපතිවරයෙක් පත් කර ගනිමින් තැබූ බලාපොරොත්තු ඉටු කර ගැනීම තවත් කල් යනු ඇත. එබැවින් මේ මොහොතේ මහ මැතිවරණයක් එපා කීමෙන් හිවලා පසුපස ගිය ගොනාට වූ ඉරණමට ජනතාව මුහුණ පානු නිසැකය.

වසංගතය මෙල්ල කර තිබෙන ප්‍රමාණයන් අනුව මහ මැතිවරණයක් පැවැත්විය නොහැකිද? දකුණු කොරියාවේ මහ මැතිවරණය පැවැත්වූයේ මේ තරමටවත් කොවිඩ් 19 මෙල්ල නොවූ තත්ත්වයක් යටතේය. නිරන්තරයෙන් විදේශ රටවල සාර්ථකත්වය උළුප්පා පෙන්වන ඇත්තෝ මෙහිදී නිහඬය. විදේශවලින් පාඩම් ඉගෙන ගත යුතුය කියන අය දැන් නිහඬය.

අප වංසගත මෙල්ල කරගෙන ජීවත් විය යුතු ලෝකයකය ඉන්නේ. ඩෙංගුවලින් වාර්ෂිකව මේ ප්‍රමාණයටත් වඩා මිය ගියත් අප උදේට හැන්දෑවට එළිමහනේ නොයමුද?සුනාමියෙන් 40000ක ජීවිත බිලිගත්තාට පසු අප වැල්ලට ගියේ නැද්ද?, කොටින්ම ඒඩ්ස් හැදෙන බව දැන දැනත් සමලිංගික පනත සමරිසි පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට පසුගිය ආණ්ඩුව උත්සාහ නොකළේද?

කොරෝනා වසංගතයෙන් මෙබඳු බිහිසුණු අත්දැකීම් අප ලබා නැත.

අනෙක් අතට කොරෝනා වසංගතයෙන් ලංකාව සේම ලෝකය නිදහස් වන්නේ කවදාදැයි කිසිවකුට නිසැකවම තවම කිව නොහැක. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ සදහටම ලෝකයේ කොරෝනා වෛරසය පවතින බවය. එසේ නම් එතෙක් අප මහ මැතිවරණය කල් දමා නරියාගේ කීමට සිංහයා පස්සේ ගිය ගොනාට අත් වූ ඉරණම අත්කර ගත යුතුය.