කතුවැකි

නඩු ප්‍රමාදය වළක්වන්න, අපරාධ අඩු කරන්න හිතමු

අපේ රටේ අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව කෙසේදැයි තේරුම්ගත හැකි පුවතක් ඊයේ අප පුවත්පත වාර්තා කොට තිබිණ. ඉන් කියැවුණේ බාලවයස්කාරියන් දෙදෙනකු අපහරණය කළ ඔවුන්ගේ සුළු පියාට වසර 90ක සිරදඬුවමක් දුන් බවය. මෙම දඬුවම ස්ත්‍රී දූෂකයකුට විශේෂයෙන්ම බාල අපචාරකයෙකුට ගැළපෙන දඬුවමක් කිව හැකි නමුත් ඒ ගැන සතුටු විය නොහැක්කේ මෙම දඬුවම දෙන්නට වසර 25ක් ගතවී තිබීම නිසාය.

පුවතේ සඳහන් අන්දමට අපරාධය සිදුකරන අවස්ථාවේ අපරාධකරුගේ වයස අවුරුදු 36කි. දැන් ඔහු අවුරුදු 61ක වියපත් මහල්ලෙකි. අතවරයට ලක්වන අවස්ථාවේ 12 හැවිරිදි හා 15 හැවිරිදි වියේ පසුවූ වින්දිතයන් දැන් 37 හැවිරිදි හා 40 හැවිරිදි වැඩිහිටි කාන්තාවන්ය. එක් අතකින් කිසිවක් නොවනවාට වඩා වසර 25ක් ප්‍රමාද වී හෝ මෙම දැරියන්ට යුක්තිය ඉටුවූයේ යැයි සතුටු විය හැකි නමුත් ප්‍රමාද වී ඉටුවන යුක්තියෙන් ඇති ඵලය කුමක්ද?

නඩු ප්‍රමාදය ස්ත්‍රී දූෂණ නඩු සම්බන්ධයෙන් පමණක් නොව, අධිකරණය හමුවට එන සෑම වර්ගයකම නඩුවලට අදාළ වන අපේ අධිකරණ පද්ධතිය තුළ තවමත් විසඳී නොමැති ‘නඩුවකි’. ඇතැම් ඉඩම් නඩුවක තීන්දුව දෙන විට එක්කෝ පැමිණිල්ල මියගොස්ය; නැතිනම් විත්තිය මියගොස්ය. එවැනි අවස්ථාවක ඉටුවන යුක්තියෙන් ඵලයක් ඇත්තේ කාටද?

කම්කරු උසාවිවල නඩු තීන්දු අනන්තය තරම් දුරය. රැකියාවෙන් ඉවත් කිරීමට එරෙහිව සේවකයකු පවරන නඩුවක තීන්දුව දෙන විට එක්කෝ ආයතනය වසා දමලාය, නැතහොත් පැමිණිලිකරු හිඟමනට පත්වෙලාය. බොහෝ විට මෙවැනි නඩු විසඳුමකින් තොරව අවසන් වන්නේ තවදුරටත් නඩු කියන්නට මුදල් නොමැතිකම නිසා පැමිණිලිකරු අතරමගදී නඩුවෙන් ඉවත් වීම නිසාය.

බාල අපචාර නඩුවක තීන්දුව දෙන විට වින්දිතයා වැඩිවියට පත්ව විවාහයකින් දරුවන් ලද මවක් විය හැකිය. එ​සේ නැත්නම් සමාජයේ වැදගත් රැකියාවක නිරත අයකු විය හැකිය. එවැනි අවස්ථාවක සිදුවන්නේ තවදුරටත් ලැජ්ජාවට පත්වීමට අකැමැති වින්දිතයන් නඩුව අතහැර දැමීමය. එය දූෂකයන්ට ගැලවී යෑමට අවස්ථාවක් වන අතර, සමාජයට අනතුරකි. ඊයේ අප පුවත්පත් වාර්තාවට අදාළ වින්දිතයන් දෙදෙනා දිගටම දූෂකයාට එරෙහි සටනේ රැඳී සිටීම අගය කළ යුතු කාරණයකි. එක් දැරියක දැන් නීතිඥයකු වීමද ඊට හේතු වන්නට ඇත. එහෙත් අපරාධය කිරීමෙන් පසු වසර 25ක් නිදහසේ ගත කළ දූෂකයාට ඔහුගේ ජීවිතයේ 61 වැනි වියේදී දෙන දඬුවම ඇත්තෙන්ම ඔහුගේ වරදට සමානුපාතික දඬුවමක් යැයි සැලකිය හැකිද?

නඩු තීන්දු ප්‍රමාදය, පැමිණිලිකරුවන්ට පමණක් නොව විත්තියටද අයුක්ති සහගත වන අවස්ථා තිබේ. කිසියම් නඩුවකදී චූදිතයා අවසානයේ නිදොස් කොට නිදහස් විය හැකි නමුත් එම සම්පූර්ණ කාලයම ඔහු සමාජය හමුවේ චූදිතයෙකි, සැකකරුවෙකි. ඇතැම් විටෙක වසර පහක් දහයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමටද සිදුවිය හැකිය. නඩුවක චූදිතයකු වීම නිසා ඔහුගේ රැකියාව හෝ ආදායම් මාර්ගය අහිමි විය හැකි අතර, ඥාති මිත්‍ර සබඳතා බිඳවැටී සමාජ ජීවිතය අහිමි වීමට ඉඩ තිබේ. කලකට පෙර බාල අපචාර චෝදනා එල්ල වූ පොලිස් ප්‍රධානියකු නිවැරදිකරු බව හෙළිවූයේ ඔහුගේ මරණයෙන්ද පසුවය.

නඩු තීන්දු ප්‍රමාදය වැළැක්විය යුතු නමුත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාමාර්ග අනවශ්‍ය ලෙස කඩිනම් කිරීමද නඩු තීන්දු ලබා දුන්නත් යුක්තිය ඉටු නොවීමට හේතුවක් විය හැකිය. නඩු විභාගයක් සාධාරණ නඩු විභාගයක් වීමට නම් සියලු පාර්ශ්වයන්ට සවන්දීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වේ. ඒ සඳහා තිබිය යුතු පළමු අවශ්‍යතාව නම් ප්‍රමාණවත් තරම් උසාවි හා විනිසුරන් ඇතුළු අවශ්‍ය පහසුකම් තිබීමය.

බැලූ බැල්මට උසාවි ප්‍රමාණවත් නොවීම නඩු ප්‍රමාදයට හේතුවක් ලෙස පෙනී යන නමුත්, අධිකරණ පද්ධතියට පිටතින් ඇති තවත් කාරණා ගණනාවක් මෙම ප්‍රමාදයට හේතු වේ. පොලිස් පරීක්ෂණ ප්‍රමාදය, හිතාමතා හෝ නොදන්නාකමට අධිකරණයට ඉදිරිපත් කරන පොලිස් වාර්තා දෝෂ සහිත වීම, නඩු ප්‍රමාද වීමට බලපාන කාරණාය. එසේම ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුව සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැඩ කරන වේගය බොහෝ නඩු තීන්දු ප්‍රමාදයට හේතුවක් වී තිබේ. මේ අනුව නඩු ප්‍රමාදයට විසඳුම් සොයන්නේ නම් උසාවි ගණන වැඩි කිරීමෙන් පමණක් ඵලක් නොවන බව අප තේරුම්ගත යුතුය.

අධිකරණමය ක්‍රියාමාර්ග ප්‍රමාදය නිසා ප්‍රමාද වී යුක්තිය ඉටුවීම අප රටට පමණක් නොව, දකුණු ආසියාවේ සෑම රටකටමත්, දියුණු වෙමින් පවතින හැම රටකටමත් බොහෝ පොදු කාරණයකි. අප රටද ඇතුළුව මෙම සියලු රටවල නඩු තීන්දු ප්‍රමාදයට හේතුවන ප්‍රධාන කාරණය වන්නේ උසාවි හිඟකම, වාර්තා ප්‍රමාදය යන මේ කිසිත් නොව සමාජයේ අපරාධ බහුලකමය.

දිනෙන් දින රටක අපරාධ ඉහළ යන්නේ නම්, කොතෙක් උසාවි ඉදිකළත් ඵලක් තිබේද? ශ්‍රී ලංකා පොලිසියේ වාර්තාවන්ට අනුව පසුගිය 2020 වසරේ වයස අවුරුදු 18 වැඩි ස්ත්‍රී දූෂණ 300ක් සිදුව තිබේ. අවුරුදු 16ට අඩු වින්දිතයන්ගේ කැමැත්තෙන් සිදුව ඇති ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 1292කි. අවුරුදු 16ට අඩු එහෙත් වින්දිතයාගේ කැමැත්තෙන් තොරව ස්ත්‍රී දූෂණ 361ක් පිළිබඳ පැමිණිලි 2000 වසරේ පොලිසියට වාර්තා වී තිබේ. මේ සියල්ලේ එකතුව දෙදහසකට ආසන්නය. නිවාස බිඳීමේ සිදුවීම් පිළිබඳ පැමිණිලි 6499ක් ගෙවී ගිය 2020 වසරේ පොලිසියට වාර්තා වී ඇත. සොරකම් 2148කි. මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සිදුවීම් 6811ක්ද මෙම කාලය තුළ වාර්තා වී තිබේ. මෙම සියලු අපරාධ ඇතුළුව 2020 වසරේ පොලිසියට වාර්තා වී ඇති අපරාධ සංඛ්‍යාව තිස් එක්දහසද ඉක්මවා ඇත. අප මෙහි සඳහන් කර ඇත්තේ බරපතළ අපරාධ ලෙස පොලිසිය සඳහන් කර ඇති සිදුවීම් පමණය. ඉඩම් ආරවුල් පිළිබඳ නඩු, දික්කසාද වැනි පැමිණිලිද මීට එකතු වූ විට වසරකට ගොනුවන නඩු කොතෙක්දැයි සිතාගත හැකිය.

රට තුළ මෙතරම් අපරාධ සිදුවන තත්ත්වයක් තුළ හන්දියක් හන්දියක් ගාණේ උසාවි ඉදිකළත්, නඩු ප්‍රමාදය වළක්වා ගත නොහැකි බව පැහැදිලිය. එසේ නම් යුක්තිය ඉෂ්ට වීම ප්‍රමාද වීම වළක්වා ගැනීමට නම් සියල්ලට පෙර කළ යුතුව ඇත්තේ සමාජය තුළ සිදුවන අපරාධ අඩු කරගැනීමය. අපරාධ අඩු කිරීමට නම් ඒවාට මූලික හේතු හා තත්ත්වයන් හඳුනාගෙන ඒවා නැති කිරීමට පියවර ගත යුතුය. එය කළ හැක්කේ නීති පැනවීමෙන් නොව, පූර්ණ සමාජ පරිවර්තනයක් සඳහා වන වැඩපිළිවෙළක් තුළින් පමණකි.