විශේෂාංග

නගරයක් නැති හිරියාල – නගරේ තියෙන්​නේ තැපැල් පෙට්ටියේ විතරයි

පෙරවරු හයයි කාල පොල්ගහවෙලින් පිටත් වූ මහව හන්දිය බලා දිවෙන අප රැගත් රේල් බස් රථය හිරියාල උප දුම්රියපොළේ නතර කරන විට පෙරවරු හතයි තිහට ආසන්නව තිබිණ. මහ පාරේ දුවන අශෝක් ලේලන්ඩ් බස් රථ දෙකක් මුහුණ දෙපැත්තට හිටින සේ මූට්ටුකර මෙරටදී නිපදවන ලද මෙම රේල් බසය නගරයට කෙසේ වුවත් අධික ජනගහනයක් නැති ගම්බදට යස අපූරුවට ගැළපෙයි. දුම්රිය මැදිරියකට වඩා ගැස්සීම් බහුල වුවද, පොල්ගහවෙල සිට හිරියාල දක්වා වූ කිලෝ මීටර් පනස් දෙක පැය එකහමාරක් තුළ ගෙවා දැමීමට මෙම පුංචි හපනාට හැකිවීම අපගේ සතුටට හේතු විය. හිරියාලේ දී අප සමග තවත් හත්අට දෙනකු රේල් බසයෙන් බැසගත් අතර කෙනකුට තනිව ඔසවාගෙන යාමට බැරි තරමේ බර පොදි අතින් ගත් එවැනිම පිරිසක් රේල් බසයට නැග ගත්හ. හිරියාල උප දුම්රිය ස්ථානාධිපතිවරයා අප දෙදෙනාගේ හිස්වල සිට දෙපතුල් තෙක්ම පිරික්සන්නට වූයේ හිරියාලෙන් දුම්රියෙන් බසින පිටස්තරයන් එපමණකටම දුලබ නිසා විය හැක. ඔහුගේ නම සුනිල් දයාරත්න බව අපට පසුව දැන ගත හැකි විය.

හිරියාල දුම්රියපොළ ඉදිරියේ ත්‍රිරෝද රථ දෙකක් නතරකොට තිබිණ.
‘‘අපිට යන්න ඕනේ හිරියාල ටවුන් එකට’’
දුම්රියෙන් පැමිණි තිදෙනකුද නංවාගෙන පළමු ත්‍රිරෝද රථය නික්ම ගිය පසු අපි එතැන නවතා තිබූ අනෙක් ත්‍රිරෝද රථය වෙත ගොස් එහි රියැදුරු තරුණයාට කීවෙමු.
‘‘හිරියාලෙ ටවුන් එක, ඔහු මඳක් කල්පනා කරන අතරේ ඇසීය.
‘‘හිරියාල ටවුමටද, නැත්නම් හිරිපිටිය ටවුමටද?’’
ඒ සමගම ඔහු අසන ලද්දේ අපට කිසියම් වැරදීමක් වන්නට ඇතැයි සිතමින් විය යුතුය.
‘‘නෑ… නෑ… අපිට යන්න ඕනේ හිරියාල ටවුන් එකට.’’
මම තරමක් ස්ථාවර හඬින් කීවෙමි.
‘‘හිරියාල කියලා ටවුමක් නෑ… මහත්තයලා මෙහේ තැනක් කිව්වොත් මම ගිහින් දාන්නම්.’’ ඔහු කීය.
‘‘එ්ක මහ පුදුම කතාවක්නේ. හිරියාල කිව්වම මුළු රටම දන්නවා; හිරියාල කියලා මැතිවරණ කොට්ඨාසයකුත් තියෙනවා. ඒත් හිරියාලට ටවුමක් නෑ’’’
මා සිනා සී එසේ කී විට ඔහු කිසියම් අතෘප්තිකර බවකින් ඉවත බලාගනු අපට හොඳින්ම පෙනිණ. ඒ හිරියාලට නගරයක් නැතිවීම ගැන ත්‍රිරෝද රථ රියැදුරකු වන තමන් කුමක් කරන්නදැයි අපට අනියමින් කියාපාමින් මෙනි.
‘‘අපි ආවේ ‘අරුණ’ පත්තරේට හිරියාල ගැන විශේෂාංගයක් කරන්න. ඒකට අද දවසෙම අපි මේ වටේ කැරකෙන්න ඕනේ. කොහෙද උදේටයි, දවල්ටයි කෑම කන්න මේ කිට්ටුව තැනක් තියෙන්නේ’’ ඒ සමගම මම ඇසීමි.

‘‘උදේට නම් මෙතැනින් මොනවා හරි කන්න පුළුවන්. ඒත් දවල්ට බත් ටිකක් කන්න නම් හිරිපිටියටම යන්න ඕනේ.’’ හෙතෙම දුම්රිය පළ ඉදිරියේ අැති තේ කඩයට අත දිගු කරමින් කීය.
ඔහු පවසන අන්දමට අප පැමිණි හිරියාල නගරයේ සිට ‘බත්කටක්’ කෑමට හිරිපිටියට යා යුතු අතර හිරියාලේ සිට හිරිපිටියට කිලෝ මීටර් එකොළෙහක් තිබේ. ඒ කෙසේ හෝ හිරියාල නම් විස්මිත නගරයේ සවාරියක් යාමට එක්වන ලෙස අප කළ ඉල්ලීම ඉටුකිරීමට ඔහුට නොහැකි විය. ඒ තම සිඟිති පුතුට එන්නතක් ලබා දීම පිණිස හිරිපිටිය රෝහලට කැඳවාගෙන යා යුතුව තිබූ බැවිනි. ඔහුගේ නම නිශාන්ත බවද ඒ සමග අපට දැනගත හැකි විය.
‘‘මේ හිරියාල මහ අමුතුම ටවුමක්. මේ වගේ ටවුන් එකක් අපේ රටේ තියා මුළු ලෝකෙවත් නැතිව ඇති.’’ ඉන්පසු උදේ තේ පානය සඳහා දුම්රියපොළ ඉදිරිපිට තේ කඩයට ගොඩ වැදුණු අපට ඒ මොහොතේ එහි සිටි ගැමියන් දෙතුන් දෙනාගෙන් එක් අයෙක් කීය.

‘කොටින්ම මේ හිරියාලට තියෙන්නේ ඔන්න ඔය ඉස්ටේෂම විතරයි. ඒ හැරුණාම තැපැල් කන්තෝරුවක්, ඩිස්පැන්සරියක්, සමුපකාරයක්, බැංකුවක් තියා බස් හෝල්ට් එකක්වත් නෑ, ඕන්න.’’
ඉන් එක් ගැමියකු කීයේ අප පුදුමයට පත් කරවමිනි. ‘‘ඒ මොකද බස් හෝල්ට් එකක් නැත්තේ’’ මම එසැනින් ඇසුවෙමු.
‘‘බස් හෝල්ට් දාන්න, බස් එන්න එපැයි මහත්තයෝ, මේ හිරියාලේ මිනිස්සුන්ට බස් එකක් දකින්න නම් අඹගස්වැව හන්දියට හරි තලමල්ගම හන්දියට හරි යන්න ඕනේ. ඒත් ඒ පාරවල්වලත් බස් දුවන්නේ දවසට දෙතුන් සැරයයි. ඒත් ඉතින් ප්‍රයිවට් තමයි. සීටීබී නම් පැත්ත පළාතක එන්නේ නැහැ.’’ ඔහු කීයේ මා විස්මයෙන් සලිත කරවමිනි.
‘‘ඒත් ඉතින් අපේ රටේ ප්‍රයිවට් බස් නොදුවන දුෂ්කර පාරවලත් සීටීබී බස් දුවනවානේ’’ මම එසැණින් කීවෙමි.
‘‘ඒක තමයි අපි කියන්නේ හිරියාල කියන්නේ මහ අමුතුම ටවුමක් කියලා.’’ ඔහු ගත්කටටම කීය.
හිරියාල දශක කිහිපයක සිට ප්‍රසිද්ධව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ආසනයක් ලෙසිනි. ‘වයඹ තනි අලියා’ ලෙසින් කලක් බැබළුණු ප්‍රවීණ දේශපාලනඥයකු වන එස්. බී. හේරත්ගේ නාමය ද මෙම හිරියාල යන නම සමග බැඳී පැවතුණි. එවන් ප්‍රබලතමයකුගේ මැතිවරණ බල ප්‍රදේශය මෙවැනි කේඩෑරී බවකට ලක් වූයේ ඇයි?

‘‘මේ හරියට කියන්නේ හිරියාල තමයි. කලින් මෙහේ එඩ්‍රස් තිබුණේ හිරියාල නිකදළුපොත කියලා. ඒත් දැන් එඩ්‍රස් එන්නේ හිරියාල, අඹගස්වැව කියලා. ඉස්සර අඹගස්වැව කියන්නේ පුංචි ගමක්. අද ඒ ගමත් හිරියාලට වඩා දියුණුයි. ඒ වගේම මහත්තයල දන්නවද, මේ හිරියාලට ග්‍රාම නිලධාරි වසමක්වත් නැහැ. මේ වසම තලමල්ගම, කොටින්ම මේ හිරියාලට කියලා මොන බම්බුවක්වත් නෑ, මහත්තයෝ, අඩුම තරමින් ප්‍රසිද්ධ වැසිකිළියක්වත් නෑ.’’
එක් ගැමියකු කීයේ කෝපය, සංවේගය සහ කලකිරීම මුසු වූ හඬකිනි.
‘‘ඒ වුණාට ඉතින් හිරියාල කියලා මැතිවරණ කොට්ඨාසයක් හරි තියනවානේ.’’‘ මම ඔහුගේ කලකිරීම දුරුකරවනු පිණිස කීවෙමි.
‘‘හිරියාල කියලා මැතිවරණ කොට්ඨාසයක් නම් තියෙනවා තමයි, ඒත් අඩුම තරමින් හිරියාල ඒකටවත් අයිති නැහැ කිව්වොත් විශ්වාස කරනවද? මේ හිරියාල අයිති යාපහුව මැතිවරණ කොට්ඨාසයට. ඉතින් තවත් මොන කතාද?’
ඔවුන්ගේ මෙම කතා අසන විට මට කිහිප වරක් හැඟී ගියේ​ නොදැනුවත්වම අපි ‘විස්මලන්තය’කට පිවිස ඇති බවකි.
‘‘මේ හිරියාලෙන් පුංචි කොටසක් විතරක් හිරියාල ආසනේට අහුවෙනවා. නමුත් මේ ස්ටේෂන් එකයි, කඩවල් දෙක තුනයි අයිති වෙන්නේ යාපහුව ආසනයටයි. පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි. හිරියාලේ නගර වැසියෙක් කීය.   ඉන්පසුව අපි මුළු රටම දන්නා හඳුනන හිරියාල නගරය තුළ ඇති නගරාංග පිළිබඳ විමසිලිමත් වූයෙමු. එහිදී අපට නිරීක්ෂණය වූයේ සිල්ලර කඩ පහක්, එකම එක තේ කඩයක් සහ එක් ටියුෂන් පන්තියකට පමණක් සීමා වූ විස්මිත නගරයක් බවය. ඒ අතර එහි යකඩ බඩු වෙළෙඳසලක්ද ඇති මුත් එහි ව්‍යාපාරික කටයුතු නිසි ලෙස සිදුනොවන බවද හිරියාලේ නගර වැසියෝ අප හා කීහ.
‘‘කලින් මෙහේ ලොන්ඩ්‍රියක්, බාබර් සාප්පුවක්, ඩිස්පැන්සරියක්, වී​ මෝලක් හේමත් තිබුණා. පහුවෙනකොට ඒවත් වැහිලා ගියා’’
එහි නගරවැසියෝ සුසුම්ලති.

මෙතරම් නොදියුණු ගම් ප්‍රදේශයක්, නගරයක් ලෙසින් හඳුන්වා දෙමින් මා ලේඛන කලාව යම් අවභාවිතාවකට ලක් කරන බවක් ඔබට ඇතැම් විට හැඟෙන්නට පුළුවන. එහෙත් මගේ නිර්දෝෂිභාවය සනාථ කිරීමට හිරියාල දුම්රියපොළ ඉදිරිපිට ඇති සිල්ලර වෙළෙඳසල එළිපත්තේ තිබූ එළවළු බක්කිය සමීපයේ තබා ඇති තැපැල් පෙට්ටිය ප්‍රබල සාක්ෂියක් සැපයීය. එහි පැහැදිලිවම සඳහන්ව තිබුණේ ‘හිරියාල නගරය’ යනුවෙනි. ඒ අනුව මගේ ලේඛන කලාව අවභාවිතාවට පත් වනුයේ එම විස්මිත නගරය ගමක් වශයෙන් හඳුන්වා දුනහොත් පමණි.

ඉන්පසුව අපි හිරියාල නගරයේ සිට අඹගස්වැව හන්දිය තෙක් පයින් ගාටා එහිදී ත්‍රිරෝද රථයක් අල්ලා ගත්තෙමු. මක්නිසාද යත් හිරියාල නගරයට ත්‍රිරෝද රථයක් පැමිණෙනුයේ දුම්රියක් පැමිණෙන වේලාවන්හිදී පමණක් බැවිනි. කොළඹ කොටුව දක්වා දිවෙන දුම්රිය දෙකක්ද කුරුණෑගල දක්වා දිවෙන දුම්රිය තුනක්ද මහව හන්දිය දක්වා දිවෙන දුම්රිය පහක්ද පොල්ගහවෙල, මාතර, තලෙයිමන්නාරම සහ වව්නියා දක්වා දිවෙන එක් දුම්රියක් බැගින්ද විනාඩි දෙක තුනක් හිරියාලේ නතර කෙරෙන අතර මහව, පොල්ගහවෙල රේල් බසයද ඒ දුම්රිය ගොන්නටම ඇතුළත්ය.හිරියාල නගරයේ ඇති බොහෝ මංමාවත් දුහුවිල්ලෙන් පිරී ගත් ගුරුපාරවල්ය. ඒ අතරේ එම මාර්ගයක් අද්දර ඇති මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකොට තිබූ දැවැන්ත පුවරුවක් දුටු අපි එදෙසට මඳක් අවධානය යොමු කළෙමු. ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ඒකාබද්ධ මාර්ග, අායෝජන වැඩසටහන් යටතේ රුපියල් මිලියන 93.3 වියදමින් ඉදිකෙරෙන කිලෝ මීටර් 5.77 දුර හිරිපිටිය – අලුත්ගම කලවාන මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධ තොරුතුරු එහි සඳහන් විය. 2016 අගෝස්තු 01 දා අරඹන ලද එම ව්‍යාපෘතිය නිම වූ පසු හිරියාල නගර වැසියන්ට මඳ හෝ සහනයක් උදාවෙතැයි මට සිතුණු මුත් එහි වැඩ අවසන් කළ යුතු දිනය දුටු සැණින් මට දවල් තරු පෙනිණ. එහි සඳහන්ව තිබුණේ 2018 ජූලි 29 වන දින එහි ඉදිකිරීම නිමාකෙරෙන බවය. ඒ කෙසේ හෝ එම දිනය පසුවී මාස හයක් ඉක්ම ගියද හිරියාල නගරයේ අප ගමන් ගත් වළගොඩැලිවලින් පිරුණු මාර්ගවල එක දුහුවිලි බිඳක්වත් ඉවත් කිරීමට එම දැවැන්ත යෝජනා ක්‍රමයට නොහැකි වී තිබේ.

මේ අතර හිරියාල සංවර්ධනය කරනු වෙනුවට ඒ සඳහා හිරියාල දුම්රියපෙළේ නම ‘යාපහුව පිවිසුම’ යනුවෙන් වෙනස්කොට එමගින් හිරියාලේ ජනතා ප්‍රශ්න ක්ෂණිකව විසඳීමේ ප්‍රයත්නයක්ද පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ බව එම නගර වැසියෝ අප හා කීහ. වසර කිහිපයක් ඒ නමින් හැඳින්වූ දුම්රියපොළ ආණ්ඩු පෙරළියකින් පසු නැවත හිරියාල බවට පත් වී තිබේ.  මෙතෙක් බොහෝ දෙනා නොදත් නමුදු හිරියාල මෙලෙස ලෝක පුදුම නගරයක් බවට පත්ව ඇත්තේ නිසි මාර්ග පහසුකම් නොමැති බැවිනි. හිරියාල දෙපසින් දැදුරුඔය ජලාශය දක්වා ගලා බසින කිඹුල්වානාඔය සහ හක්වඩුනාව ඔය උතුරන විට හිරියාලේ මාර්ගය හරහා දමා ඇති සපත්තු පාලම ජලයෙන් යටවන නිසා ගමන් පහසුව ඇනහිටියි. එමෙන්ම හිරියාල දුම්රියපොළ තෙක් වැටී ගත් මාර්ගය එතැනින් නිමා වන්නක් නිසා දුම්රිය මගීන් හැරුණුකොට සෙසු ජනතාව එය භාවිතයට නොගනිති. එහෙත් මේ තත්ත්වය නිමා කරමින් පසුගිය දිනයෙක හිරියාල දුම්රියපොළට ඔබ්බෙන් හක්වටුනාඔය සහ කිඹුල්වානා ඔය එකතු වීමට මීටර් පන්සියයකට මෙපිටින් හක්වටුනාඔය හරහා දොම්පේගම දී නව පාලමක් ඉදිකොට තිබේ. උල්පතගම, බේරගල, කිරිමැටියාව, නාගොල්ලාගම යන ප්‍රදේශ හිරියාල හා සම්බන්ධ වන එම පාලම මගින් හිරියාල නගරය ශ්‍රී ලංකා සිතියමේ ප්‍රදේශ කීපයක් හා ඍජුවම සම්බන්ධ කළ හැක. එහෙත් ගැටලුව ඇත්තේ එම පාලම සහ හිරියාල නගරය සම්බන්ධ කරමින් දුම්රිය හරස් මාර්ගයක් තැනීමට දුම්රිය බලධාරින් අවසර නොදීම යැයි හිරියාල නගර වැසියෝ චෝදනා කරති.’

‘‘මේ පළාතේ සල්ලි තියෙන මනුස්සයකුට වුණත්, අලුත් කාර් එකක්, වෑන් එකක් තියා මෝටර් සයිකල් එකක්වත් හරියකට පාවිච්චි කරන්න බැහැ. පාරවල් අබලන් හින්දා හැම තිස්සේම රෙපයාර්. අනික දරුවකුට හොඳ ඉස්කෝලයකට යවා ගන්න හදිසි ලෙඩකට දුකකට බේතක් ගන්න මේ පළාත්වල මිනිස්සුන්ට කිසිම ක්‍රමයක් නැහැ. ඒ හින්දා මේ පළාත්වල හිටපු යමක් කර කියාගන්න පුළුවන් මිනිස්සු දවසින් දවස මේ හිරියාල අත්හැරලා වෙන පළාත්වල පදිංචියට යනවා. එහෙම මුකුත් කර කියා ගන්න බැරි මිනිස්සු මේ පැත්තේ ගොවිතැන් බත් කරගෙන අසරණ විදිහට ජීවත් වෙනවා. ඔන්න ඕක තමයි මේ හිරියාල ටවුන් එකේ ඇත්තම කතාව,’’
හිරියාල නගරයේ සංචාරයෙන් පසු දුම්රියක් බලාපොරොත්තුවෙන් හිරියාල උප දුම්රිය පළේ සිටි මගියකු කී එම කතාවට අනුව අද අප සංචාරය කළ හිරියාල නගරයේ හෙට දවස කුමකින් කුමක් වේදැයි සිතාගත නොහැක.

තිලක් සේනාසිංහ
ඡායාරූප : සහන් සංකල්ප සිල්වා