විශේෂාංග

දොස්තර සාෆිගේ තවත් වැඩ

කුරුණෑගල ශික්ෂණ රෝහල මේ දිනවල දුක් අඳෝනාවලින් පිරී ගොසිනි. එහි පැමිණ අඳෝනා නගන්නේ අම්මලාය. මේ එවන් එක් අඳෝනාවකි.

‘‘මට පළමුවැනි බබා හම්බ වුණේ 2011 ජුනි 16 වැනිදා. ඩොක්ටර් සාෆි තමයි සීසර් කරලා බබාව ගත්තේ. එයින් පස්සේ අවුරුදු අටක් තිස්සේ බබෙක් හදාගන්න උත්සාහ කළත් බැරි වුණා. තවමත් බබෙක් නෑ’’ එසේ කියන්නී වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි කරන්නට කුරුණෑගල රෝහලට පැමිණි කාන්තාවකි.

මේ දිනවල කුරුණෑගල සහ දඹුල්ල යන රෝහල්වලට බොහොම කලබලය. වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි කරන්නට එන පිරිස් නිසා කලබලය හටගෙන තිබේ. පැමිණිලි කරන්නට එන බොහෝ දෙනකුට කියන්නට තිබුණේ එකම කතාවකි.

‘‘සාෆි මහත්තයා සීසර් කළා. එයින් පස්සේ අපිට බබාලා හම්බවුණේ නෑ!’’

සිකුරාදා (31දා) සවස් වන විට​ වෛද්‍ය සාෆිට එරෙහිව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 386 ද ඉක්මවා ගොස් තිබුණේය.

කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණි මවුවරු මේ ආකාරයට කඳුළු සැලුවේ දරුදුකටය. වෛද්‍ය සාෆි විසින් දරුවන් පිළිසිඳ ගැනීමේ බලහත්කාරයෙන් වළක්වා තිබීමේ දුකටය. එම ප්‍රදේශවල මව්වරුන් පෝලිමේ පැමිණ පැමිණිලි කරන්නට වූයේ, වෛද්‍ය සාෆි තම සිසේරියන් සැත්කම්වලදී මුස්ලිම් නොවන කාන්තාවන් වඳකර දමන බවට චෝදනා එල්ල වීමෙන් පසුවය. වෛද්‍ය සාෆි මේ වන විට සිටින්නේ පොලිස් අත්අඩංගුවේය.

කුරුණෑගල, වීරසිංහ මාවතේ අංක 151/29 දරන ලිපිනයේ පදිංචිව සිටි මොහොමඩ් සාෆි (42) නමැති වෛද්‍යවරයා මුලින්ම අත්අඩංගුවට ගන්නේ සැක සහිත අයුරෙන් වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන්ය. ඒ මැයි 24 දා රාත්‍රියේදීය.

පොලිස් මූලස්ථානයට ලද වාර්තා අනුව මේ කියන වෛද්‍ය සාෆි ගැන, විමර්ශන ඇරඹෙන්නේ කුරුණෑගල නාවින්න හන්දියේ තිබූ ඉඩමක් රුපියල් කෝටි පහළොවකට මිලදීගෙන ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දහතුනහමාරකට මිලදී ගැනීමට සූදානම් කර තිබූ කුරුණෑගල, නාවින්න හන්දියේ ඉඩම, වෛද්‍ය සාෆි කෝටි එකහමාරක් වැඩිපුර ගෙවා මිලදීගෙන අැති බව පොලිස් මූලස්ථානයට ලද බුද්ධි වාර්තාවල සඳහන්ය. වෛද්‍ය සාෆි අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් සමග ද සමීපව සබඳතා පැවැත් වූ අයෙකි.

තිදරු පියකු වන වෛද්‍ය සාෆි කුරුණෑගල ශික්ෂණ රෝහල ආසන්නයේ පස්මහල් ගොඩනැගිල්ලක, ‘‘ගෝල්ඩ් මෙඩි හවුස්’’ නම් පෞද්ගලික වෛද්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නෙකි.

ඔහු 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයට එජාප අපේක්ෂකයකු ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කළේය. එවකට සේවය කරමින් සිටියේ දඹුල්ල රෝහලේය.

මැතිවරණ කටයුතු වෙනුවෙන් වෛද්‍ය සාෆි 2015 ජූලි මස 03 වැනිදා වෛද්‍ය සේවයෙන් ඉවත් විය. මැතිවරණයෙන් ඔහු පරාජයට පත් වූ අතර, යළි කැබිනට් පත්‍රිකාවක් මගින් 2016 වසරේ අගෝස්තු 19 වැනිදා සිට වෛද්‍ය සේවයට එක් විය. එවැනි සේවකයන් දුෂ්කර සේවයට යා යුතු වුවත් වෛද්‍ය සාෆි, දුෂ්කර පළාත් සේවයට ගියේ නැත. ඒ වෙනුවට ඔහු යළි පැමිණියේ මැතිවරණයට පෙර සේවය කරමින් සිටි දඹුල්ල රෝහලටය. ඔහු එහි නාරි හා ප්‍රසව අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු වශයෙන් සේවය කළේ ය.

වෛද්‍ය සාෆි අතින් කෙරී තිබුණු සිසේරියන් සැත්කම් සංඛ්‍යාව අටදහසකට වැඩිය. නාරිවේද රෝග සැත්කම් පන්දහසකට වැඩිය. ඔහු අතින් කෙරුණු සාමාන්‍ය දරු ප්‍රසූති සංඛ්‍යාව පහළොස් දහසකට ද වැඩි විය. ඒ සියල්ල තමන් කළ බවට ඔහු පිළිගෙන තිබිණි. වෛද්‍ය සාෆි දස වසරක සේවා පළපුරුද්දක් සහිත වෛද්‍යවරයෙකි. ඔහු වරක් දඹුල්ල රෝහලේ දී පැය දෙකක් තුළ සිසේරියන් සැත්කම් අටක් සාර්ථකව නිමකර ජන ප්‍රසාදයට පත් විය.

පසුව වෛද්‍ය සාෆි 2017 වසරේ පෙබරවාරි මස 17 වැනිදා කුරුණෑගල ශික්ෂණ රෝහලට ස්ථාන මාරු විය. ඔහුගේ බිරිඳ වන ෆාතිමා ඉමාන් ද කුරුණෑගල රෝහලේම වෛද්‍යවරියකි. ඇය එහි අංක 09 සහ 10 යන වාට්ටු භාරව සේවය කළාය.

කෙසේ හෝ වේවා කුරුණෑගලදී වෛද්‍ය සාෆි සමග සේවය කළ අනෙකුත් වෛද්‍යවරුන්ටද, කාර්ය මණ්ඩලයටද ඔහු ගැන යම් සැකයක් හටගෙන තිබිණි. ඔවුහු ඒ බව ​රෝහල් බලධාරින්ට ද දැනුම් දී තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයට ද කලිනි. එහෙත් රෝහල් බලධාරින් ඒ ගැන තැකීමක් කර නොතිබිණි.

මුස්ලිම් නොවන කාන්තාවන් දරු ප්‍රසූතියේදී සිසේරියන් සැත්කමකට යොමුකර, ඔවුන්ට නැවත දරුවන් නොලැබෙන අයුරින් කිසියම් වන්ධ්‍යාකරණයක් කළ බවට චෝදනා නැගෙන්නේ මෙවන් පසුබිමකය.

වෛද්‍ය සාෆි හමුවට ගිය තමන් බලෙන්ම සිසේරියන් සැත්කමකට යොමුකර දරුවන් රැගෙන දුන් බවත්, එතැන් පටන් තමන්ට යළිත් දරුවන් පිළිසිඳ නොගත් බවත්, වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි කරන්නට කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණි මව්වරු ප්‍රකාශ කර තිබුණි.

මෙතෙක් කල් සැඟවුණු සාෆිගේ රහස් හෙළිවන්නට වූයේ අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධව විමර්ශනය කරන්නට පොලිස් අත්අඩංගුවට ගත් මොහොතේ සිටය. මේ අතර මෙවැනි විමර්ශනයක් කළ යුත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම බවත්, සාෆිට එරෙහිව විමර්ශන කරන්නේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිගේ වුවමනාවට බවත්, ඇතැම් පාර්ශ්ව චෝදනා කළහ. කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිගේ බිරිඳත්, කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක නිසා මෙය වෛද්‍ය සාෆිගෙන් පළිගන්නට කළ දෙයක් බවත්, වෛද්‍ය සාෆි වෙනුවෙන් පෙනී සිටි පිරිස් කියන්නට වූහ. ඒ අතර රජයේ ඇමැතිවරුන් පවා කියා සිටියහ.

වෛද්‍ය සාෆිට එරෙහිව කතා කළ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාරගේ ක්‍රියාකලාපය සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රතික්ෂේප කරන්නට වූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු නිලධාරියකුට ප්‍රසිද්ධ ප්‍රකාශ ලබා දීමද තහනම් කරවමිනි.

මේ සියලු කාරණා මැද, ඇමැති රිෂාඩ් බදියුද්දීන් සමග සමීප සබඳතා පැවැත් වූ වෛද්‍ය සාෆි එකවරම කෝටිපතියකු වූ ආකාරය ගැන සොයන්නට රහස් පොලිසිය වෙත භාර දී තිබුණේය.

වෛද්‍ය සාෆි පාර්ලිමේන්තු මැතිවරණයට 2015 දී ඉදිරිපත් වෙද්දී මාධ්‍ය ප්‍රචාරණ කටයුතු කළ පුද්ගලයාට අදාළ ගාස්තුව පවා ගෙවා තිබුණේ කොටස් ලෙසින් වරින්වරය. ඔහුට එම ගාස්තුවත් ගෙවීමට 2015 දී මුදල් නොතිබූ බව කියතත්, අද කුරුණෑගල පුරවරයම මුදලට ගත හැකි තරමට ඔහු ප්‍රකෝටිපතියකු බවට පත්ව ඇත. පොලිසිය දැන් සොයන්නේ ඒ ගැනය.

දැනට කරන විමර්ශන අනුව මොහු සතු අසීමිත මුදල් හා ඉන් මිලදී ගත් දේපොළ මොහුගේ නමින් නොවන වග කියැවෙන්නේය. වෛද්‍ය සාෆි භාවිත කරන වැගන්ආර් මෝටර් රථය පවා ලියාපදිංචි කර ඇත්තේද කුරුණෑගල, මැදලන්ද වත්තේ පදිංචි අබ්දුල් රෂාක් මොහොමදු හෂීර් යන අයකුගේ නමින්ය.

මේ ආකාරයෙන් වෛද්‍ය සාෆි විසින් තවත් දේපළ විවිධ පුද්ගලයන්ගේ නම්වලින් මිලදීගෙන ඇතැයි තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි. වෛද්‍ය සාෆි මුස්ලිම් නොවන කාන්තාවන් වඳ කළ බවට එල්ල වන චෝදනා ගැන අමාත්‍යාංශ මටටමින්ද පරීක්ෂණයක් කරන්නට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න විසින් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කළේ ය. එම පරීක්ෂණ මණ්ඩලයට වෛද්‍යවරුන්ගේ විරෝධය පළ විය.

වඳ සැත්කම් කළ බවට චෝදනා කරමින් වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි ලැබෙන අතරේ මොහු විසින් දරුවන් අලෙවි කරන ජාවාරමක් කළ වගද කියැවෙන්නේය. වෛද්‍ය සාෆි යටතේ වූ වාට්ටුවක සිටි ඉඳුල්ගොඩකන්ද ප්‍රදේශයේ පදිංචි දෙමළ කාන්තාවක වූ එන්. එන්. ප්‍රියා පසුගිය වසරේ දෙසැම්බර් 31 දා ප්‍රසූත කළ පිරිමි දරුවා කුරුණෑගල රෝහලේ රසායනාගාරයේ සේවය කරන කාන්තාවකට ලබා දී ඇත්තේ වෛද්‍ය සාෆිය. පොල්ගහවෙල දුම්රිය නිල නිවාසවල පදිංචි එම කාන්තාවට ප්‍රියාගේ දරුවා භාරදී ඇත්තේ කිසිදු නීත්‍යනුකූල ලියවිල්ලක්වත් නොමැතිවය.

​මේ කියන ප්‍රියා නමැති කාන්තාවගේ දරුවා ලබාගත් පොල්ගහවෙල කාන්තාව දරුවාද සමග කැනඩාවට ගොස් ඇතැයි කියවෙන්නේය. වෛද්‍ය සාෆි දරුකමට දරුවන් හදාගන්නට දුන්නාද? නැතිනම් දරුවන් විකුණන ජාවාරමක් කළාද යන්න හෙළි කරගත හැක්කේ කැනඩාවට ගිය පොල්ගහවෙල කාන්තාව සොයා ගත හොත් පමණි.

වෛද්‍ය සාෆි මීට අමතරව කුරුණෑගල රෝහලේම සේවය කළ හෙද නිලධාරිනියක වන චලිකා මදුමාලිගේ දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කම කරද්දී, මූත්‍රා නාළ කැපී යාම නිසා ඇය දීර්ඝ කාලීන රෝගියකු බවට පත්වූවාය. දැන් ඇය දරුණු වකුගඩු රෝගයකට ලක්ව ඇත්තේ වෛද්‍ය සාෆිගේ ක්‍රියාවන් නිසාය. මේ ගැනත් දැන් වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි ගොඩට එකතු වී ඇත.

වෛද්‍ය සාෆි වඳ සැත්කම් කළ බවට ​චෝදනා ගැන අප කුරුණෑගල රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුගෙන් තොරතුරු විමසා සිටි විට නම හෙළි නොකරන පදනම මත ඔහු කරුණු දැක්වීය.

‘‘සිසේරියන් සැත්කමකදී’’ සර්ජරිය කරන ඩොක්ටර්ගේ සහායට තවත් ඩොක්ටර් කෙනෙක් එක්ක අත්දැකීම් තියෙන හෙදියක්ද ඉන්නවා. තවත් සහායක හෙද නිලධාරීන්ද ඉන්නවා. සර්ජරිය කරද්දී පැලෝපීය නාළය ගැටගැසීම හා කැපීමක් කරනවා නම් අනෙක් අයගේ ඇස් වහලා කිරීම පහසු නැහැ. කැපීමක් කරනවා නම් ඒවාට අවශ්‍ය උපකරණ වගේම නූල් දෙන්නෙත් සහායට ඉන්න හෙදියයි. එසේ නම් ඔවුන්ද එය දැනුවත්ව සිටිය යුතුයි. පැලෝපීය නාළය ක්ලැම්ප් කළොත් එතැන ඉන්න අයටත් පේන්න ඕන. සර්ජරි එකකදී එතැන ඉන්න ටීම් එකේ ඇස්වහලා කරනවා නම් පැලෝපීය නාළ ඇඟිලිවලින් මිරිකා තැලීමට ලක් කර යම් හානියක් කරන්න පුළුවන්. ඇඟිලි තුඩුවලින් මිරිකා කරන හානියෙන් එම නාළ යථා තත්ත්වයට පත් වන්නත් පුළුවන්’’ යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

සිසේරියන් සැත්කමකදී සහායක වෛද්‍යවරයාගේ සහාය මත පැලෝපීය නාළයට හානියක් කළ හැකිබව වෛද්‍යවරුන්ගේ මතයය. එසේ හානි කළාදැයි සොයා ගැනීමට මෙරට තුළ ඇත්තේ පැලෝපීය නාළ තුළින් ඩයි වර්ග හෝ වෙනත් විශේෂිත දියර වර්ග යැවීමේ ක්‍රමය පමණය.

‘‘ගැබ්ගෙල තුළින් ඩයි එකක් ගර්භාෂය තුළට විදීමෙන් ඩයි එක පැලෝපීය නාළය තුළින් ගමන් කරනවා දැයි විකිරණ පරීක්ෂාවකින් සොයාගත හැකියි. ඒත් ඕනෑකමින්ම මේක කළාද කියලා එයින් කියන්න බැහැ’’ ඒ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් දරන මතයය.

අඬුවලින් හෝ අතින් පැලෝපීය නාළය තැලීමකට ලක් කර ඇද්දැයි සොයාගත හැක්කේ ‘‘ලැපරස්කොපි පරීක්ෂණයකින්’’ පමණය. ඉතාමත් සියුම් කැමරාවක් පැලෝපීය නාළයට ඇතුළු කර පැලෝපීය නාළයට පිටතින් සිදුව ඇති තැලීම් ඇදවීම් මෙන්ම එහි අවහිරතා පියවි ඇසට නිරීක්ෂණය කිරීමට හැකිය. ඒ සඳහා වන පහසුකම් ලංකාවේ සියලුම රෝහල් තුළ නොමැත.

වෛද්‍ය සාෆි පමණක්ම මෙවැනි දේ කළාද යන්න මීළඟට ඇති ගැටලුවය. සාෆි වැනි තවත් සාෆිලා ගැන දැන් රට වටෙන්ම අසන්නට ලැබෙමින් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කියන්නේ පේරාදෙණිය රෝහලේදීත් මෙවැනිම දෙයක් සිදුවී ඇති බවය. මේ අතරේ ගාල්ල, මහමෝදර, රෝහලේත් මෙවැන්නක් සිදුවන බව වෛද්‍යවරුන්ගෙන්ම බුද්ධි අංශ වලට තොරතුරු ලැබී ඇත්තේය.

සැබවින්ම වෛද්‍ය සාෆිලා මෙවැන්නක් කළා නම් එය ‘‘වර්ග සංහාරයක්’’ (genocide) බවට පත්වනු ඇත්තේය.

මව්වරුන් නොදැනම එල් ආර්. ටී. සැත්කම් හදිසියේ කළාක් මෙන් කටයුතු කරන වෛද්‍ය සාෆි වැනි තවත් මුස්ලිම් ජාතික වෛද්‍යවරයකු ගැන මේ වන තොරතුරු රැස්කරමින් ඇත්තේය.

ජන සංහාර​ යුද සමයේ සිදුවුවත්, සාමකාමී කාලයක සිදුවුවත් අන්තර්ජාතික නීතිය යටතේ එය අපරාධයකි. ඊළාම් කොටි ත්‍රස්තවාදය නිමා කර දෙමළ ජනතාව මුදාගත් වීරෝදාර හමුදාවත් යුද අපරාධ, ජන සංහාර කළ බවට ජාත්‍යන්තර සංවිධාන හඬ නගන්නේ දස වසරක පටන්ය. ඒ සඳහා ඩොලර් ලක්ෂ ගණනක් වියදම් කරති.

මෙයත් ජන සංහාරයක් නම් ඒ ගැන සොයා බැලීමටත් ජාත්‍යන්තර වශයෙන් ඒ ගැන විමර්ශනයට අවශ්‍ය උපකරණ හෝ ලබාදීම ජාත්‍යන්තර බලවේගවලට හැකිය.

රටපුරා විවිධ රෝහල්වල ඉස්ලාම් නොවන දරුවන් ලැබීම වැළැක්වීම සඳහා සැත්කම් කර ඇති බවට වන චෝදනා ගැන සොයන්නට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්නැයි හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජීනවංශ හිමි ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබුණේ මෙවන් පසුබිමකය.

මෙම පරීක්ෂණ අවසන් වන තුරු කුරුණෑගල, දඹුල්ල, පේරාදෙණියම, බලංගොඩ, රෝහල්වල ලේඛනාගාරවලට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙසද උන් වහන්සේ යැවූ ලිපියෙන් ඉල්ලා සිටියහ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා