අතන මෙතන

නරින්ගෙන් ජලභීතිකාව පැතිරීමේ අවදානමක්

ජල භීතිකා රෝගය වැලඳුනු නරි හරහා ගෘහස්ථ සුනඛයන්ට එම රෝගය පැතිර යාමේ අවදානම සලකා එම අවදානම් කලාපවල වෙසෙන ගෘහස්ථ සුනඛයන් 30 දාහක් එන්නත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා එන්නත්කරුවන් 32 දෙනකු අලුතෙන් පුහුණු කර ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා ඊයේ (29 වැනිදා) කීය.

මෙම වැඩසටහන යටතේ අයාලේ යන සුනඛයන්ද එන්නත් කරන බව ඒ මහතා කීය. මෙම අවදානම වැඩි වශයෙන් පවතින මිල්ලනිය සහ මදුරාවල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ සුනඛයන් එන්නත් කිරීමේ කටයුතු සති දෙකක් තුළ අවසන් කරන බවත් අවදානමට ලක්විය හැකි හොරණ සහ ඉංගිරිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ සුනඛයන් එන්නත් කිරීම ඉදිරි මාස දෙක තුළ අවසන් කරන බවත් ඒ මහතා කීය.

මෙම කටයුතු සඳහා විශේෂ එන්නත් කණ්ඩායම් දෙකක් යොදා ගැනේ. කළුතර දිස්ත්‍රික් ජලභීතිකා මර්දන ඒකකය සතුව සිටිනුයේ සීමිත එන්නත්කරුවන් සංඛ්‍යාවක් බැවින් මෙම කාර්යය සඳහාම එන්නත්කරුවන් 32ක් අලුතෙන් පුහුණු කර ඇත. කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක, කළුතර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් ලියනගේ සහ කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මහ කළුතර ජලභීතිකා මර්දන ඒකකය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක . වරයාගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු ක්‍රියාත්මක කෙරේ.

ලක්ඛිත විද්‍යාසේකර – කළුතර